ගැබ්ගෙල පිළිකා මාරයාගෙන් ගැලවෙන්න මාර්ග දෙකක්

පෙබරවාරි 7, 2022

නියපොත්තෙන් කැපීමට ඇති දෙයක් පොරොවෙන් කැපීමට සිදුවන තුරු බලා සිටීම අප වැඩි දෙනකු ගේ සිරිතයි. සෙම්ප්‍රතිශ්‍යාවටත් වඩා පහසුවෙන් වළක්වාගත හැකි රෝගය මරණය දක්වා දුරදිග යන අවස්ථා කෙතරම්ද ? කතුන්ට මරණය ගෙන දෙන පිළිකා අතරින් දෙවැනි තැන ගන්නා ගැබ්ගෙල පිළිකාව ඊට හොඳම උදාහරණයයි.

එනිසාම සියලුම පිළිකා අතරින් පළමු වරට ලෝකයෙන් තුරන් කරන පිළිකාව බවට ගැබ්ගෙල පිළිකාව ( Cervical cancer ) ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නම් කර තිබෙනවා. එහෙත් එය ලොවින් තුරන් කිරීමට නම් වයස අවුරුදු 15 වන විට ලොව ගැහැනු ළමයින්ගෙන් සියයට අනූවකට HPV එන්නත ලබා දිය යුතුයි. කාන්තාවන්ගෙන් සියයට හැත්තෑවක් පැප් ස්මියර් ස්ක්‍රීන් පරීක්ෂාවට යොමුවිය යුතුයි. වයස අවුරුදු 35 දීත් වයස අවුරුදු 45 දීත් වශයෙන් දෙවරක් ස්ක්‍රීන් පරීක්ෂාව සඳහා යොමු වීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. පූර්ව ගැබ්ගෙල පිළිකාවෙන් පීඩා විඳින කාන්තාවන්ගෙන් සියයට අනූවක් ද පිළිකාව පැතිරී ඇති කාන්තාවන්ගෙන් සියයට අනූවක් ද නිසි ප්‍රතිකාර ලබා තිබිය යුතුයි. මේ ඉලක්ක 90-70-90 ඉලක්ක ලෙස දක්වා තිබෙනවා. 90 - 70 - 90 ඉලක්ක සපුරාලීමට කාන්තා අප ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය දැක්වුවහොත් ගැබ්ගෙල පිළිකාවට සදහට ම ආයුබෝවන් කියන්න පුළුවන්. එය ලොවෙන් තුරන් කළ රෝගයක් බවට පත්වෙනවා.

2020 දී ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වූ කාන්තාවන් සංඛ්‍යාව 604,000 ක්. ඉන් අඩකටත් වඩා එනම් 342,000 ක් මියගොස් තිබෙනවා. ලංකාවේ වාර්ෂිකව කාන්තාවන් 850 ක් පමණ ගැබ්ගෙල පිළිකාවෙන් මියයනවා. රෝගී වීමේ අවදානම ඇති කාන්තාවන් ගේ ගණන මිලියන 7.74 කට වැඩියි.

ගැබ්ගෙල පිළිකාව කියන්නේ කුමක්ද ?

ගැබ්ගෙලේ කොතැනක හෝ ඇති පිළිකාව ගැබ්ගෙල පිළිකාව ලෙසින් හඳුන්වනවා.

අවදානම් සාධක මොනවාද ?

සෑම ගැබ්ගෙල පිළිකාවක් වාගේම ඇති වන්නේ මානව පැපිලෝමා වෛරසය ආසාදනය වීමෙන්. සියලුම ආකාරයේ කායික සබඳතාවලින් මානව පැපිලෝමා වෛරසය ආසාදනය වීමට පුළුවන්.

වැඩි අවදානමක් ඇත්තේ කාටද ?

කායික සබඳතා පවත්වන සියලුම කාන්තාවන් අතර අවදානමක් පවතිනවා. නීත්‍යානුකූල එක් සහකරුවකු හෝ සහකාරියකට වඩා ඇසුරු කරන ගැහැනු පිරිමි දෙපිරිසටම මේ අවදානම තදින් ම තිබෙනවා. ( බහු භාර්යාවන්, බහු පුරුෂයන් ඇති අය ),ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල නම්, වයස අවුරුදු 17 ක් වැනි ලාබාල වයසේ දී දරුවන් කිහිප දෙනකු බිහිකිරීම, යෝනිය,වකුගඩු හෝ මුත්‍රාශය ආශ්‍රිත පිළිකාවක් තිබීම, ඉපදීමට සිටියදී මව විසින් හෝර්මෝනමය ඔසුවක් වන diethylstilbestrol ගැනීම ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කරනවා.

