වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මරණ හා ආසාදිතයන් ගණන ආයෙත් ඉහළට
පොදු ප්‍රවාහනයේ දී පොදු ස්ථානවල දී රැකියා ස්ථානයේ දී මුඛ ආවරණ නිරතුරුවම පැලඳ සිටින්න.
අපි දන්නා හඳුනන හැමෝටම වගේ කෝවිඩ් පොසිටිව් වුණු කාලයක් තිබුණා. නෑදෑයෝ, සමීප හිතවතුන් කෝවිඩ් ආසාදිත රෝගීන් වෙද්දි ඒ අතරින් මරණත් වාර්තා වුවා. පසුගිය මාස කිහිපයේ මේ තත්ත්වය ක්‍රමයෙන් පහළ බැස ගොස් තිබුණා. මේ නිසා ම මුඛ ආවරණ භාවිතය පවා අනිවාර්යය නො වුණා. ඒත් දැන් උදා වී ඇත්තේ පෙර පැවති තත්ත්වයමයි. කෝවිඩ් ආසාදිතයන් මෙන්ම කෝවිඩ් මරණ සංඛ්‍යාව ද දැන් ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන්නට පටන් අරන්.
මේ දිනවල අමෙරිකාව, එංගලන්තය ඇතුළු ලොවපුරා රටවල් ගණනාවක ම පැතිරෙන්නේ ඔමික්‍රෝන් හි අලුත්ම උප ප්‍රභේදය යි. BA 5 නමැති මේ උප ප්‍රභේදය වඩාත්ම පැතිරෙන්න පටන් ගත්තේ ජූලි මාසයේ දී. ඊට පෙර පැවතියේ BA 4 නම් වූ ඔමික්‍රෝන්වල උප ප්‍රභේද යයි. අමෙරිකා එක්සත් ජනපදයේ සියලුම කෝවිඩ් රෝගීන් අතරින් සියයට විස්සක් ම සිටියේ BA 4 උප ප්‍රභේදයට ලක් වූවන්. නමුත් ඩෙල්ටා ප්‍රභේදය මෙන් මරණ වාර්තා නොවුණු තරම්.
අපේ රටේ කෝවිඩ් ආසාදිතයන් පිළිබඳ නිශ්චිත නිගමනයකට එන්නට සෞඛ්‍ය අංශවලට නොහැකි වී තිබෙන්නේ කෝවිඩ් පරීක්ෂණ සිදුකරන්නේ ඉතාම සුළු පිරිසක් පමණක් වන නිසා යි. කෝවිඩ් රෝග ලක්ෂණම තිබුණත් බොහෝ පිරිස් වයිරස් උණ යැයි සිතමින් පවුලේ වෛද්‍යවරයාගෙන්, දන්නා හඳුනන වෛද්‍යවරයකුගෙන් වට්ස්ඇප් ක්‍රමයට බෙහෙත් වට්ටෝරුවක් ලබාගෙන ෆාමසියෙන් ඖෂධ ලබා ගන්නට හුරුවී සිටී. නිදන්ගත රෝග ඇති අයට මේ ක්‍රියා පටිපාටිය කොහෙත්ම සුදුසු නැත.
නවතම සොයාගැනීම්වලට අනුව පෙර පැවති ඔමික්‍රෝන් ප්‍රභේදවලට වඩා BA 5 ප්‍රභේදය පහසුවෙන්ම ව්‍යාප්ත වන අතර දකුණු අප්‍රිකාවේ එය ඉතා භයානක ලෙස වැඩි වුණි.
එන්නත් මාත්‍රා හතරම ලබා ගැනීම
කෝවිඩ් 19 සඳහා එන්නත් මාත්‍රා හතරක් දැනට අප රටේ නිර්දේශිත ව තිබෙනවා. පළමු බූස්ටර් එන්නතේ යම් ඵලදායිතාවයක් දක්නට ලැබෙනවා. වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන් සහ ප්‍රතිශක්තිකරණය ඌනතාවන් ඇති අය හතරවන එන්නත ලබා ගැනීම යෝග්‍ය බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
කෝවිඩ්වල විවිධ ප්රභේදයන් කාලෙන් කාලෙට පැතිර ගොස් තරමක විරාමයක් තැබෙද්දී කෝවිඩ් ඉවරෙටම ඉවරයි කියා සිතන්නට බැහැ. තව තවත් නොයෙකුත් ප්රභේදයන් ඉදිරියට ඒවි. ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වන විට රෝහල් ගතවීම් ද ඉහළ යාවි. රෝහල්වල ඖෂධ පිළිබඳ අර්බුදයක් වර්තමානයේ පැන නැගී ඇති බැවින් පසුගිය වසර දෙකේ මෙන් සැහැල්ලුවට සිතන්නට බැහැ. ඔබේ මව, පියා, සමීපතම හිතවතුන්, ඥාතීන් කෝවිඩ් රෝගයේ බිල්ලක් බවට පත් වුවහොත් ඔබේ හෘද සාක්ෂියට මොනම අන්දමකින්වත් සමාවක් නො ලැබේවි.
සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි
මේ නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට කිසිසේත්ම මැළි වන්නට එපා. පොදු ප්‍රවාහනයේ දී පොදු ස්ථානවල දී රැකියා ස්ථානයේ දී මුඛ ආවරණ නිරතුරුවම පැලඳ සිටින්න. ඇල්කොහොල් මිශ්‍රිත සේදුම් කාරකයකින් අත් සෝදන්න. රෝග ලක්ෂණ ඇත්නම් නිවෙසට වී දින කිහිපයක් ගත කරන්න. සෙනඟ ගැවසෙන ස්ථාන හැකිතාක් මඟ අරින්න. කෝවිඩ් රෝගියකුගේ අවසානය නිව්මෝනියාව වකුගඩු අකර්මණ්‍ය වීමේ සිට මරණය දක්වාම වේ.
ආරම්භයේ සිට මේ දක්වා (අගෝස්තු තුන්වැනි සතිය) - ආසාදිතයන් ගණන - 6,68967, මරණ සංඛ්‍යාව - 16650, සුව වූ සංඛ්‍යාව - 651155, දිනකට වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය (මේ දිනවල) - 140 ක් පමණ වේ.
WHO දත්ත ඇසුරිනි.