රටින් රටට පැන අපේ රටට ආ මන්කිපොක්ස් අනියත බියක් ඇති කරගන්න එපා

සෞඛ්‍ය අංශ ජනතාවට කියයි
නොවැම්බර් 14, 2022

 

මෙරටින් පළමු මන්කිපොක්ස් රෝගියා හමුවී ඇත. ඉන් රටට දෙන පණිවුඩය වනු ඇත්තේ පරිස්සම් විය යුතු බවය. එසේම, ඉන් වැළකීමට නොපමාව නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු බවය. මේ කියවීම ඒ උදෙසාය.

ලෝකයා අනේක විධ අයුරින් පීඩා විඳිමින් සිටින මෙකල විවිධ වසංගත නිසා ද මිනිසා දුක්ඛිත තත්ත්වයට පත්ව සිටියි. කොරෝනා ඊට උදාහරණයකි. යුරෝපාකරයට අතිශය හානි පැමිණ වූ ඉන් ජීවිත හා දේපළ හානි ඉතා විශාල ය. තවමත් විවිධ උප ප්‍රභේද උපදවමින් කොරෝනා වයිරසය ලෝකයා පෙළමින් සිටියි. මිනිසා ඇසට නොපෙනෙන වයිරසයෙන් මිදෙන්නට මං සොයයි. ඒ අතර වයිරසය ද පැවැත්ම පිණිස විවිධ මුහුණුවරින් පැමිණෙයි.

වඳුරු උණ ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳත්, ඔවුන් වාර්තා වන රටවල් සංඛ්‍යාව දෙසත් විමර්ශනාත්මකව බැලූ විට පෙනී යන්නේ වඳුරු උණ ද වසංගතයක් තත්ත්වයට පත්ව ඇති බවකි.

එහෙත් මේ වන විට එළිදුටු පර්යේෂණ අනුව මේ වයිරසය මාරාන්තික නොවේ. එහෙත් වැඩිදුරටත් ඒ පිළිබඳ පරික්ෂණ පැවැත්වෙන හෙයින් කොරෝනා මෙන් මෙහි විකෘති ප්‍රභේද ආදිය තවදුරටත් ඇති වෙමින් මිනිසාට අභියෝගයක් වේද යන සැකය තවමත් ලෝකයාට පවතියි. මේ රෝගයට ගොදුරු වන දස දෙනකුගෙන් අයකුට එය මාරාන්තික විය හැකිය යන මතයක් ද පර්යේෂකයන් අලුතින් ඉදිරිපත් කර තිබේ. එවැනි තවත් ප්‍රකට මතයක් වී ඇත්තේ විද්‍යාගාර පරික්ෂණවලට යොදා ගැනීමෙන් පසුව පරිසරයට මුදා හැරුණු වඳුරන්ගෙන් මේ රෝගය පැතිරෙන බවටය. එමෙන්ම, තවදුරටත් අන්තර්ජාතික ප්‍රජාව අතර කතාබහට ලක්වී ඇත්තේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් කලෙකට ඉහත දේශනයකදී කළ ඉඟි කිරීමකි. ඉන් ඔහු ඒත්තු ගන්වා තිබුණේ වර්ෂ 2030ට කලින් මෙලොව වඳුරු උණ ඇතුළු වසංගත 4ක් පැතිරෙනු ඇති බවටය.

ඔර්තෝපොක්ස් වයිරස (Orthopoxvirus) මාදිලියට අයත් වයිරසයක් මුල් වීමෙන් මේ රෝගය ව්‍යාප්ත වේ. වඳුරු උණ වයිරසය, වසූරිය ඇති කිරීමට හේතුවන වයිරසය සමඟ සබඳතාවක් ඇතැයි ද හඳුනාගෙන තිබේ. එය එසේ වුවත් වඳුරු උණ වයිරසය, වසූරිය ඇති කරන වයිරසය තරම් දරුණු නැති බව විශේෂඥයෝ පෙන්වා දෙති.

 

* රෝග ලක්ෂණ

වඳුරු උණ ආසාදනය වීමෙන් පසු පළමු අවස්ථාවේදී උණ, හිසරදය, ග්‍රන්ථිවල ඉදිමීම් ඇති වීම, මාංශ පේශීවල වේදනා ඇතිවීම, වෙහෙසකාරී බවක් දැනීම වැනි ලක්ෂණ ද දක්නට පුළුවන. කැසීම් ඇතිවීම, බිබිලි ඇතිවීම, කුෂ්ඨ රෝග හට ගැනීම පසුව දක්නට ලැබේ.

එසේම, මේ වයිරසය මිනිස් සිරුරට ඇතුළු වීමෙන් දින 5ත් දින 21ත් අතර කාල පරාසයකදී රෝග ලක්ෂණ මතු වේ. සති 2ත් සති 4ත් අතර කාලයක් එම රෝග ලක්ෂණ පවතින බව අනාවරණය වී ඇත. එමෙන්ම සති කිහිපයක් ඇතුළතදී ආසාදිතයන්ගේ දේහවලින් වයිරසය ස්වයං පහවීමකට ලක් වේ. එසේ වූවත් ගර්භණී මව්වරුන්ට, කුඩා දරුවන්ට සහ ප්‍රතිශක්තිකරණය අඩු පිරිස්වලට ආසාදිත තත්ත්වය වඩාත් දරුණු අන්දමින් බලපෑමට ඉඩ තිබෙන බව ද ලෝක සෞඛ්‍ය බලධාරිහු පෙන්වා දෙති.

