යළි යළිත් හිස ඔසවන කෝවිඩ්

ඩෙංගු දිනෙන් දින ඉහළට
වඳුරු උණත් එනවා
අගෝස්තු 1, 2022

 

මුව ආවරණ පැලඳීම ඔබේ ආරක්ෂාව සහතික කරයි

මංකිපොක්ස් ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යයි
 

 

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ ගෝලීය වසංගතයක් ලෙසින් කෝවිඩ් පැතිර ගියේය. ඒ නිසා ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයකට තවමත් තම දෛනික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑමට නො හැකිව තිබේ. මේ තත්ත්වය ලංකාවටත් එලෙසම බලපාද්දී පසුගිය මාස කිහිපය පුරාවට ඇති වූ තෙල්, ගෑස් සහ ශීඝ්‍රයෙන් ඉහළ ගිය උද්ධමනය හමුවේ අපේ රටේ ජනතාව පුදුම තරම් දුක්ඛිත ජීවිත ගත කරන පිරිසක් බවට පත් වී ඇත.

මෙවැනි පසුබිමක් නිර්මාණය වී තිබිය දී ම තවත් අලුත් කෝවිඩ් රැල්ලක් එන්නයි හදන්නේ. එය නම් කොට ඇත්තේ BA 5 ලෙසයි. මේ ඔමික්‍රෝන්වල තවත් ප්‍රභේදයකි.

* මේ දිනවල පැතිරෙන කෝවිඩ්වල අලුත්ම ප්‍රභේදය මේ BA 5 යි.

* ප්‍රතිශක්තිය නොසලකන මේ නව ප්‍රභේදය ප්‍රබල ලෙස ශීඝ්‍ර වර්ධනයක් ඇතිව වේගයෙන් පැතිරෙන අතර මේ වන විට ලෝකයේ රටවල් 63 ක පමණ ව්‍යාප්තව තිබේ.

* නව ප්‍රභේදය දැනටමත් අසල්වැසි ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, මැලේසියාව, එක්සත් ජනපදය සහ යුරෝපයේ රටවල් පුරා නවතම ආසාදන රැල්ලක් වාර්තා කර ඇත.

* මේ වන විට බොහෝ රටවල ඔවුන්ගේ කෝවිඩ් සීමාවන් ද ඉවත් කර ඇත. ඒ නිසා දැන් මිනිසුන් වැඩිපුර එකට එක් වන අතර එමඟින් වයිරසය පැතිරීමට වැඩි අවස්ථාවක් ලැබී ඇත.

* අනෙකුත් කෝවිඩ් ප්‍රභේද මෙන්ම මෙහිද අවදානම හෝ බරපතළ රෝගාබාධ වැඩිම වශයෙන් පවතින්නේ වයෝවෘද්ධ හෝ සැලකිය යුතු නිදන්ගත රෝග තත්ත්වයන් ඇති පුද්ගලයන්ටයි.

* බොහෝ අය අතීත ආසාදනවලින් සහ එන්නත් කිරීමෙන් යම් ප්‍රතිශක්තියක් ගොඩනගා ගෙන ඇති අතර එය සමස්තයක් ලෙස රෝග අවදානම අඩු කිරීමට උපකාරී වනු ඇත.

* නමුත් උප ප්‍රභේද පහසුවෙන් ව්‍යාප්ත වන බව අමතක කළ යුතු නැත.

* දැනට ලබාදෙන වර්ධක එන්නත් (බූස්ටර්) මාත්‍රා නිසි පරිදි ලබා ගැනීම මේ නව ප්‍රභේදවලට එරෙහිව නැවත ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා ආරක්ෂණ පියවරකි.

* මුල් එන්නත ගත් අය තුළ පවා ප්‍රතිශක්තිය යම් දුරකට අඩු වී ඇති නිසා වර්ධක මාත්‍රාව ලබා ගැනීමෙන් රෝගයෙන් ගැලවී සිටින්නට අවශ්‍ය හැකියාව ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි.

* අලුතින් බිහිවන ප්‍රභේද, නව විකෘති ලංකාව තුළට ඕනෑම මොහොතක පැමිණීමට ඉඩකඩ ඇති නිසා තම ප්‍රතිශක්තිය නිසි පරිදි උපරිම මට්ටමක තබා ගැනීම වැදගත්.

* මීට මාසයකට පමණ පෙර කළ රැපිඩ් ඇන්ටිජන් සහ පි.සී.ආර්. පරීක්ෂණ දාහකට ආසන්න ගණනකින් කෝවිඩ් රෝගීන් පහක් හයක් වැනි ප්‍රමාණයක් හමුවිය. ඒ ප්‍රමාණයම අද වන විට දිනකට 70 - 80 දක්වා වාර්තා වන්නට පටන් අරන්.

