කාන්තාවන්ට මිතුරු මිතුරු පියස

වසංගත කාලයේ දැනගත යුතු ම තැනක්
මාර්තු 21, 2022

 

මිතුරු පියසේ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය - 0702611 111
මේ අංකයට සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් ම තමන් ගේ ගැටලු පැවසීමට පුළුවන.

 

 

සැබෑ ආදරය කියන්නේ කැප කිරීමක්. ආදරය හා වෛරය අතර කෙස් ගසක වෙනසක් තිබෙන්නේ කෙසේද ? ආදරය හා වෛරය අහස හා පොළොව මෙන් පරස්පර ය. එහෙත් කාලෙන් කාලෙට ආත්මාර්ථකාමී ආදර කතා ගැන අපට අසන්නට ලැබෙයි.

තරුණයකුගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ තරුණයා විසින් පාසල් ශිෂ්‍යාවක කපා කොටා ඝාතනය කර තවමත් වැඩි දවසක් ගතවී නැත. කාන්තා හිංසනය මෑත කාලයේ සිට අපේ රටට අලුත් දෙයක් නො වෙයි. එනිසාම අපේ පවුල් සංස්ථා ශබ්ද කෝෂයට “ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය “ යන වචනය එක්වී තිබෙයි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැහැනු පිරිමි දෙපිරිසට ම පොදුය. බිරිඳ මෙන් ම සැමියා ද පෙම්වතා මෙන් ම පෙම්වතිය ද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වෙයි. බහුලව ම හිංසනයට ගොදුරු වන්නේ කාන්තාවන් නිසා එය වැඩි පුර ම අර්ථ දක්වන්නේ මෙලෙසිනි.

පිරිමියා විසින් බිරියට ගුටිබැට දීම, සිරුරට යම් යම් වධ දීම, මානසික පීඩාවට පත් කිරීම කායිකව කරනු ලබන හිංසනයකි. කාන්තාව හෙලා දැකීම, යන එන තැන් කොටු කිරීම, කාන්තාවගේ නෑයන් ඇසුරු කිරීමට බාධා කිරීම, රැකියාවෙන් උසස් වෙනවා දැකීමට අකැමැති වී ඊට එරෙහිව එදිරිවාදිකම් කිරීම ආදී හිංසන මානසික හිංසන ය. අප වැඩිපුර කතා නො කළාට මූල්‍යමය හිංසනයට ලක් වන කාන්තාවෝ ද සිටිති. මත් වතුරින් සප්පායම් වීමට බිරියගේ වැටුප් දිනයට කාර්යාලයට පැමිණ පඩි පැකැට්ටුව ඩැහැ ගන්නා ස්වාමිපුරුෂයෝ ද මේ දීපයේ සිටිති. තවත් සමහරු බිරිය ගේ පඩි පැකැට්ටුව ම සියතට ගනිති. ලිංගික හිංසනය ද එලෙස කෙළින් කතා නො කරන අළු යට සැඟවුණු ගිනි පුපුරකි. මේ සියලු හිංසනයක් ම මිනිසත් බවට නිග්‍රයක් වුණත් එවැනි නින්දිතයෝ ද අප අතර සිටිති.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ට ලක්වන කාන්තාව හෝ පිරිමියා එය තමන් ගේ වරදිකින් සිදුවන්නක් කියා නො සිතිය යුතුයි. එය සැබැවින් ම ප්‍රචණ්ඩත්වය සිදු කරන්නා ගේ වරදකි. ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන්නියක් නිතර ම තමන්ගේත් දරුවන්ගේත් ආරක්ෂාව ගැන අවදියෙන් සිටිය යුතුයි. හිස ආරක්ෂාකර ගැනීම වැදගත් වන්නේ හිසට පහරක් වැදුණොත් භයානක බැවිනි. පහර දෙන අවස්ථාවේ දරුවන් වෙත දිව යාම දරුවන් ගේ ආරක්ෂාවට තර්ජනයකි. එවැනි නිවෙසක අතට හසුවන මානයේ පිහි, පොරව, කතුරු වැනි දෑ නො තැබිය යුතුයි. එවැනි අවස්ථාවක විශ්වාසවන්ත අසල් වැසියකුට විද්‍යුත් පණිවුඩයක් යැවීම පලදායක වීමට පුළුවන. එවැන්නකු පැමිණ මැදිහත් වීමෙන් දුරදිග යාහැකි ආරාවුලක් නිරවුල් වීමට ඉඩ තිබෙයි.

