හෙපටයිටිස් අක්මාවට බලපාන රෝගයක්

එන්නත්කරණයෙන් වළක්වා ගන්න
අගෝස්තු 8, 2022

 

බොහොමයක් රෝග අක්මාවට සෘජු බලපෑම් එල්ල කරයි. මේ නිසාම අක්මාව සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලු ද බොහොමයක් වේ.

 

හෙපටයිටිස් හෙවත් අක්මා ප්‍රදාහය අක්මාව රෝගී කරයි. මෙහි ඇති භයානකකම පිළිබඳ ලෝකවාසීන් දැනුම්වත් කරලීම සඳහා ම වූ ලෝක හෙපටයිටිස් දිනය සෑම වසරක ම ජූලි මස 28 වැනි දිනට යෙදී තිබේ.

 

සාම්ප්‍රදායිකව හෙපටයිටිස් යැයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඇස් කහ වී වමනය ගොස් සෑදෙන බෝවන සෙංගමාලය යි.

 

හෙපටයිටිස් වර්ග

ලෝක හෙපටයිටිස් දිනයේ දී වැඩි අවධානය යොමු වන්නේ හෙපටයිටිස් B සහ C යන වර්ග කෙරෙහි ය.

හෙපටයිටිස් B සඳහා එන්නතක් මෙන්ම ඖෂධ ද තිබේ. මේ එන්නත ලංකාවේ ද ක්‍රියාත්මක වේ. රුධිරය මාර්ගයෙන් (ලේ දීමෙන්), ලිංගික ක්‍රියාවන් මඟින් මෙය සෑදේ. එනම් රුධිරය සහ තරල මඟිනි. හෙපටයිටිස් B වැලඳී ඇත්දැයි දැනගත හැකි වන්නේ විශේෂ රුධිර පරීක්ෂාවක් මඟින් (Hepatitis B Surface Antigen) ය.

බොහෝවිට හෙපටයිටිස් B සහ C යන තත්ත්වයන්ගේ රෝග ලක්ෂණ පහළ වන්නේ අක්මාව බරපතළ ලෙස හානිවීමෙන් අනතුරුවයි.

 

වැලඳෙන ආකාරය

සමලිංගික සබඳතා පවත්වන පුද්ගලයන්, මත්ද්‍රව්‍ය ශිරා ඔස්සේ එන්නත් කරන්නන්, ලිංගික වෘත්තියේ යෙදෙන්නන්, පච්ච කෙටීම, කටු චිකිත්සාව සඳහා ජීවානුහරණය නො කළ කටු වර්ග භාවිත කිරීමෙන් හෙපටයිටිස් B වැලඳීමට ඇති අවදානම වැඩිය.

හෙපටයිටිස් B ආසාදනයෙන් පෙළෙන ලිංගික සහකරුවකු සිටින පුද්ගලයින් දැඩි අවදානම් කණ්ඩායම් ය. මොවුන් හෙපටයිටිස් B එන්නත (HBV) ලබා ගැනීම අනිවාර්යය වෙයි. ගර්භණී සමයේ දී දරු ප්‍රසූතියේ දී හෝ මව්කිරි දීමේ දී මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම, අනාරක්ෂිත මුඛ, යෝනි සහ ගුද ලිංගික සංසර්ගයේ දී ආසාදිත රුධිරයෙන්, අපවිත්‍ර වූ දත් බුරුසු, රේසර් හෝ තුවා හවුලේ භාවිත කිරීමෙන් හෙපටයිටීස් B බෝවීමේ අවදානම තිබේ.

 

රෝග ලක්ෂණ

රෝග ලක්ෂණ මතු නො වීම ම අවාසනාවකි. ඇතැමුන්ට උණ, වමනය, පාචනය, ආහාර අප්‍රිය බව, ඇස් කහ වීම, මුත්‍රාවල තද පැහැය දක්නට ලැබී වසර ගණනාවක් පුරා රෝග ලක්ෂණ නොපෙන්වා සිටීමෙන් පසු සිරෝසීස් තත්ත්වය, අක්මාව අකර්මණ්‍ය වීම, අක්මා පිළිකා ඇතිවීමට පුළුවන.

