පිළිකා විනිශ්චයේ වැදගත්කම

ජූලි 28, 2025

ඔබේ වෛද්‍ය වාර්තාව දැක ඔබ සමඟ සාකච්ඡා කළ පසුව පවා ඔබ වාර්තාව ප්‍රවේශමෙන් සංරක්ෂණය කළ යුතුය මන්ද වසර ගණනාවකට පසු රෝගය නැවත ඇති වුවහොත් මුල් වාර්තාව අවශ්‍ය විය හැකිය.

පිළිකාව යනු තනි රෝගයක් නොවේ. එක් එක් අවයව විවිධ වර්ගයේ පිළිකාවලට ගොදුරු විය හැකියි. විවිධ පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර ක්‍රම වෙනස් වන බැවින් පිළිකා වර්ගය නිවැරදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.

පිළිකා රෝග විනිශ්චයේ වැදගත්ම කොටස සිදුකරනු ලබන්නේ ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍යවරුන් විසිනි. පිළිකා කල්තියා

හඳුනා ගැනීම මෙන්ම පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අතිශයින්ම වැදගත් අවශ්‍ය වන වැදගත් තොරතුරු සපයන පිළිකා පටක පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් ඔවුන් විසින් කරනු ලබයි.

 

පිළිකා රෝග විනිශ්චය වාර්තාවක් නිකුත් කිරීමට තුඩු දෙන සංකීර්ණ ක්‍රියාවලිය

පිළිකාවක් නිශ්චිතවම හඳුනාගනු ලබන්නේ ගැටිත්තෙන් ලබා ගත් පටක සාම්පලයක් පරීක්ෂා කිරීමෙනි. රෝග විනිශ්චය සඳහා පටක ඉවත් කිරීම සරල ක්‍රියාවලියක් නැතහොත් එය නිර්වින්දනය අවශ්‍ය වන සංකීර්ණ ශල්‍යකර්ම ක්‍රියාවලියක් විය හැකියි. ඉවත් කරන ලද පටක පසුව ශල්‍ය වෛද්‍යවරයා විසින් අදාළ ව්‍යාධි විද්‍යා රසායනාගාරයකට යවනු ලැබෙයි. මෙසේ ඉවත් කරන ලද පටක කොටස් සංකීර්ණ ක්‍රියා පටිපාටියකින් පසු ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීම සඳහා ස්ලයිඩයක් සකස් කරනු ලැබේ.

 

මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ විශේෂයෙන් පුහුණුවලත් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් කණ්ඩායමක් විසිනි. රෝග විනිශ්චය සරල නොවන අවස්ථාවන්වලදී රෝග විනිශ්චය සඳහා උපකාර කිරීමට අමතර පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. දරන ලද පිරිවැය

රෝගියාට ඇති පිළිකා රෝගය අනුව පිළිකා රෝග විනිශ්චය වාර්තාවක් සඳහා දරන පිරිවැය වෙනස් වියහැකියි සරල රෝග විනිශ්චය වාර්තාවක් සඳහා රුපියල් දහස් ගණනක පමණ සිට අතිරේක පරීක්ෂණ අවශ්‍ය නම් රුපියල් ලක්ෂ ගණනක් දක්වා පරාසයක පවතී මෙම අතිරේක පරීක්ෂණ අතරට immunohistochemistry පරීක්ෂණ ඇතුළත් වන අතර එය පිළිකා සෛලවල නිශ්චිත ප්‍රතිදේහජනක හඳුනාගෙන පිළිකා රෝගයට ඉලක්කගත ප්‍රතිකාර සඳහා ඉතා වැදගත් තොරතුරු සපයයි.

 

පිළිකා රෝග විනිශ්චය වාර්තාවක් යනු?

පටක ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන ලද වාර්තාවේ රෝග විනිශ්චය පමණක් නොව රෝගයේ බරපතළකම සහ රෝගය පැතිරීමේ සම්භාවිතාව පිළිබඳව වැදගත් තොරුද අඩංගු වන අතර එය වෛද්‍යවරුන්ට රෝගයට නිසි ලෙස ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. එබැවින් රෝග විනිශ්චය සඳහා ඉඟි පමණක් සපයන අනෙකුත් රසායනාගාර පරීක්ෂණ මෙන් නොව පටක ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන රෝග විනිශ්චය වාර්තාව බොහෝ විට අවසාන රෝග විනිශ්චය ලෙස සැලකේ.

