අප්‍රිකානු රටවල් අඩපණ කරන මාබර්ග් මරණීය වයිරසයක්

අගෝස්තු 15, 2022

 

කෙන්යාව ඇංගෝලාව, උගන්ඩාව, ඝානාව වැනි අප්‍රිකානු රටවල් කිහිපයකින්ම මාබර්ග් රෝගීන් වාර්තා වී ඇති අතර ඉන් කිහිප දෙනෙකුම මියගොස් තිබේ.උපකාර කරනවා.

 

කාලෙන් කාලෙට විවිධ වයිරස් රෝග වසංගත රෝග ලෙසින් පැතිර යද්දී ඇතැම් වයිරස් රෝග එක් එක් පිරිස්වලට මාරාන්තික වන අවස්ථා ද වේ. මාර්බර්ග් යනු එවැනි දරුණු ගණයේ වයිරසයකි.

 

මාරාන්තික ඉබෝලා වයිරස් කාණ්ඩයේ වයිරසයක් වන මාබර්ග් වයිරසය ඉබෝලා හා ඉතාම සමීපව කටයුතු කරන වයිරස් වර්ගයකි. මේ දෙකෙහි ම රෝග ලක්ෂණ බොහෝ දුරට එක හා සමානය. රක්තපාත උණක් ලෙස ක්‍රියාකරන මේ වයිරසය සිරුරේ පිටතට ශ්‍රාවයන් ගලා යන සියලුම ස්ථානවලින් එනම් කන, නාසය, මුත්‍රා සමඟ මේ ආදී අවයවවලින් රුධිරය ගලන්නට පටන් ගනියි.

දරුණු ගණයේ වයිරස් රෝගවල මරණ අනුපාතිකය සියයට පනහක් පමණ වේ. ආරම්භයේ සිට කෙන්යාව ඇංගෝලාව, උගන්ඩාව, ඝානාව වැනි අප්‍රිකානු රටවල් කිහිපයකින්ම මාබර්ග් රෝගීන් වාර්තා වී ඇති අතර ඉන් කිහිප දෙනෙකුම මියගොස් තිබේ.මාබර්ග් වයිරසය යම් හෙයකින් වැලඳුණේ නම් සියයට 88% ක ප්‍රතිශතයක් මරණයට පත්විය හැකියි.

 

වවුලන්ගෙන් බෝවීම

මෙය අප්‍රිකානු මහද්වීපයෙන් හමු වූ මාරාන්තික වයිරස් රෝගයක් වුවත් ජර්මනියේ මාබර්ග් නමැති නගරයේ මේ පිළිබඳ පර්යේෂණ කරමින් නවතම වයිරසයක් ලෙසින් හඳුනා ගත් නිසා එයට මාබර්ග් (marburg) නම ලැබී තිබේ. මේ වයිරසය මුල් වරට හමු වූයේ 1967 වසරේ දී ය.

මාබර්ග් වයිරසය සහිත වවුලන් කා දමන පලතුරු මිනිසුන් ආහාරයට ගැනීමෙන් මිනිසාට සම්ප්‍රේෂණය වේ. ඉන්පසු මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීම හරහා මිනිසුන් අතර පැතිර යයි. ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් මෙවන් වසංගත රෝග සාර්ථකව පාලනය කරගත හැකියි.

 

මිනිසාගෙන් මිනිසාට

ලෝක සෞඛ්‍ය සංවිධානය හැම විටම මෙවැනි වසංගත රෝග පැතිර යෑම සම්බන්ධයෙන් සීරුවෙන් සිටී.

කෝවිඩ් රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී සෞඛ්‍ය කාර්යය මණ්ඩලය PPE ඇඳුම් කට්ටලයක් ඇඳ සිටිනු ඔබ දැක ඇති. මෙවැනි ඇඳුම් කට්ටලයක් නිර්මාණය වූයේ ඉබෝලා, මාබර්ග් වැනි රෝගීන් සමඟ කටයුතු කිරීමටයි. එම ඇඳුම් කට්ටලය කෝවිඩ් රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කරද්දී ඉතාම ප්‍රයෝජනවත් එකක් විය.

මිනිසාගෙන් මිනිසාට මාබර්ග් වයිරසය සම්ප්‍රේෂණය වන්නේ ආසාදිත පුද්ගලයන්ගෙන් රුධිරය, ශ්‍රාවයන් සහ ශරීර තරල සෘජු ලෙස ස්පර්ශ වීමෙන් ය. එම තරලවලින් දූෂිත වූ මතුපිට එනම් ඇඳ ඇතිරිලි, ඇඳුම් පැලඳුම් පවා තවත් කෙනකුගේ කැඩුණු සම වැනි දේ හරහා සම්ප්‍රේෂණය වීමට පුළුවනි.

කෝවිඩ් රෝගීන් මෙන්ම මෙවැනි රෝගීන් ද වෙන් කොට (isolation) ප්‍රතිකාර සිදු කරයි. මෙවැනි අය මියගිය පසු දේහය සමඟ ඍජුව සම්බන්ධ වන අයට වුව වයිරසය සම්ප්‍රේෂණය විය හැකියි. ඔවුන්ගේ රුධිරයේ වයිරසය තිබෙන තාක් බෝවීම ද සිදුවේ.

 

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් දින දෙකේ සිට 21 දක්වා රෝග ලක්ෂණ පවතී.

* අධික උණ

* දරුණු හිසරදය

* දරුණු ව්‍යාධිය

* මාංස පේශී කැක්කුම සහ

වේදනාව ආදිය පොදු ලක්ෂණයි.

මීට අමතරව

* දරුණු දියරමය පාචනය

* උදරය වේදනාව

* ඔක්කාරය හා වමනය තුන්වැනි දින සිට ආරම්භ විය හැකියි. පාචනය සතියක් පමණ පවතීවී. දින 5 - 7 අතර දරුණු රක්තපාත තත්ත්වයක් වර්ධනය වී ලේ ගැලීමක් සිදු වීමට පුළුවනි. වමනය, මලපහවලින්, යෝනි මාර්ගයෙන්, නාසයෙන්, විදුරුමස්වලින් මෙම රුධිර ගැලීම සිදු විය හැකියි.

 

ප්‍රතිකාර සහ එන්නත්

මේ සඳහා තවමත් එන්නතක් නොමැති අතර ඒ සඳහා විවිධ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

 

වැළැක්වීම සහ පාලනය

වසංගත රෝග පාලනයට ප්‍රජා සහභාගිත්වය අත්‍යවශ්‍ය වේ. ආරක්ෂක පියවරයන් අනුගමනය කිරීම මිනිස් සම්ප්‍රේෂණය අවම කිරීමට ඵලදායී ක්‍රමයකි. සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවමින් පවසන්නේ මස් මාංස ආහාරයට ගැනීමට පෙර හොඳින් පිස ගන්නා ලෙසයි. එසේම අවශ්‍ය පමණට ජලය පානය කිරීමෙන් ආසාදිතයා බේරාගත හැකි වේ.කෝවිඩ් රෝගය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ සෞඛ්‍යය මාර්ගෝපදේශයන් මාබර්ග් සඳහා ද අදාළ වේ.

 

 

උපදෙස් :

කොළඹ ජාතික රෝහලේ

කායික රෝග විශේෂඥ

වෛද්‍ය උපුල් දිසානායක