රැකියාව නිසාත් රෝගී වෙන්න පුළුවන් බව අමතක කරන්න එපා

අප්‍රේල් 25, 2022

 

ලෙඩ රෝග විසබීජවලින් වගේ ම වැරැදි හැසිරීම් නිසා ද හට ගන්නවා. ඒ විතරක් ද අප කරන රැකියාව අනුවත් රෝගී වෙන්න පුළුවන් බව වැඩි දෙනෙක් සිතන්නේ නැහැ.

 

ගහක් ගලක් වගේ හිටිය කෙනෙක් හිටි හැටියේම රෝගී වෙන්න, මිය යන්න රැකියාව මොනතරම් බලපානවාද ? ලොව පුරා වාර්ෂිකව වෘත්තීය අනතුරු මිලියන 340 ක් සිදුවන අතර වෘත්තීය නිසා රෝගී වන අයගේ ගණන මිලියන 160 ක්.

 

රැකියාව නිසා සෑදෙන සුලබ ම රෝග

 

චර්ම රෝග -

රැකියාව නිසා අසාත්මිකතා හා චර්ම රෝගවලට ගොදුරුවන පිරිස අති විශාලයි. මෙහිදී සමේ ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවා. සම රතුවී කසන අතර බිබිලි හට ගැනීමට ද ඉඩ තිබෙනවා. සම ගොරෝසු වී ඝනවී ඉරි තැලීමට පුළුවන්. මේවා අවසානයේ නිදන්ගත චර්ම රෝග බවට පත් වෙනවා.

තමන්ට රැකියාව නිසා සමේ රෝග තත්ත්වයක් ඇතිවී තිබෙන බව ට අනුමාන කළ හැක්කේ... අත් සහ සමේ නිරාවරණය වූ තැන්වල පලු මතු වෙනවා නම්

රැකියාවේ නොයෙදෙන විට පලු ගතිය අඩු වෙනවා නම්

රැකියා ස්ථානයේ එක් පුද්ගලයකු ට වඩා අසාත්මිකතාවලට චර්ම රෝගවලට ගොදුරුවී සිටිනවා නම් ය.

සේවා ස්ථානයේ විවිධ රසායන නිෂ්පාදනය කෙරෙනවා නම් සේවකයන් අතරේ මෙවැනි තත්ත්වයන් සුලබයි. එහෙත් වැඩි දෙනෙකුට ඒ ගැන අවබෝධයක් නැහැ.

තෙත සිමෙන්ති, ඩ්‍රයි ක්ලීනිං - ගැල්වනයිසිං සඳහා යොදා ගන්නා දිය කරන රසායන, ලෝහ වැඩබිම්වල තෙල්, පිරිසුදු කිරීමට ගන්නා රසායන දියර, අම්ල, සෞඛ්‍ය සේවාවන්වලදී ආහාර සැකසුම්වලදී ගන්නා ලේටෙක්ස්, නිකල්, දැව භාණ්ඩ නිෂ්පාදන ශාලාවල භාවිත කරන ෆෝමැල්ඩිහයිඩ, වඩු මඩුවල ලී කුඩු, බේකරිවල පිටි, මුද්‍රණය කිරීමට ගන්නා රසායන, ගම් වැනි සම රෝගී කරන රසායන නිසා චර්ම රෝග ඇති වන්න පුළුවන්.

ස්වසන රෝග -

ඇදුම රැකියාවල් ආශ්‍රිත ව සෑදෙන සුලබ ම ස්වසන රෝගයයි. පරිසර දූෂණයත් සමඟ ඇදුම ඇතුළු ස්වසන රෝග වැඩි වෙමින් පවතිනවා. රැකියා ස්ථානයේ ඇති රසායනික දුම්, වායු, දූවිලි ස්වසන රෝගවලට හේතු වෙනවා. වෘත්තීය ඇදුමෙන් පීඩා විඳින විට පපුවේ තද ගතිය, හතිය, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, ඇස් කැසීම, කඳුළු ගැලීම වැනි ලකුණු ඇති වෙනවා. මෙය සාමාන්‍ය ඇදුමට බොහෝ දුරට සමානයි. පවුලේ සාමාජිකයන්ට අසාත්මිකතා ඇත්නම් හෝ තමන්ට අසාත්මිකතා ඇත්නම් ඒ අය වෘත්තීය ඇදුම රෝගයට ගොදුරු වීමේ ඉඩ කඩ වැඩියි. වෘත්තීය පරිසරයෙන් ඈත් නො වුණොත් පෙණහලුවලට ස්ථිර හානි වීමට පමණක් නොව මරණයට පවා මුහුණ දීමට සිදු වීමට පුළුවන්. අහිතකර ද්‍රව්‍යයන්ට නිරාවරණය වන කාලය අනුව රෝග ලකුණු අඩු වැඩි වෙනවා.

