ආහාර පාලනය කිරීමෙන් පමණක් ඇඟ හැඩ කරගන්න පුළුවන් ද?

පෙබරවාරි 28, 2022

 

සිරුරට ව්‍යායාම අවශ්‍යයි. නමුත් මේ ගැන එක් එක් පුද්ගලයන් සතුව ඇත්තේ විවිධ වූ අදහස් ය.

‘බස්වල කෝච්චිවල හිටගෙන යන අපිට ආයෙත් අමුතුවෙන් එක්සයිස් ඕනෙ නෑ...‘

‘මේ ගේ ඇතුළෙම කිලෝ මීටර් ගණන් ඇවිදින මට මොන එක්සයිස් ද?‘

මේ එවැනි අදහස් කිහිපයක් පමණයි.

අපේ ඇත්තන් සිතන්නේ හති වැටෙනකම් වැඩ කිරීම ඇඟට හොඳ ව්‍යායාමයක් බවයි. සමහර කාර්යයන් සිරුරට ව්‍යායාම සැපයුවත් අද අපි ගෙවන ජීවන රටාව තුළ නම් නිසි ව්‍යායාම සිරුරට ලැබෙන්නේ ම නැති තරම්.

විෂම ආහාර රටාවකට හුරු වූ අපට නිසි ජීවන රටාවට හුරුවීමට මුලින්ම කළ යුත්තේ ආහාර රටාව නිසි පිළිවෙළකට සකසා ගැනීමයි. ඒ පිළිබඳව පසුගිය සති කිහිපයක දීම ඔබට කරුණු ඉදිරිපත් කළා මතක ඇති. ආහාර පාලනය කිරීමෙන් පමණක් අපට ලෙඩ අඩුකර ගැනීමට හැකි වුවත් ඇඟ හැඩකර ගැනීමට නොහැකිය. ඇඟ හැඩකර ගැනීමට නම් අනිවාර්යයෙන්ම ව්‍යායාම කළ යුතුය.

එසේ සිදු කළ යුතු ව්‍යායාම වර්ග මොනවාද යන්න ගැන පසුගිය සතියේ ලිපියෙන් අපි ඔබ වෙත ඉදිරිපත් කළ අතර අද ඒ පිළිබඳව වැඩි දුරටත් කරුණු දැන ගනිමු.

ව්‍යායාම කිරීම සඳහා යන්ත්‍රසූත්‍ර, අධික මිල ගණන් යටතේ ඇති ව්‍යායාම උපකරණ අත්‍යවශ්‍ය බව ඇතැම් අය සිතුවත් එය ඇත්ත නොවේ. සිරුරට අවශ්‍ය නිසි ව්‍යායාම කිරීම සඳහා එවැනි දේවල් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඔබගේ උනන්දුව උත්සාහය පමණි.

මේ සඳහා,

Squats - 13

Push ups - 9

Bridge - 7

Pull Ups - 5 / Rowing - 9

මේ ව්‍යායාම කරන ආකාරය ඔබ දන්නේ නැති නම් ඒ සඳහා අන්තර්ජාලයේ සහාය ලබාගත හැකියි. වන්නකු මෙතඩ් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද ඔබට මේ ව්‍යායාම රටාව පිළිබඳ දැන ගැනීමට පුළුවන්.

ඉහතින් සඳහන් කළ ව්‍යායාම, එහි සඳහන් ප්‍රමාණවලින් රවුම් පහක් හෝ විනාඩි 20ක් තුළ කළ හැකි උපරිම රවුම් ගණන කරන්න. මෙලෙසින් සතියකට දින දෙකක් කිරීම සාමාන්‍ය ජීවන රටාවක් ගෙවන පුද්ගලයකුට ප්‍රමාණවත් ය.

මේ ව්‍යායාම කිරීමේ දී බඩට අමුතුවෙන් ව්‍යායාම කිරීම අවශ්‍ය නැත. එසේ බඩට ව්‍යායාම කිරීම අනවශ්‍ය ලෙස කාලය නාස්ති කිරීමක් පමණක් බවට පත්වන්නේ මේ ව්‍යායාම මඟින් සම්පූර්ණ සිරුරට ම ව්‍යායාම නිසි ලෙස ලැබෙන නිසයි. ඔබ නිසි ජීවවන රටාව හෙවත් වන්නකු මෙතඩ් එකට අනුගත වී සති කිහිපයකින් ම එහි වෙනස ඔබට හොඳින්ම අවබෝධ වේවි.

වන්නකු ක්‍රමයේ දී අපේ ඉලක්කය වන්නේ ‘අවම කාලයකින් උපරිම ප්‍රතිඵල ගෙන දෙන වැඩසටහනක්‘ සකසා ගැනීමයි. එනිසා බඩට පමණක් ව්‍යායාම කිරීම කාලය නාස්ති කිරීමකි.

ව්‍යායාම කරන දිනයේ දී විනාඩි 20ක් 30ක් අතර කාලයක් ව්‍යායාම කිරීම ප්‍රමාණවත්ය. ව්‍යායාම ආරම්භ කිරීමට පෙර විනාඩි 8 - 10ක් පමණ කාලයක් සිරුර උණුසුම් කරන ව්‍යායාම කරන්න. ව්‍යායාම නිම වී තවත් විනාඩි 8 - 10ක් සිරුර ලිහිල් කරන ව්‍යායාම කරන්න. මේ සඳහා ඔබට යෝගා ව්‍යායාම වුවද කළ හැකියි. මෙය නිසි ලෙස කිරීමේ දී පැයකට වඩා අඩු කාලයකින් ඔබට ව්‍යායාම කිරීමට පුළුවන්.

මේ ආකාරයට සතියකට දින දෙකක් ව්‍යායාම කිරීම ප්‍රමාණවත්ය. එය ඔබේ අරමුණට ඔබ ළඟා කරවීමට සමත් වේ.

 

 

 

ලෙඩ අඩු කර හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය

ජානක වන්නකු