දවසට කෝපි කෝප්ප කීයක් බොන්න පුළුවන්ද ?

මැයි 2, 2022

 

කෝපි කෝප්පයකින් ගතට සිතට දැනෙන ප්‍රබෝධය අසීමිතය. නිවෙසේ සිටියත් රැකියා ස්ථානයේ සිටියත් තේ / කෝපි විවේකයක් ඇත්තේ ද මේ නිසාය.

පිපාසයට ජලය තරම් වටිනා තවත් පානයක් මිහිපිට නැති නමුත් තේ හා කෝපි ද ඒ හා සමානව ම ජනප්‍රිය ය. පර්යේෂණවලින් සොයා ගෙන ඇත්තේ කෝපි පානය කරන්නන් දියවැඩියාවට, අක්මාවේ මේද ( ෆැටි ලිවර් ), සමහර පිළිකා වැනි තත්ත්වයන්ට ගොදුරු වන්නේ අඩුවෙන් බවයි. කෝපිවල කැෆේන්වලට අමතරව මැග්නීසියම් වැනි ඛනිජ ලවණ ( නීරෝගි අස්ථි හා මාංසපේශී ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍යයි.), පොටෑසියම් ( රුධිර පීඩනය වැඩි නොවී තබා ගැනීමට උපකාර වෙයි. ) , විටමින් B3 ( ආහාරවලින් ශක්තිය ලබා ගැනීමට, ස්නායු පද්ධතිය සවිමත්ව තබා ගැනීමට අවශ්‍යය. ) අඩංගුය.

මෑතකදී කළ අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ ඕනෑම හෘද රිද්ම ගැටලුවක් සියයට තුනකින් අඩු කිරීමේ හැකියාවක් කෝපි කෝප්පයට ඇති බවය. යුරෝපීය ආහාර ආරක්ෂක ඒජන්සිය දිනකට කැෆේන් මිලිග්‍රෑම් 400 ක් ගැනීමේ වරදක් නැති බව පෙන්වා දෙයි. එහෙත් පුද්ගලයාගෙන් පුද්ගලයා කැෆේන්වලට දක්වන සංවේදීතාව එකිනෙකට වෙනස්ය.

ගැබිනි මවක් නම් දිනකට කෝපි කෝප්පයකට දෙකකට වඩා පානය නො කළ යුත්තේ කැෆේන් මිලිග්‍රෑම් 200 කට වඩා ගැනීමෙන් අඩු බර දරුවන් ඉපදීමේ අවදානමක් ඇති බැවිනි.

සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක කැෆේන් මිලිග්‍රෑම් 100 ක් අඩංගුය. කෝපි කෝප්පයක් පානය කිරීම නිසා අන්ත්‍ර උත්තේජනය වෙයි. මල පිට කිරීමට අවශ්‍ය වෙයි. කැෆේන් සහ කෝපිවල අඩංගු වෙනත් රසායන ජීර්ණ පද්ධතියේ හෝර්මෝන උත්තේජනය කර අන්ත්‍ර හැකිළීම ද උත්තේජනය කරයි.

දිනපතා කෝපි කෝප්පයක් පානය කිරීමෙන් අන්ත්‍රවල සිටින හිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙයි. මේ බැක්ටීරියා ප්‍රදාහයන් වළක්වයි.

කෝපි කෝප්ප දෙකක් පානය කිරීමෙන් ව්‍යායාම කිරීමේ හැකියාව වැඩි දියුණු වෙයි. ස්නායු උත්තේජනය වීමෙන් වෙහෙස දුරු වෙයි. සිරුර පුරා රුධිරය පොම්ප කිරීමට ඇති හැකියාව නැති කරන හෘද අකර්මණ්‍යතාව ඇති නො වෙයි. කෝපි කෝප්ප දෙකකට වඩා පානය කරන විට හෘද අකර්මණ්‍යතාව සියයට තිහකින් අඩුවන බව කොලරාඩෝ සරසවියේ අධ්‍යයනයකින් පෙන්වා දෙයි.

කෝප්ප තුනක් පානය කළොත් ආඝාතය ඇතිවීමේ අවදානම සියයට 21 කින් අඩු වෙයි.

මෙවැන්නන් හෘද රෝගයකින් වෙනත් හේතුවකින් අකාලයේ මියයාමේ ඉඩ අඩුය. කෝපි හෘද නහරවලට හානි කරන රසායනවලින් යුක්තය. මෙහි ඇති කැෆේන් පාකින්සන් රෝගයෙන් ද රැකවරණයක් ලබා සෙයි.

අක්මාවේ මේදය ඇත්නම් කෝපි කෝප්ප තුනක් හතරක් පානය කරන්න. දිනකට කෝපි කෝප්ප තුනක් හතරක් පානය කරනවා නම් අක්මාවේ මේදය ඇති වීමේ අවදානම අඩු වෙනවා. එපමණක් නොව අක්මා පිළිකා ඇති වීමේ අවදානම සියයට 21 කින් අඩු වෙයි.

කෝපි කෝප්ප හතරකින් පොටෑසියම් මිලිග්‍රෑම් 1150 ක් ( දිනකට අවශ්‍ය ප්‍රමාණයෙන් අඩක් ) ලැ‍බෙයි. දිනකට කුඩා කෙසෙල් ගෙඩි හතරක් කෑමෙන්වත් එතරම් පොටෑසියම් ප්‍රමාණයක් ලබාගත නො හැකිය. කෝප්ප හතරක මැග්නීසියම් මිලිග්‍රෑම් 100 ක් අඩංගුය. එය දෛනික මැග්නීසියම් අවශ්‍යතායෙන් කාලකි. මෙහි නියැසින් නම් බී කාණ්ඩයේ විටම්න ද අඩංගුය.

දිනකට පස් වරක් කෝපි කෝප්පයක රස බැලීමෙන් අඩු වන්නේ දියවැඩියා අවදානමයි.

කෝපි කෝප්ප හයක් පානය කිරීම ගෞට් ( gout ) නම් ආතරයිටිස් තත්ත්වයට පිළියමකි. සන්ධිවල යූරික් අම්ලය නම් අපද්‍රව්‍ය එක්රැස් වීම මෙමඟින් වළක්වයි.

කැෆේන්වලට සංවේදී අය කෝපි පානය එක් කෝප්පයකට සීමා කිරීම නුවණට හුරුය. කෝපි කෝප්පයක් පානය කළ පසු රුධිරයේ අඩංගු කැෆේන් මට්ටම සියයට පනහකින් අඩු වීමට පැය පහක් පමණ ගත වෙයි. ඒ නිසා රාත්‍රිය උදාවීමට පෙර කෝපි පානය කළ යුතුය. නැත්නම් සුව නින්දකට බාධා සිදු වීමට පුළුවන.

කැෆේන් නිසා කාංසාව, නො සන්සුන්තාව වැනි ලකුණු ද ඇති විය හැකිය. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් ඇති අයට ඩයරියා තත්ත්වයක් ඇති වීමට පුළුවන.

කෝපිවලින් ලැබෙන ප්‍රතිලාබ ගැන සිතද්දී නිවෙසට පැමිණෙන අමුත්තකුට කෝපි කෝප්පයකින් සංග්‍රහ කිරීම දීර්ඝායු ලබා දීමකි.

අන්තර්ජාලයෙනි