හැඩකාර සිරුරකට ධනුරාසනය

මාර්තු 25, 2024

 

ඇඟපත කෙට්ටුකර ගත්තත් බඩ අඩු වෙන්නේ නැති එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. කෑම කන ප්‍රමාණය අඩු කළත්, මේදය, පිෂ්ටය අධික කෑම සීමා කළත් සමහරුන්ගෙ බඩ නම් අඩුවෙන්නේ නැහැ. කෑම බීමෙන් පරිස්සම් වෙලා, ව්‍යායාම කළත් බඩ අඩු නොවෙන නිසා ඒ අය ඉන්නේ හිතේ අවුලෙන්. ඇඳුමක් ඇන්දත් බඩ හිරවෙලා ඉදිරියට නෙරලා එන නිසා හිතටත් ඇඟටත් දෙකටම අපහසුයි. ඇත්තටම මේකට විසඳුමක් නැද්ද?

ඒ ගැන තමයි අපි මේ ලිපියෙන් කියන්න හදන්නේ. හැබැයි මේ කියන්න යන ක්‍රමයෙන් බඩ විතරක් නෙවෙයි මුළු සිරුරම හැඩ කරනවා. මේක යෝගාසනයක්.

අද අප හඳුන්වන්නේ ධනුරාසනය. එයි තේරුම දුන්න යන්නයි. මෙය ඉතාමත් ගුණ දෙන ආසනයක්වන අතර අප දැන් එය පුරුදු පුහුණුවන ආකාරය බලමු.

පළමු රූපයේ ආකාරයට වජ්‍රාසනයට පැමිණෙන්න. එසේ වජ්‍රාසනයට පැමිණ නාස් පුඩු තුළින් අශ්වාස ප්‍රශ්වාස කරන්න. මනසින් කය ලිහිල් කරගන්න.

ඉන්පසු දෙවැනි රූපයේ පරිදි සෙමින් ඉදිරියට ඇදී මකරාසන ඉරියව්වට පැමිණෙන්න. මකරාසන ඉරියව්වේ රැඳී අත්දෙකෙන් කම්මුල දෙපස අල්ලගන්න.

ඉන්පසු තුන සහ හතර රූපවල පරිදි පාදවල නම්‍යශීලිභාවය සඳහා පා දෙක නමන්න. දිග හරින්න. මෙසේ කරනවිට දණහිස් සන්ධිවලින් නැමීමට අත් දිග හැරීමට පහසු වේ.

දැන් පස්වැනි රූපයේ පරිදි වම් අතින් වම් පාදයේ වළලුකර අල්ලා ගන්න. දකුණු අතින් දකුණු පාදයේ වළලුකර අල්ලාගන්න. ඒ සමඟම නාස් පුඬු තුළින් පෙණහැල්ල පිරෙන තෙක් හුස්ම ගෙන සෙමින් ඉහළට ඇදෙන්න. එසේ ඇදී ඉහළ බලන්න. නැවත හුස්ම පිටකර පහළට එන්න. මේ ආකාරයට වාර 6-12 අතර කාලයක් මෙම ධනුරාසනය පුහුණු වන්න.

 

ප්‍රතිඵල

 

මෙම ආසනය පුරුදු පුහුණු කිරීමෙන් මානසික පීඩනය, ආතතිය ඉවත්කර දරාගැනීමේ ශක්තිය වැඩි දියුණු කරයි. මෙම ආසනයේ යෙදී සිටින විට මුළු සිරුරම ඇඳීමකට ලක්වන හෙයින් උදරයට, පපු පෙදෙසට, දණහිසට සහ ගෙල ප්‍රදේශයට අවශ්‍ය ව්‍යායාම් හොඳින් ලැබේ. එමෙන්ම උදරගත ඉන්ද්‍රියන් ප්‍රාණවත්වන අතර ආමාශය, අග්න්‍යාෂය සහ බඩවැල්වල ක්‍රියාකාරීත්වය ද වැඩි දියුණු කරයි.

ධනුරාසනය තරබාරු ගති ස්වභාවයෙන් පීඩා විඳින්නන්ට වගේම රෝග වශයෙන් ගත්කළ දියවැඩියාව, ඇදුම, කොඳු ඇට පෙළේ ආබාධ සහ සන්ධි රෝගවලින් මිදීමට මාර්ගයකි.

උදෑසන හිස්බඩ හෝ ආහාර ගෙන පැය 4කට පසු මෙය පුහුණු වන්න. විශේෂයෙන් කාන්තා ලාලිත්‍ය ගැන උනන්දුවන තරුණියක් නම් ධනුරාසනයේ වැඩිපුර යෙදීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකිය.

 

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය

 

නිරූපණය - සුචිත්‍රා ප්‍රියදර්ශනී

ඡායාරූප - රංජිත් අසංක