* මීට සති කිහිපයකට පෙර දින තුන හතරකට වරක් කෝවිඩ් මරණයක් වාර්තා වුවත් දැන් දිනකට එක මරණය බැගින් වාර්තා වෙනවා.

* ශ්‍රී ලංකාව තුළ මේ වන විට කෝවිඩ් පරීක්ෂණ සිදුකිරීම අතිශයින් සීමා කර ඇති බැවින් බරපතළ රෝග ව්‍යාප්තියක් අපේක්ෂා කළ හැකියි.

* නව කෝවිඩ් ඔමික්‍රෝන් වයිරසයේ රෝග ලක්ෂණ ලෙස කැස්සක් හෝ උණ, සන්ධි වේදනාව, හිසරදය, බෙල්ලේ වේදනාව, ඉහළ සිරුර පිටුපස වේදනාව, නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ ප්‍රකට බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

* එම පර්යේෂණවලට අනුව මේ ප්‍රභේදයෙහි භයානක බව ඩෙල්ටා ප්‍රභේදයට වඩා පස් ගුණයකින් පමණ වැඩි වන අතර මරණ අනුපාතිකය ද ඩෙල්ටාවලට වඩා වැඩි බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.

* රෝගය දරුණු ලෙස වර්ධනය වීමට අඩු කාලයක් ගත වන අතර සමහර විට පැහැදිලි රෝග ලක්ෂණ නොමැත. වයිරසය ප්‍රජාව තුළ පැතිරී පෙනහලුවලට කෙළින්ම ආසාදනය වන අතර එය වයිරස් නියුමෝනියාවට තුඩු දේ. පසුව උග්‍ර ස්වසන පීඩනය ඇති කරයි.

* මුව ආවරණ පැලඳීම අනිවාර්යය වේ. ගෘහස්ථ එක් රැස්වීම්වල දී පවා මුව ආවරණ පලඳින්න.

* විවෘත ස්ථානවල පවා මීටර් එකහමාරක දුරක් තබා ගන්න.

* සෑම කෙනකුම රෝග ලක්ෂණ නොමැති වුවත් කැස්ස හෝ කිවිසුම් යාමේ දී නිතර නිතර අත් සෝදන්න.

 

 

* මෙය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගත යුතු බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරසිංහ පවසයි.

* ඩෙංගු රෝගය වැළැක්වීමට දායක වීම අප සැමගේ යුතුකමකි.

* ඩෙංගු යනු වයිරසයක් මඟින් බෝවන රෝගයකි. ඊඩ්ස් වර්ගයේ මදුරුවන් රෝග වාහකයා වශයෙන් ක්‍රියා කරමින් වයිරසය රෝගියකුගෙන් නිරෝගී පුද්ගලයෙක් වෙත ගෙන යයි.

* ජලය එකතු වන ස්ථාන හා භාජනවල ඩෙංගු මදුරුවන් බිත්තර දමයි. අවම වශයෙන් සතියකට වරක්වත් මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා විනාශ කළ යුතුය.

* ඉවත ලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් ටින් ආදිය ප්‍රතිචක්‍රීකරණය කරන්න. විනාශ කරන්න/විකුණා මුදල් උපයා ගන්න/ වළලා දමන්න./ වතුර නො රැඳෙන සේ තළා දමන්න.

* ඉවතලන ටයර්වලට වැලි පුරවන්න. ජලය නො රැඳෙන සේ ගබඩා කරන්න.

* වැහි පීලිවල හිර වී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසුදු කරන්න.

 

* රෝග ලක්ෂණ

තද උණ, වමනය, ඔක්කාරය, හිසරදය, ඇඟපත වේදනාව, ඇස් යට වේදනාව, මුහුණ හා උඩු කය ප්‍රදේශය රත් පැහැ ගැනීම

 

* අවදානම් රෝග ලක්ෂණ

උණ බැස ගිය ද රෝගියාගේ රෝග ලක්ෂණවල වැඩිවීමක් පෙන්නුම් කිරීම, ආහාර හා දියර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, උදරයේ ඇතිවන තද වේදනාව, අප්‍රාණික බව, නිදිමත බව, පැය හයක් තුළ හෝ ඊට වැඩි කාලයක් තුළ මුත්‍රා අඩුවෙන් පිටවීම/මුත්‍රා පිට නොවීම, රුධිර වහනය වීමේ තත්ත්වයන් (නාසයෙන්, විදුරුමසින්, සමෙන්, යෝනි මාර්ගයෙන්), කළු දුඹුරු පැහැයෙන් වමනය මල පහ පිටවීම

 

* ඩෙංගු උණ රෝග ලක්ෂණ ඇත්නම්

වෙහෙසකර කටයුතුවලින් වැළකී විවේක ගන්න. දරුවන් පාසල් යැවීමෙන් වැළකී සිටින්න. උණ පවතින කාලයේ හැකිතාක් දුරට මදුරු දැලක් යට විවේකීව සිටින්න. නියමිත මාත්‍රාවට හා නියමිත කාල පරාසයක් තුළ පමණක් පැරසිටමෝල් ඖෂධ ලබාගන්න. උණ හෝ වේදනා සමනය කිරීමට ඇස්ප්‍රීන් ස්ටීරොයිඩ් හෝ වෙනත් වේදනා නාශක ඖෂධ කිසිම ආකාරයකින් (සපෝසිටර් ආකාරයෙන්) ලබා නො දෙන්න.