ආසාදනයට එරෙහිව එන්නත්කරණය වඩාත් ඵලදායී වනු ඇතැයි තහවුරු වී ඇත. වඳුරු උණ ආසාදනයට එරෙහිව ක්‍රියාත්මක එන්නතක් ඩෙන්මාර්ක ඖෂධ නිෂ්පාදන සමාගමක් නිෂ්පාදනය කර තිබේ. ඉම්වැනෙක්ස් (Imvanex) නමින් හැඳින්වෙන එකී එන්නත සම්බන්ධයෙන් යුරෝපා ඖෂධ ඒජන්සිය වැඩිදුරටත් පර්යේෂණයන් සිදු කරමින් සිටියි. මේ රෝගයට ගොදුරු වන දස දෙනකුගෙන් අයකුට එය මාරාන්තික විය හැකිය යන මතයක් ද පර්යේෂකයන් අලුතින් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි තවත් ප්‍රකට මතයක් වී ඇත්තේ විද්‍යාගාර පරික්ෂණවලට යොදා ගැනීමෙන් පසුව පරිසරයට මුදා හැරුණු වඳුරන්ගෙන් මේ රෝගය පැතිරෙන බවට ය. එමෙන්ම, තවදුරටත් අන්තර්ජාතික ප්‍රජාව අතර කතාබහට ලක්වී ඇත්තේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් කලෙකට ඉහත දේශනයකදී කළ ඉඟි කිරීමකි. ඉන් ඔහු ඒත්තු ගන්වා තිබුණේ වර්ෂ 2030ට කලින් මෙලොව වඳුරු උණ ඇතුළු වසංගත 4ක් පැතිරෙනු ඇති බවටය.

 

* රෝග සම්ප්‍රේෂණය

 

මේ වයිරසය දරන්නේ වඳුරන්, මීයන්, ලේනුන් වැනි සතුන්ය. විශේෂයෙන්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ නිවර්තන වනාන්තර ආශ්‍රිතව එම වයිරසය දරන ජීවීන් හමුවන බව පර්යේෂණවලින් තහවුරුව ඇත. ආසාදිත මනුෂ්‍යයකුගෙන් තවත් මනුෂ්‍යයකුට වඳුරු උණ බෝ වන අතර කොවිඩ් මෙන් වඳුරු උණ පැතිරී නොයයි. ආසාදිතයකුගේ තුවාලවලින්, තරලවලින්, ශ්වසනය මඟින් බැහැර කෙරෙන කෙළ බිඳිතිවලින් මෙන්ම ආසාදිතයකු භාවිතයට ගත් ඇඳ ඇතිරිලි ආදියෙන් ද පරිහරණය කළ වෙනත් භාණ්ඩවල රැඳී ඇති අපද්‍රව්‍යවලින් ද රෝගය සම්ප්‍රේෂණය කෙරේ. ආසාදිතයකු සමඟ සම්මුඛව පවත්වන සමීප සබඳතාවලින් ද රෝගය සම්ප්‍රේෂණය වන බව සොයාගෙන ඇත.

වඳුරු උණ රෝගය පළමුවෙන් ම වාර්තා වූයේ 1970 වසරේදීය. කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ බසන්කුසු නගරයේ ස්ථානයක කූඩු කර සිටි වඳුරකුගෙන් මිනිසුන්ට වයිරසය සම්ප්‍රේෂණය වී යැයි සඳහන් වේ. වර්ෂ 1981 සහ 1986 අතර කාල වකවානුවේදී වඳුරු උණ රෝගීන් 338කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඉන් 33දෙනකු ජීවිතක්ෂයටත් පත් වී ඇත.

තවද, මේ රෝගය විදේශ සංචාරකයන් හරහා මෙරටට පැමිණියහොත් එය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදු කිරීමේ සියලු පහසුකම් මෙරට පවතින බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකක රසායනාගාරයේ පවතින බව එම ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි. ඊට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දැනටමත් ආනයනය කර ඇති බවත් එම ද්‍රව්‍ය මෙම සතිය තුළදී සිය ඒකකය වෙත ලැබීමට නියමිතව ඇති බව ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. ශ්‍රී ලංකාවේ පළමු මන්කිපොක්ස් රෝගියා හඳුනාගැනීමෙන් අනතුරුව මාධ්‍ය දැනුම්වත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ

රෝගය හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණායතනයේ සියලු පහසුකම් සහ ඖෂධ පවතින බවත් කොවිඩ් වයිරසය මෙන් මෙම වයිරසය බෝවන රෝගයක් නොවන අතර, නිරෝධායනය කිරීමට, ගුවන් තොටුපළ වැසීමට, වෙළෙඳසල් වැසීමට අවශ්‍යතාවයක් නොවන බවත්ය.

මන්කිෆොක්ස් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශකර සිටියේ මෙම රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවය.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියාකිරීම හරහා ඇඟට පනින්නට බලාසිටින මන්කිෆොක්ස් පරාජය කිරීමට හැකිය.

 

 

මංජුලා විජයරත්න

නුවන් මහේෂ් ජයවික්‍රම