HIV යෞවන වයසේ දරුවන් අතර පැතිරීම ඉහළ ගිහින්

පාලනයෙන් සාමාන්‍ය ජීවිතයක් උරුම කර ගන්න
නොවැම්බර් 7, 2022

 

2030 වන විට ඒඩ්ස් තුරන් කරමු

 

ඇය HIV ආසාදිතයෙක් බව දැන ගනිද්දී වයිරසය ශරීරගත වෙලා වසර දහයකටත් ආසන්න කාලයක් ගත වෙලා. පෙම්වතා සමඟ වසර දෙක, තුනක් පමණ Living together ජීවත් වුණා. ඔහු ඇගේ ජීවිතයෙන් පලා ගිහිල්ලත් දැන් වසර කිහිපයක්. දෛවය ඇයට සරදම් කරන තරම්... ඇගේ ජීවිතය කඩා වැටුණු වාර අනන්තයි‍; අප්‍රමාණයි. ඒත් ඇය තවමත් ශක්තිමත්.

එච්. අයි. වී. වයිරසය වැළඳීම සඳහා අධික අවධානමක් ඇති කණ්ඩායම් සිටී. ඔවුන්ගේ චර්යාවන් නිසා මෙසේ අධි අවදානම් අය ලෙස සැලකේ.

 

  • සමලිංගික හෙවත් පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමි
  • කාන්තා ලිංගික ශ්‍රමිකයන් (ගණිකාවන්)
  • අන්තර් ශිරා මත්ද්‍රව්‍ය විදගන්නන්
  • වෙරළබඩ ආශ්‍රිතව සංචාරකයන් සමඟ ලිංගිකව හැසිරෙන්නන් (Beach boys)
  • ලිංගික සංක්‍රාන්ති පුද්ගලයන් (Transgender)
  • බන්ධනාගාර ගත වූවන් එච්.අයි.වී. වැඩසටහන්වලදී මේ කණ්ඩායම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. සාමාන්‍ය ජනගහණයට ද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වේ.

 

ලිංගාශ්‍රිත රෝග සායන වෙත පැමිණෙන අයගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය උපරිමයෙන්ම රැකේ.

එච්.අයි.වී. හඳුනාගැනීමේ පරීක්ෂණ, සාමාන්‍ය රසායනාගාර පරීක්ෂණ, ක්ෂේත්‍රයේ දී හෝ රසායනාගාරයේ දී කෙරෙන ක්ෂණික පරීක්ෂණ සහ නවතම හඳුන්වා දීමක් ලෙස ස්වයං පරීක්ෂාව ද ජාතික ලිංගාශ්‍රිත සහ එච්.අයි.වී. මර්ධන වැඩසටහන මඟින් හඳුන්වා දී ඇත.

 

ක්ෂේත්‍රයේ දී හෝ සායනයකදී හෝ එච්. අයි. වී. වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගන්නා පුද්ගලයා මූලික පරීක්ෂණයෙන් පසු ඒ බව තහවුරු කිරීම ලිංගාශ්‍රිත රෝග සායනයේ දී සිදුවේ. ඔවුන්ගේ වයිරස ප්‍රමාණය තහවුරු කිරීම, ප්‍රතිශක්ති මට්ටම පරීක්ෂා කිරීම, ප්‍රතිශක්තිය අඩු වීම නිසාම රෝග වැලඳීම සඳහා අධික අවදානමක් ඇති කණ්ඩායම් සිටී.

 

ගර්භණී මවුවරුන් පළමු සති 12 ඇතුළත වෛද්‍ය හමුවේදීම එච්. අයි. වී. සහ උපදංශය යන රෝග සඳහා වූ රුධිර පරීක්ෂණයට අනිවාර්යෙන් ම බඳුන් වේ.

 

ගර්භණි මවගෙන් අලුත උපන් දරුවාට එච්.අයි.වී. ශරීරගත වීම තුරන් කළ රටක් ලෙස අපේ රට ඒ සඳහා වූ සහතිකය ලබාගෙන ඇත.

 

අධි අවදානම් කණ්ඩායම් වල සිටින සාමාජිකයන් සාමාන්‍යයෙන් සමාජයෙන් වසන් ව සිටීමට උත්සාහ කරන නිසා ඔවුන් වෙත ළඟා වීම අපහසුය.