 

පටක ව්‍යාධිවේද වාර්තාවක් අනෙකුත් රසායනාගාර වාර්තා වලට වඩා වෙනස් වන්නේ ඇයි?

පටක ව්‍යාධිවේද වාර්තාව මඟින් රෝගියෙකුගේ තත්ත්වය පිළිබඳ අවසාන රෝග විනිශ්චයක් ලබා දෙන අතර එය දිගු හා වෙහෙසකර ක්‍රියාවලියකින් පසුව පටක ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍යවරයකු විසින් නිකුත් කරනු ලබන අතර පැය කිහිපයකින් ලබාගත හැකි ස්වයංක්‍රීය රුධිර වාර්තාවක් මෙන් නොව සැලකිය යුතු කාලයක් අවශ්‍ය ක්‍රියාවලියක් වේ. සංකීර්ණ ක්‍රියා පටිපාටිය අවශ්‍ය විය හැකි බැවින් රෝගියෙකුට වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් නොගෙන සාම්පලයක් ලබා ගැනීමට ඉල්ලා සිටිය නොහැකියි. මෙය නිතිපතා හෝ කිහිප වතාවක් සිදුකළ හැකි පරීක්ෂණයක් නොවේ. මන්ද සාම්පලය /පටක එකතු කිරීම රුධිරය හෝ ශරීර තරල ලබා ගැනීමට වඩා සංකීර්ණය. තවද ශල්‍ය කර්මයකින් පසු ඉවත් කරන ලද සාම්පලයක් පසුව අනුපිටපත් කළ නොහැකියි. බොහෝ පටක ව්‍යාධි වේද වාර්තා රෝග විනිශ්චයක් පමණක් නොව රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා මිල කළ නොහැකි වැදගත් පුරෝකථන තොරතුරු සපයයි.

 

පටක ව්‍යාධිවේද වාර්තාවක් පිළිබඳ රෝගීන් මතක තබා ගතයුතු කරුණු

පටක ව්‍යාධිවේද පරීක්ෂණයක් සඳහා යවන සියලුම සාම්පල පිළිකා නොවන බව ඔබ තේරුම් ගැනීමද වැදගත් වේ. රෝග විනිශ්චය සඳහා අමතර පරීක්ෂණ අවශ්‍ය වන අවස්ථාවන්හිදී රෝගියා රසායනාගාර කාර්ය මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් වේ. වාර්තාව සූදානම් වූ වහාම එම වාර්තාව සමඟ ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතු වේ. රෝගියා වාර්තාවේ දක්වා ඇති තොරතුරු අර්ථ නිරූපණය කිරීමට උත්සාහ නොකිරීම හෝ තොරතුරු අර්ථ නිරූපණය කිරීමට පුහුණුවක් නොමැති පුද්ගලයින්ගෙන් ඉල්ලා නොසිටීමද ඉතා වැදගත් වේ.

 

ඔබේ වෛද්‍යවරයා සමඟ ගැටලු සාකච්ඡා කිරීම වඩාත් සුදුසුය රෝග විනිශ්චයකට පැමිණීමට කාලය අමතර පරීක්ෂණ සහ වෙනත් විශේෂඥ වෛද්‍යවරයකු සමඟ සාකච්ඡාව අවශ්‍ය වන බැවින් ඔබේ වාර්තාව ඉක්මනින් ලබාදීමට විශේෂඥ වෛද්‍යවරයාට බලපෑම් නොකිරීම ඉතා වැදගත් වේ. ඔබේ වෛද්‍ය වාර්තාව දැක සමඟ සාකච්ඡා කළ පසුව පවා ඔබ වාර්තාව ප්‍රවේශමෙන් සංරක්ෂණය කළ යුතුය මන්ද වසර ගණනාවකට පසු රෝගය නැවත ඇති වුවහොත් මුල් වාර්තාව අවශ්‍ය විය හැකිය.

 

විශේෂ ස්තුතිය:

 

ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍ය

මහාචාර්ය දුලානි බෙරගම

ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍ය

දයාල් ගම්ලක්ෂ

ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍ය

අවන්ති රාජපක්ෂ