* මෙහිදී රුධිර පරීක්ෂාවක් (Full blood count) කිරීම අනිවාර්යය වේ.

සාමාන්‍ය පුද්ගලයකු නම් උණ සෑදී තුන්වැනි දිනයේ දී ද වයස අවුරුදු 1 ට අඩු දරුවකු හෝ ගර්භණී මවක් නම් උණ සෑදී ප්‍රථම දිනයේ දී ද අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයකු නම් උණ සෑදී දෙවැනි දිනයේ දී ද නිදන්ගත රෝගයකින් පෙළෙන අයෙක් නම් උණ සෑදී දෙවැනි දිනයේ දී ද මේ රුධිර පරීක්ෂාව කර ගතයුතු වේ.

 

* දියර වර්ග පානය කරන්න. කැඳ, සුප්, ජීවනී, කිරි, පලතුරු යුෂ වඩාත් සුදුසුයි. පහසුවෙන් දිරවිය හැකි සැහැල්ලූ ආහාර ගන්න. රතු, දුඹුරු, කළු පැහැති ආහාර ගැනීමෙන් වැළකී සිටින්න.

* තරල කළමනාකරණය (Fluid Management) හා ඇඳ විවේකය (Bed rest) අත්‍යවශ්‍ය වේ.

 

වඳුරු උණ හෙවත් මංකිපොක්ස්

* ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි ගෝලීය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ රටවල් 75කින් පමණ වඳුරු උණ ආසාදිතයන් 16,000 වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟයි.

* අසල්වැසි ඉන්දියාවෙන් මේ වන විට වඳුරු උණ ආසාදිතයන් කිහිපදෙනකු හඳුනාගෙන තිබේ.

* වඳුරු උණ මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ බහුලව දක්නට ලැබෙන වෛරසයකි. මෙය පැපොලවලට (චිකන්පොක්ස්) සමානය. වඳුරු උණවලින් ආරක්ෂා වීමට පැපොල වෛරසයෙන් ආරක්ෂාවීමට ලබාදෙන වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදේ.

* වඳුරු උණ වයිරසය පළමුවෙන් හඳුනා ගැනුණේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලින් ය. වඳුරු උණ යනුවෙන් හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායි සතුන් හරහා ද මේ වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වේ.

* මංකිෆොක්ස් බෝවන රෝගයකි.

* මෙය ප්‍රධාන වශයෙන් ස්වසන මාර්ගය හරහා පැතිරෙයි. නැත්නම් සම මතින්. සත්තුන්ගෙන් වගේම මිනිසුන්ගෙනුත් හැදෙන්න පුළුවන්.

* රෝගය විනිශ්චය කරන්න පුළුවන් වන්නේ PCR පරීක්ෂණයක් මඟින්. රෝග පිළිබඳ පර්යේෂණ කිරීමට අවශ්‍ය සියලුම පර්යේෂණ කට්ටල මෙරට විද්‍යාගාර සතුව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

* ආසාදනය සාමාන්‍යයෙන් දින 14 සිට 21 දක්වා පවතී. මේ කාලයේ තද උණ, වසා ගැටිති ඉදිමීම, මාංසපේශි හා ශරීර කැක්කුම, ඇඟ පුරා බිබිලි මතු වීම, කුෂ්ඨ වැනි තුවාල, පිටේ වේදනාව ඇති වේ.

* වඳුරු උණ බරපතළ රෝගයක් නොවන අතර ඉක්මනින් සුව වීම හෝ සංකූලතා ඇතිවීම හෝ සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිය අනුවයි.

* ආසාදිත පුද්ගලයකු සමීපව ඇසුරු කරන විට වඳුරු උණ රෝගය පැතිර යා හැකියි. තුවාල, ශරීර තරල, ස්වසන ජල බිඳිති, ඇඳ ඇතිරිලි හරහා වෛරසය ශරීරය තුළට ඇතුළු විය හැකියි.

 

 

අදහස් දැක්වීම -

වසංගත රෝග විද්‍යා අංශයේ

අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය

සමිත ගිනිගේ

 

ඩෙංගු මර්ධන ඒකකයේ

අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය

සුදත් සමරසිංහ

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ

අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව හා

ශල්‍ය ජෛව විද්‍යා ආයතනයේ

අධ්‍යක්ෂ මහාචාර්ය

චන්දිම ජීවන්දර