රෝගයෙන් ගැලවෙන්න මාර්ග දෙකක්

ගැබ්ගෙලේ සෛල පිළිකා සෛල බවට පත්වීමට පෙර හඳුනා ගැනීමෙන් පිළිකාව සම්පූර්ණයෙන් වළක්වා ගත හැකියි. මේ පිළිකා සෛල වර්ධනය වන්නේ ඉතාමත්ම සෙමෙන්. පිළිකාවේ ප්‍රමාණටය අනුව එහි දරුණු බව අඩු වැඩි වෙනවා. පැප් ස්මියර් ස්ක්‍රීන් පරීක්ෂාවකින් තමන්ට එවැනි අවදානමක් ඇත්දැයි බලා ගැනීමට පුළුවන්. මේ පරීක්ෂාවෙන් ගැබ් ගෙලේ නීරෝගි බව පරීක්ෂා කරනවා. අපේ රටේ වයස 35 දී සෑම කාන්තාවකට ම පැප් ස්මියර් සඳහා ආරාධනාවක් ලැබෙනවා.

පරීක්ෂණයෙන් සිදු කරන්නේ ගැබ්ගෙලෙන් කුඩා සෛල සාම්පලයක් ලබා ගැනීමයි. සාම්පලයෙන් මානව පැපිලෝමා වෛරස් ආසාදනයක් තිබේදැයි පරීක්ෂාකර බලනවා. ආසාදනයක් නැත්නම් ගැටලුවක් නැහැ. ආසාදනයක් තිබෙනවා නම් ගැබ් ගෙලේ සෛලවල වෙනස් වීමක් තිබෙනවාදැයි බලයි. වෙනස් වීමක් ඇත්නම් එය පිළිකාවක් බවට පත් වීමට පෙර ප්‍රතිකාර කරනු ලබනවා. සාමාන්‍යයෙන් සති දෙකකින් පමණ පැප්ස්මියර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනවා.

HPV එන්නත ලබා ගැනීම ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ හොඳම ක්‍රමයක්. ගැබ්ගෙල පිළිකා පමණක් නොව යෝනි මඟ ආශ්‍රිත වෙනත් පිළිකා ද ලිංගික ඉන්නන්, ගුද මඟේ පිළිකා, මුඛයේ, උගුරේ පිළිකා ද හිසේ සහ ගෙලේ පිළිකා ද වළක්වා ගැනීමට උපකාරී වෙනවා. පිරිමින්ට ද එන්නත ලබා ගැනීමේ වාසි තිබෙනවා. ප්‍රධාන ම වාසිය තම සහකාරිය ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වීමේ අවදානම අවම කිරීමයි. ඒ වාගේම පිරිමින්ට ද ලිංගික ඉන්නන්, ගුද මඟේ පිළිකා, මුඛයේ, උගුරේ පිළිකා ද හිසේ සහ ගෙලේ පිළිකා සෑදීම අවම වෙනවා. වයස අවුරුදු 10 - 11 සීමාවේ පසුවන දූවරුන්ට මාස හයක පරතරය ඇතිව HPV එන්නත් මාත්‍රා එන්නත් දෙක ලබා දෙනවා.

දැන් නව යොවුන් වයසේ පිරිමි දරුවන්ට ද එන්නත ලබා දෙන්නේ ඒ නිසයි. අක්‍රීය දුම් පානයට ගොදුරු නොවී සිටීම, සමබල ආහාර ගෙන ප්‍රතිශක්තිය වැඩි දියුණු කර ගැනීම රෝගය වැලඳීමට ඇති ඉඩ අඩු කරනවා.

රෝග ලකුණු මොනවාද ?

කායික සබඳතාවකින් පසුව අසාමාන්‍ය ලෙස යෝනි මඟින් රුධිරය පිටවීම, ආර්තව දෙකක් අතරේ රුධිරය පිටවීම , ආර්තවහරණයෙන් පසුව ( සම්පූර්ණයෙන් ආර්තවය නතර වුණු පසුව ) රුධිරය පිටවීම, යෝනි මඟින් ස්‍රාව පිටවීම, සබඳතා පැවැත්වීමේදී වේදනාවක් දැනීම වැනි ලකුණු මෙවිට ඇති වෙනවා. එහෙත් මේවා ෆයිබ්‍රොයිඩ්ස්, එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්ත්වවලදීත් ඇතිවිය හැකි ලකුණුයි. බොහෝවිට කිසිදු රෝග ලකුණක් නැතිව නිහඬවම ගැබ්ගෙලේ පිළිකාව වර්ධනය වීමට පුළුවන්. පැප්ස්මියර් පරීක්ෂාවක් කර ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි.

 

 

උපදෙස් -

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය

සුරාජ් පෙරේරා