ඔමික්‍රෝන් වැලඳී දින පහකින් රෝගය බෝ වන්නේ නැද්ද?

මාර්තු 14, 2022

 

දින දාහතරක නිරෝධායන කාලය කෙටිවී ඇත. දැන් සත් දිනකින් කාර්යාල සේවයට වාර්තා කළ හැකිය. එහෙත් සමහරු සුවවී පැමිණි පුද්ගලයන් දෙස බලන්නේ බියෙනි.

මුලින් දින දාහතරකට පසුවත් ඉන් අනතුරුව දින දහයකට පසුවත් වර්තමානයේ දින හතකට පසුවත් රාජකාරියට වාර්තා කරන කාලය වෙනස් වූයේ ඇයි ? දින හතකට පසු රෝගය සුවවී පැමිණි අයගෙන් රෝගය බෝවීමට පුළුවන්ද ?

මේ දින වෙනසට ප්‍රධාන වශයෙන් බලපෑවේ නව කොරෝනා ප්‍රභේදයන්වල වෙනසයි. දැන් සියයට සියයක්ම වාගේ පැතිරෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයයි. එය ඉක්මනින් වැලඳෙනවා වගේම ඉක්මනින් සුවවෙයි. රෝගය වැලඳී දින පහකට පසු අන් අයට රෝගය බෝ කිරීමට තරම් වයිරසය ක්‍රියාකාරී නැත. ඒ නිසා දින හතකට පසුව රෝග ලකුණු නැත්නම් සම්පූර්ණ සුවය ලබා ඇත්නම් කාර්යාලයට යාමට සුපුරුදු පරිදි නිවෙසින් බැහැරට ගොස් වැඩකටයුතු කිරීමට පුළුවන. සුවවූ පසු පීසීආර් පරීක්ෂණයක් නැවත කළ යුතු නැත. පළමු පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණය කළ දිනයේ සිට දින හතකට පසුව රෝග ලකුණු නැත්නම් රෝගය සුවවී ඇත්නම් නැවත පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණය කිරීම නිෂ්ඵලය.

 

********************

දරුවන් ගේ රෝහල්ගත කිරීම සිව් ගුණයකින් වැඩි කරන ඔමික්‍රෝන්

 

කොරෝනා ගැන සෙම්ප්‍රතිශ්‍යාව මෙන් සැහැල්ලුවෙන් සිතන්න පුළුවන්ද ? එසේ සිතීමට පුළුවන් කාලයක් කෙදිනක උදා වේවිද කියා තවමත් විද්‍යාඥයන්ට කිව නො හැක්කේ දිනෙන් දින නව කොරෝනා ප්‍රභේද අලුත් වන බැවිනි.

එහෙත් අපේ රටේ සමහරු සුව නීති උල්ලංඝනය කරන්නේ කෝවිඩ් - 19 ලොවෙන් තුරන් වී ඇති පරිද්දෙනි. එයින් ඔවුන් තමන් ගේ ජිවිතයත් අන් අය ගේ ජීවිතත් අනතුරේ දමයි. ඔමික්‍රෝන් වේගයෙන් පැතිරුණු ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා සියයට පන්සියයක වේගයෙන් පැතිරෙන බව සොයා ගෙන ඇත. ඔමික්‍රෝන් රහස් ප්‍රභේදය ඊටත් වඩා වේගයෙන් පැතිරෙන බැවින් අප කෙතරම් පරෙස්සම් විය යුතුද ?

මීට රහස් යන විශේෂණ පදය එක් කර තිබෙන්නේ එය හඳුනා ගැනීමට අසීරු බැවිනි. මෙය වේගවත්ව පැතිරෙනවා පමණක් නොව දැනට තිබෙන ඇතැම් කෝවිඩ් ප්‍රතිකාරවලට ප්‍රතිචාර නො දැක්වීමට ද ඉඩ තිබෙන බව විද්‍යාඥයෝ පවසති. සමහර ප්‍රතිජීවකවලට හා එන්නත්වලින් ඇති වන ප්‍රතිදේහ මඟ හැරීමට රහස්‍ය ඔමික්‍රෝන් ප්‍රභේදය සමත් බව හෙළිවී තිබෙයි. දැනටමත් රටවල් 74 කට වැඩි ගණනකට ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර ගොස් අවසන් ය.

 

********************

මේ දුරකථන අංක පේන තැනක ලියාගන්න

 

 

වසංගත කාලයක කවුරුන් කොතැනක දී අසනීප වනවාදැයි කීමට නොහැකිය. ඒ නිසා උපදෙස් ලබා ගැනීමට ඉක්මනින් රෝහලක් කරා රැගෙන යායුතු දැයි දැන ගැනීමට ඇමැතිය යුතු විශ්වාසවන්ත ම අංක ගැන දැන ගත යුතුමය.

මේ ඔබ දින දසුනේ හෝ නිතර ඇස ගැසෙන තැනක ලියා තබාගත යුතු දුරකථන අංකයන් ය.

දුරකථන අංක 247 මෙය මූලිකව ම රෝගීන්ට උපදෙස් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඇරැඹූ දුරකථන සේවාවක්. ලංකාවේ ඕනෑම දුරකථන ජාලයකින් 247 ට ඇමතීමට පුළුවන. අපේ රටේ සියලුම අංශවල වෛද්‍යවරුන් ( මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ - කනිෂ්ඨ වෛද්‍යවරුන් ) උපදෙස් ලබා දීමට සූදානමින් සිටියි. 1904 ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දුරකථන අංකයයි. මීට සම්බන්ධ විය යුත්තේ කෙටි පණිවුඩයකින් තමන් ගේ රෝග ලකුණු ගැන දැනුම් දීමයි. රෝගියකුට හුස්ම ගැනීම‍ට අසීරු නම්, වහාම ප්‍රතිකාර අවශ්‍යයැයි සිතනවා නම් A අකුර ගසා හිස් තැනක් තියා ජාතික හැඳුනුම් පත් අංකය ගසා නැවත හිස් තැනක් තියා වයස ටයිප් කරන්න. එය ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දුරකථනයට ලැබෙන අතර අවශ්‍ය ක්‍රියා මාර්ගය ගනු ඇත. B අකුර ගසා පණිවුඩය යැවිය යුත්තේ මේ මොහොතේ රෝහල්ගත වීමට අවශ්‍ය නැතිමුත් යම් මොහොතක ඇතුළත් වීමට අවශ්‍යවේ යැයි සිතෙන්නේ නම් ය. ඔවුනට දිනක් තුළ පිළිතුරක් ලබා දෙයි. රෝගියකුට තමන්ට නිවෙසටවී ප්‍රතිකාර ගැනීම සුදුසු නමුත් උපදෙස් අවශ්‍ය යැයි සිතෙන්නේ නම් C අකුර ටයිප් කර පණිවුඩය හරින්න. A අකුරින් ලැබෙන හදිසි පණිවුඩවලට විනාඩි 15 ක් 30 ක් ඇතුළත වෛද්‍යවරයකු සම්බන්ධ වනු ඇත.

අන්තර්ජාලයේ ව්‍යාජ උපදෙස්වලට රැවටෙන්නේ නැතිව 247, 1904, 1990 වැනි විශ්වාසවන්ත අංක අමතා උපදෙස් ලබා ගැනීම රෝගියකුට ගත හැකි නුවණක්කාරී පියවරකි. පශ්චාත් කෝවිඩ් රෝග ලකුණු ඇති අයට පවා පැය 24 පුරාම ඒ අංකවලින්උපදෙස් ලබාගත හැකියි.

 

උපදෙස් - කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය

ඉන්දික කරුණාතිලක