පරිසරයට වින කළොත් නූපන් දරුවන්ටත් ලෙඩ

මෙවර ලෝක සෞඛ්‍ය දින තේමාව අපේ මිහිතලය හා අපේ සුවසෙත
අප්‍රේල් 4, 2022

 

හුස්ම ගැනීමට පිරිසුදු වාතය, පානය කිරීමට පවිත්‍ර ජලය, ආහාර නැතිවූ දවසක අපට ජීවත් වීමක් ගැන සිතීමට පුළුවන්ද ? මිහිතලය අපට ජීවත් වීමට ජීවන හුස්ම දෙයි. ආහාර පානත් දෙයි. එහෙත් අප ඒ ගැන සිතනවාද ? දවසින් දවස මිනිසා පරිසරය අපවිත්‍ර කරයි. මේ නිසා ලෝකය පුරා වසරක් ගාණේ මිලියන 13 කට වැඩි පිරිසක් පාරිසරික හේතු නිසා මරණයට පත් වෙනවා.

 

මේ පරිසරය විනාශ කිරීම නිසා අපට මුහුණ පෑමට සිදුවන සෞඛ්‍ය තර්ජන කිහිපයක් .

 

පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම

අප්‍රේල්, මැයි මාසවල පරි සර උෂ්ණත්වය ඉහළ යාමේ කටුක අත්දැකීම විඳිනවා. දැඩි උණුසුම නිසා,

හිසරදය

මානසික ව්‍යාකූලතාව

වෙහෙස

වමනය වැනි ලකුණු ඇති වෙනවා. සෙල්සියස් අංශක හතළිහට වඩා උෂ්ණත්වය වැඩි වුණොත් අවයව අකර්මණ්‍ය වී රෝහල්ගත වීමට සිදු වෙනවා. මිය යාමේ අවදානමක් පවා තිබෙනවා.

අප නිවෙසේදී මෙන්ම මහ මඟදී ද වායු දූෂණයේ ගොදුරු බවට පත් වෙනවා. කෑම පිසීමේදී උඳුනෙන් පිට වන දුමේ පවා විස වාතය තිබෙනවා. දුම් වැටියේ විස දුම ගැන අමුතුවෙන් කිව යුතු නැහැනෙ.

වාහන අධික මාවත්වල ඇවිදීම, එවැනි තැන්වල බොහෝ වේලා රැඳී සිටීම, දූෂිත පරිසරයේ ව්‍යායාම කිරීම, දූෂිත පරිසරයේ වාහනයෙන් යාම, කුණු ගොඩවල් පිලිස්සීම සියල්ල අප රෝගී කිරීමට හේතු වෙනවා. නිවෙසේ පුස් පවා අප ජීවත් වන පරිසරය අපිරිසුදු කරනවා.

ලෝකයේ මිලියන 262 කට වඩා ඇදුම රෝගයෙන් පීඩා විඳිනවා. ඕසෝන් ඇදුමට බලපාන ප්‍රධාන හේතුවක්. ඒ වාගේම පරිසරයේ පවතින නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් ද ඇදුමට හේතු වෙනවා. කැස්ස, සෙමපිටවීම, වෙහෙස, හතිය, යාන්තම් උණ, පපුවේ අපහසුතාව වැනි ලකුණු ඇති බ්‍රොන්කයිටිස් තත්ත්වයට ද මෙවිට ගොදුරු වීමට පුළුවන්. වැඩිහිටියන් ගේ වගේ ම දරුවන් ගේ ඇදුම රෝගයටත් ප්‍රධාන හේතුවක් දූෂිත පරිසරය.

කෙටි කාලයක් දූෂිත වාතයට නිරාවරණය වීමෙන් ස්වසන ආසාදන ඇතිවී පෙණහලු ක්‍රියාකාරිත්වය අඩාල වෙනවා. දැනටමත් ඇදුම ඇති අයට රෝගය උත්සන්න වෙනවා.

අපිරිසුදු වාතය බලපාන්නේ පෙණහලුවලට පමණක් නො වෙයි. අපේ ඇස්වලට, සමට පවා එය බලපානවා.

දිගු කලක් දූෂිත පරිසරයට නිරාවරණය වීමෙන් පෙණහලු පිළිකා ඇති වෙනවා. පෙණහලු පිළිකාවලින් සියයට 29කට ම හේතුව පරිසර දූෂණයයි.

හෘදයා බාධ හා ආඝාතය දූෂිත පරිසරය සමඟ අත්වැල් බැඳ ගෙන ඇති බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. එක් වෛද්‍යවරයෙක් යහපත් සුව හුරු පුරුදු පවත්වා ගෙන ගියා. දිනකට විනාඩි 30 ක් මං තීරුවල ඇවිදීමත් කළා. එහෙත් ඔහු හදිසියේම හෘදයාබාධයකින් මිය ගියා. හේතුව දූෂිත පරිසරයකට ජීවිතයේ වැඩි කාලයක් නිරාවරණය වීමයි. ඔහු පදිංචිවී සිටියේත් මහ මඟ අසල නිවෙසක. සේවය කළේත් ප්‍රධාන නගරයක රෝහලක.

වාතය දූෂිත වන තරමට ආඝාතයට ( ස්ට්‍රෝක් ) ගොදුරුවී මිය යන ගණන වැඩි වෙනවා. ඒ වගේම හදවත් රෝග සෑදීමේ අවදානමත් වැඩි වෙනවා. හෘද රෝගවලට සියයට විස්සකට වැඩි ප්‍රතිශතයකට හේතු වන්නේත් ආඝාතයට සියයට 24 කට වඩා බලපාන්නේත් දූෂිත පරිසරයයි.

දරුවන්ට වැඩිහිටියන්ට වාගේම කුස තුළ වැඩෙන නූපන් දරුවාටත් පරිසර දූෂණය බලපායි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ දූෂිත වාතය පවතින පරිසරයේ ජීවත් වන මවක් නියමිත මාස ගණනට පෙර දරුවා බිහි කිරීමේ වැඩි ඉඩක් පවතින බවයි.

 

 

උපදෙස්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිමුතු ධර්මවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.