අධි අවදානම් කණ්ඩායම් සමඟ කටයුතු කරද්දි රාජ්‍ය නොවන සංවිධාන ද එකතු කර ගනියි. ඒ අනුව අධි අවදානම් කණ්ඩායම්වල සිටින සහචර නායකයන් එනම් සමලිංගික ඇසුරේ යෙදෙන පිරිමින්ගේ සහය මේ සඳහා යොදා ගනියි. මේ කණ්ඩායම් සමාජයෙන් වසන් වී සිටිමට උත්සාහ කරයි. ක්ෂණික එච්. අයි. වී. පරීක්ෂාව කිරීමට මේ නායකයන් පුහුණු කර ඇත. ප්‍රතිඵලය පොසිටිව් වූයේ නම් අනිවාර්යෙන් ම ලිංගාශ්‍රිත රෝග සහ එච්. අයි. වී. සායනයන් සඳහා යොමු කොට තවත් පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දෙමින් හැකි ඉක්මනින් එච්. අයි. වී. වයිරසය සඳහා වූ ඖෂධ දීම ඇරැඹේ . ඔවුන්ගේ ආයු කාලය සාමාන්‍ය පුද්ගලයන් ගේ ආයු කාලය මෙන්ම හොඳින් දිවේ. ඔවුන්ට විවාහ වීමට, දරුවන් සෑදීමට, සංචාරය කරන්නට, අධ්‍යාපන කටයුතුවල නිරත වීමට කිසිම බාධාවක් නැත.

 

ජීවිත කාලය පුරාම ඖෂධ ගත යුතුය. එවිට මේ වයිරසය රුධිරයේ සොයා ගත නොහැකි තරමටම අඩු වේ. එහිදී ප්‍රතිශක්තිය ඇතුළු සියල්ලක්ම සාමාන්‍ය තත්ත්වයට පත් වේ. වයිරසය සොයා ගත නොහැකි තරමටම අඩුවද්දී (Undetectable) තවත් කෙනකුට බෝවීමට ඇති ඉඩකඩ අගයක් ගනී.

 

'2030 දී ඒඩ්ස් තුරන් කරමු' යන පාඨය එහිදී සනාතන වැකියක් වනු ඇත. එච්. අයි. වී. වලින් ප්‍රතිශක්තිය අඩු වී අවසානයේ ඇතිවන අසාධ්‍ය කාලය ඒඩ්ස් ය. ඒඩ්ස් තත්ත්වයට යෑම අවම කිරීමට නම් මුලින්ම හඳුනා ගැනීම, ඖෂධ ක්‍රමානුකූලව ගැනීම කළ යුතුම වේ. වයිරසය ශරීරගතවී මුල් අවධිය ඇතුළත සොයාගත හොත් ඒඩ්ස් තත්ත්වයට යෑම සම්පූර්ණයෙන්ම වළකාගත හැකියි.

 

95:95:95 ඉලක්කයන්

 

මෙය UNAIDS වෙතින් ලබා දුන් ඉලක්කයකි. මෙම ඉලක්කය සපුරා ලීම සඳහා එච්. අයි. වී. ශරීරගත වූවන්ගෙන් සියයට 95ක් පමණ පරීක්ෂණවලට යොමු වී තමා ආසාදිතයෙක් බව දැන ගනියි. එසේ හඳුනාගත් අයගෙන් සියයට 95ක් හෝ ප්‍රතිකාරවලට යොමුවිය යුතුයි. ප්‍රතිකාරවලට යොමු වූ අයගෙන් සියයට 95ක් හෝ වයිරසය හොඳින් පාලනය කර( Undetactable) ගන්නා පුද්ගලයන් විය යුතුය. මේ ඉලක්කයන් තුන කෙරෙහි 2025 වන විට ළඟා වුවහොත් 2030 වන විට ඒඩ්ස් තුරන් විය හැකියි.

 

උපදෙස්

ලිංගාශ්‍රිත රෝග සහ එච්. අයි. වී. පිළිබඳ

විශේෂඥ වෛද්‍ය මංජුලා රාජපක්ෂ

 

**************************

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන

 

රට තුළ ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග සහ එච්.අයි.වී පාලනය කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ වගකීම දරන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනයි. මෙය කොළඹ 10, ද සේරම් පෙදෙසේ පිහිටා ඇත.

 

මෙහි ඉරිදා සහ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් හැර සතියේ දිනවල පෙරවරු 8.00 සිට 4.00 දක්වාත් සෙනසුරාදා පෙරවරු 8.00 සිට පස්වරු 12.00 දක්වාත් සායන පැවැත් වේ. කොළඹ මධ්‍යම සායනය, කළුබෝවිල, රාගම රෝහලේ ඇතුළුව මේ සායන රටපුරා රෝහල් 41ක පමණ තිබේ.

 

ලිංගාශ්‍රිත සෞඛ්‍ය සේවාවන්, ලිංගික රෝග සහ එච්. අයි. වී. හඳුනාගැනීමේ ක්ෂණික පරීක්ෂණය ඇතුළු රසායනාගාර සේවාවන්, එච්. අයි. වී. ප්‍රතිකාර සහ රැකවරණ සේවාවන්, ප්‍රති වයිරස සත්කාර සේවාවන්, ලිංගාශ්‍රිත රෝග හා එච්. අයි. වී. වළක්වා ගැනීම, උපදේශන හා පුහුණු සේවා වැඩසටහන් මේ ඔස්සේ සිදු වේ.

 

College of sexual Health and HIV Medicine ( SLCOSHH) ලිංගාශ්‍රිත සෞඛ්‍ය සහ එච්.අයි.වී සඳහා වූ විද්‍යාර්ථීන්ගේ සංගමය ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එකකි.