වසංගත සමයේ ගෝලීයව ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැඩිවී තිබෙයි. සංචරණ සීමා පැනවීම් නිසා ප්‍රචණ්ඩත්වය සිදු කරන පුද්ගලයා නිවෙසේ වැඩි කාලයක් රැඳීම මීට හේතුව ය.

ප්‍රචණ්ඩත්වයට ලක් වන්නා තමන් ගේ සියලු පීඩන තව කෙනකු හා බෙදාහදා ගැනීම වැදගත්ය. ඒත් පීඩනය වචනයෙන් පිට කළ යුත්තේ වාචාල, ඕපාදූප දොඩවන වංක පුද්ගලයකු සමඟ නම් නො වෙයි. තමන් පවසන කතාව වෙනත් කනකට නො යවන කාරුණික විශ්වාසවන්ත පුද්ගලයකුට ය.

මිතුරු පියස ප්‍රචණ්ඩත්වයට ලක්වූවන් වෙනුවෙන් පිහිටි විශ්වාසවන්ත රාජ්‍ය ආයතනයකි. ප්‍රචණ්ඩත්වයට ලක්වන්නාට තමන් ගේ කතාව අසන විශ්වාසවන්තයකු සිටීම ඉතා වැදගත් ය. අසා සිටින්නා “ ඔයාගේ මහත්තයා කොච්චර හොඳද? වෙන කෙනෙක් නම් ඔයිට වඩා දරුණුයි.“ , “ඕක මොකක්ද ? එහා ගෙදර ගෑනුකෙනා ඔයිට වඩා දුක් විඳිනවා. “ වැනි පිළිතුරු දෙන්නෙක් නොවිය යුතුය.

 

මිතුරු පියස කෙබඳු තැනක්ද?

රෝහලක පිහිටා තිබුණත් මෙය රෝහල මෙන් කාර්ය බහුල තැනක් නො වෙයි. පෝලිමේ සිටිය යුතු තැනක් නො වෙයි. පන්සලක් මෙන් සිත නිවන තැනකි. සැබැවින් ම ප්‍රචණ්ඩත්වයට පත්වූවන්ට මිතුරු පියසකි. මිතුරු පියසක් ඇති රෝහල්, රෝහලට පිවිසෙන තැන ඇති මිතුරු පියස යනුවෙන් සඳහන්කර ඇති නාම පුවරුවක් හා ප්‍රචාරක පුවරුවක් සවිකර ඇති නිසා පහසුවෙන් හඳුනා ගත හැකිය. “මිතුරු පියස“ මධ්‍යස්ථාන 80 ක් ප්‍රචණ්ඩත්වයට පත්වන්නියන්ට හා පත්වන්නන්ට විවෘතය. සතියේ දින පහේම උදේ අටේ සිට පස්වරු හතර දක්වා ප්‍රචණ්ඩත්වයට ලක්වන ඕනෑම කෙනකුට සේවය ලබා දීමට සුහදශීලී වෛද්‍යවරු දෙදෙනකු හා හෙදි නිලධාරියක සූදානමින් සිටියි.

හිංසනයට ලක්වන්නාට ගෞරවනීය, විශ්වාසවන්ත සේවයක් ලබා ගත හැකි හොඳම තැනක් ලෙස මිතුරු පියස හැඳින්විය හැකිය.

බිඳ වැටුණු මානසික සතුට - සහනය නැවත ලබා දීම, මානසික පීඩනය දුරුකර ගැනීමට ආධාර වීම, මානසිකව ශක්තිය ලබා දීම වෛද්‍ය කාර්ය මණ්ඩලය සිදුකරන පළමු කාර්යයි. මෙය මිතුරුකරණය ලෙස හඳුන්වයි. පීඩාවට පත්වූ තැනැත්තිය ගේ ආත්ම ශක්තිය ලබා ගැනීමට උදව් වෙයි. රෝහලින් පමණක් නොව නීතියෙන් පොලිසියෙන් ආදී වෙනත් විවිධ අංශවලින් අවශ්‍ය ආධාර ලබා දීමට ද මිතුරු පියස උපකාරී වෙයි.

 

උපදෙස් - මහාචාර්ය, සායනික මනෝවිද්‍යාඥ

පියංජලී ද සොයිසා

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ විශේෂඥ වෛද්‍ය

නේත්‍රාංජලී මාපිටිගම