 

හෙපටයිටිස් C

හෙපටයිටිස් C ඉතාම භයානක රෝග තත්ත්වයකි. මේ සඳහා ඖෂධ ඇතත් එන්නතක් නොමැත. ප්‍රතිකාර නො ලැබුණොත් පහසුවෙන් ම දිගුකාලීන අක්මා ආබාධ ඇති වේවි. මෙය ද ලිංගික සබඳතා හෝ ගර්භණී සමයේ මවගෙන් දරුවාට වැලඳිය හැකියි. අක්මාවට දැඩි ලෙස හානි කරන නිසා මොවුන් හෘදයාබාධවලට ගොදුරු වීමේ අවදානමක් ද ඇත. අක්මා බද්ධය මෙවැනි රෝගීන් සඳහා ඇති එකම විකල්පය යි.

 

හෙපටයිටිස් D

මෙය සෑදෙන්නේ හෙපටයිටිස් B වැලඳුන අයටමයි. ඒ නිසා හෙපටයිටිස් B එන්නත ලබා ගැනීම අනිවාර්යය වේ.

 

හෙපටයිටිස් E

මෙය ලංකාවේ දක්නට ලැබෙන්නේ ඉතාම සුළු වශයෙනි.

 

හෙපටයිටීස් A

ලංකාවේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ හෙපටයිටිස් A තත්ත්වයයි. හෙපටයිටිස් A වැලඳී ඇති කෙනකුගේ මලපහවලින්, දූෂිත යමක් මුඛයට ඇතුළු වීමෙන් මේ වයිරසය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවීමට පුළුවන. දූෂිත ජලය පානය කිරීමෙන් ද හෙපටයිටිස් වැලඳීමට පුළුවන. සෞඛ්‍ය තත්ත්වය දුර්වල, පුද්ගල සනීපාරක්ෂාව අනුගමනය නොකරන ප්‍රදේශවල මේ වයිරස් එක පහසුවෙන් පැතිර යයි. අක්මාව දුර්වල වීමට Non Alcoholic Cirrhosis තත්ත්වය බලපායි. දියවැඩියාව, කොලෙස්ටරෝල් ඇති තරමක් ස්ථුල බවින් වැඩි අය Non Alcoholic Cirrhosis තත්ත්වයෙන් පීඩා විඳී.

හෙපටයිටිස් A රෝග ලක්ෂණ

සෑම කෙනකුටම හෙපටයිටිස් A රෝග ලක්ෂණ පහළ නොවේ. වැඩි වශයෙන් රෝග ලක්ෂණ පහළ වන්නේ ළමයින්ට වඩා වැඩිහිටියන්ටයි. උණ, මහන්සිය, ආහාර අරුචිය, ඔක්කාරය, තද පැහැති මුත්‍රා, කහ උණ පවතී.

 

වළක්වා ගැනීම

* නිතරම අත් සෝදන්න

* වැසිකිළි යාමෙන් පසුව ආහාර ගැනීමට පෙර අත් සේදිය යුතුමයි.

* කුඩා දරුවකුගේ නම් නැපි මාරු කිරීමෙන් පසුවත් අත් සෝදන්න.

* බීමට ගන්නා ජලය පිළිබඳ සහතික වන්න.

හෙපටයිටිස් A සඳහා ද එන්නතක් පවතී.

 

පොදු රෝග ලක්ෂණ

හෙපටයිටිස් A, B, C, D, E යන සියලු රෝග සඳහා පොදු රෝග ලක්ෂණ කිහිපයක් වේ.

තෙහෙට්ටුව, කෑම අරුචිය, මාංස පේශි හෝ සන්ධි කැක්කුම, වමනය, උදරයේ වේදනාව එම ලක්ෂණ වේ. මීට අමතරව අඳුරු පැහැයෙන් මුත්‍රා පිටවීම, ළා පැහැයෙන් මලපහ පිටවීම, සෙංගමාලය, කැසීම, අභ්‍යන්තර ලේ ගැලීම්, මානසික වෙනස්කම් ඇතිවීමට පුළුවනි.

 

වළක්වා ගැනීමට

* එන්නත් ලබා ගන්න

* වීදි ආහාර ගැනීමෙන් වළකින්න

* බෝතල් කළ ජලය පමණක් පානය කරන්න

* අවම වශයෙන් මිනිත්තුවක් වත් උතුරා ගත් ජලය පානය කරන්න

* අයිස් කැට සමඟ කෝලා සහ වෙනත් බීම පානය නො කරන්න

* කිරි නිෂ්පාදන, මඳ වශයෙන් පිසූ මස් සහ මාළු අනුභව නො කරන්න.

උපදෙස්:  කායික රෝග විශේෂඥ වෛද්‍ය

මහාචාර්ය අනුරාධ දසනායක