කාලයේ තාලයට ගැළපී ලෙඩ අඩු කරගෙන මුදල් ඉතිරිකර ගන්න

ලෙඩ අඩුකර ඇඟ හැඩ කරන අලුත්ම ක්‍රමය
ජුනි 13, 2022

 

අප මේ ගෙවන්නේ තීරණාත්මක කාලයකි. වසංගතයකට මුහුණ දී ඉන් පසුව ඇතිවන ආර්ථික අපහසුතා ඉතාමත් වැඩි වී ඇති මේ කාලයේ දී ජීවත් වීම උදෙසා වැඩි වෙහෙසක් දරන්නට සිදුව ඇත. ආහාර, ඇඳුම්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය දේවල හිඟතාව නිසා ඉතාමත් දුෂ්කර කාලසීමාවක් ගෙවන්නට සිදුව තිබේ.

 

විශේෂයෙන් ම ඖෂධ නොමැතිකම බොහෝ රෝහල්වල ගැටලුවක්ව පවතී. හදිසි අනතුරු, බෝවන රෝග කෙසේ වෙතත් බෝ නොවන රෝග වළක්වා ගැනීමට මෙන්ම ඒවා සුවකර ගැනීමට හැකි නම් රටට ඖෂධ වෙනුවෙන් වැය කරන්නට සිදුවන මුදල් ඉතිරිකර ගත හැකියි. එමෙන්ම පුද්ගලිකව අපට ද නිරෝගී බව ලැබේ නම් ඖෂධ වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුදල් වෙනත් අත්‍යවශ්‍ය කරුණක් සඳහා යොදා ගත හැකිය.

ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ ජීවත් වන රටාව මඳක් වෙනස් කිරීම පමණි. මේ ක්‍රමවේදය සකසා ඇත්තේ පර්යේෂණ මඟින් සාර්ථක බැව් සනාථකර ඇති ක්‍රමවේදයන්හි ඇති කොටස් අපේ සංස්කෘතියට, අපට ගැළපෙන පරිද්දෙන් වෙනස් කිරීමෙනි.

* රාත්‍රී 10ට පෙර නින්දට යන්න

* දවසේ වැදගත් ම ආහාර වේල රාත්‍රී ආහාර වේලයි. රාත්‍රී ආහාර වේල සවස 7ට පෙර ගන්න.

* සෑම ආහාර වේලකට ම පැය බාගයකට වතුර වීදුරුවක් හෝ දෙකක් බොන්න. ආහාර ගැනීමෙන් පසුව පැය භාගයක් යනතෙක් වතුර පානය නොකරන්න. දිනකට වතුර ලීටර 2-3ක් පානය කරන්න.

* දිනපතා ඔබේ පවුලේ සියලු දෙනාම එකට එකතු වී පැය භාගයක් සතුටු සාමීච්චියේ යෙදෙන්න. විනෝද වන්න.

* දිනපතා විනාඩි විස්සක් භාවනා කරන්න.

* ප්‍රධාන ආහාර වේල පමණක් ගන්න. ඒ අතරතුර විවිධ දේ ටික ටික කෑමෙන් වළකින්න. ප්‍රධාන ආහාර වේල බඩ පිරෙන්න ම කන්න.

* රාත්‍රී ආහාරයෙන් පසු පහුවදා උදේ ආහාර වෙල වනතෙක් වතුර පමණක් බොන්න. උදෑසන කිරි තේ බීමෙන් වළකින්න. අවශ්‍යම නම් කිරි හෝ සීනි නැතිව තේ හෝ කෝපි බීමට හැකියි.

* ව්‍යායාම ටිකක් කරන්න. කරන ටික දැනෙන්නට කරන්න. ව්‍යායාම සඳහා ඇවිදීමෙන් ඵලක් නොවේ.

සඳුදා සහ බ්‍රහස්පතින්දා

ස්කොට්ස් 13

පුෂ් අප්ස් 11

වෝකිං ලංස් 11/11

රෝවිංස් 11ක් හෝ පුල් අප්ස්

5ක් මෙය විනාඩි විස්සක් තුළ රවුම් කිහිපයක් ම කරන්න.

* පැණි රස ආහාර, පිටි ආහාර, කිරි, එළවළු තෙල් වර්ග සහ පැකට් කළ හා කෘත්‍රිමආහාර වලින් හැකි තරම් වළකින්න

* ආහාර ගන්නේ කුමන වේලාවට ද? පළමු මාසය තුළ පැය 10ක් තුළ ආහාර වේල් 3ක් පමණක් ගන්න.

උදේ ආහාරය 9-10ත් අතර

දිවා ආහාරය 2-3ත් අතර

රාත්‍රී ආහාරය 6-7 අතර ගන්න.

දෙවැනි මස සිට ඉදිරියට 16/8 ක්‍රමයට අනුගත වෙන්න. එනම් පැය 8ක් තුළ ආහාර වේල් දෙකක් පමණක් ගන්න.

උදේ ආහාරය 11 පසු වී ගන්න. රාත්‍රී ආහාරය 7ට පෙර ගන්න.

* කන්නේ මොනවාද?

පිෂ්ටය සහිත ආහාර 'වෙනුවට' පොල් සම්බෝල, දිනකට කහ මදය සහිත බිත්තර හතරක්, මීකිරි, මාළු, මස්, අලිගැටපේර ඇති තරම් කෑමට හැකියි. පොල් තෙල් සහ බටර් හැරුණු විට අනෙක් තෙල් වර්ග තහනම් ආහාර වේ.

මේ ක්‍රමයට අනුගත වීමේ දී එහි දක්වා ඇති සියල්ලම එකවර කිරීමට ඔබට අපහසු ඇති. නමුත් ඔබට හැකි ආකාරයෙන් පියවරෙන් පියවර එය අනුගමනය කිරීමෙන් නිරෝගී දිවියකට පියවරෙන් පියවර ළඟා වීමට ඔබට හැකි වේ.

 

ලෙඩ අඩු කර
හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය 
ජානක වන්නකු