 

රැකියා ස්ථානවල ඇති ඇදුමට හේතු විය හැකි සමහර ද්‍රව්‍ය

 

සතුන් ගේ ලොම්, සම් කොටස්, ඛේඨයේ, අපද්‍රව්‍යවල ඇති ඇතැම් ප්‍රෝටීන් තීන්ත, වාර්නිෂ්, ගම්, ඇසුරුම් ද්‍රව්‍ය සේදුම්කාරක, බිම ඔප දැමීමට ගන්නා එන්සයිම

ප්ලැටිනම්, ක්‍රෝමියම්, නිකල් සල්ෆේට් වැනි ලෝහ

ස්වාභාවික රබර්, පිටි, ධාන්‍ය, කපු, ගස්ලබුවල ඇති පැපේන් වැනි හෝර්මෝන

ක්ලෝරීන් වායුව, සල්ෆර් ඩයොක්සයිඩ්, සිගරට් දුම අසාත්මික විය හැකියි. ඒ වාගේ ම ගම් වර්ග සාදන කම්හල්වල, පශු වෛද්‍ය රෝහල්වල, බේකරිවල, කාපට් නිෂ්පාදන ශාලාවල, ලෝහ කර්මාන්ත ශාලාවල, ආහාර නිෂ්පාදනහල්වල, වඩු මඩුවල, රූපාලාවණ්‍යාගාරවල, සෞඛ්‍ය සේවා ස්ථානවල, ඔසුසල්වල, ඉස්සන්, කකුළුවන් වැනි මුහුදු ආහාර සකසන ස්ථානවල, තීන්ත නිෂ්පාදන ශාලාවල, පෙහෙකම්හල්වල, ප්ලාස්ටික් නිෂ්පාදන ශාලාවල සේවය කරන්නන් ඇදුම වැනි ස්වසන රෝගවලට ගොදුරු විය හැකි අයයි.

මෙවැනි අය ෆ්ලූ, කෝවිඩ්, එන්නත් ලබා ගෙන තිබීම වැදගත්.

බර අඩුකර ගැනීම ද ඉතා වැදගත්. ස්ටීරොයිඩ නො වන හා ප්‍රති ප්‍රදාහ ඔසු ගැනීමෙන් වැළකී සිටීම, බර වැඩි නම් අඩුකර ගැනීම පෙණහලුවල සුවය නංවාගත හැකි ක්‍රමයක්.

මාංසපේශි, ස්නායු, කණ්ඩරා, සන්ධි, කාටිලේජ, කොඳුඇට ආශ්‍රිතව ඇතිවන අනතුරු රැකියා ස්ථානවල ඉතා සුලබයි. වෘත්තීය පරිසරය නිසා කන් ඇසීමේ ආබාධවලට ගොදුරුවන්නන් ද අධිකයි.

 

පිළිකා -

ගෝලීය මරණවලින් සියයට 24 කට ම වගකිව යුත්තේ පිළිකායි. ඒ අතර වෘත්තීය ස්ථානවල ඇති ඇස්බෙස්ටෝස් වැනි පිළිකාකාරක ද්‍රව්‍ය පෙණහලු පිළිකාවට, උදර ආන්ත්‍රික පිළිකාවට, අවයව ආවරණය කරන පටකවල, ගලනාල පිළිකාවට හේතු වෙනවා.

ඝෝෂාකාරී පරිසරයේ සේවය කිරීමේදී කන් ඇසීමේ ආබාධ ඇති වීම ද සුලබයි.

 

 

 

 

උපදෙස් -

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක