ගර්භිණී අම්මලාගේ පෝෂණ මල්ල ගැන කවුරුත් නොදන්නා රහස

නොවැම්බර් 1, 2022

 

පෝෂණ මල්ලට නිසි වටිනාකමක් ලබා දෙමින් අදාළ ආහාර ද්‍රව්‍ය පමණක් ලබා දීම ද ව්‍යාපාරික ආයතනවල සහ නිලධරීන්ගේ වගකීමකි. මේ වගකීම නිසිලෙස ඉටු කළොත් හෙට දිනයේ මෙලොව උපත ලබන සෑම දරුවෙක්ම පෝෂණයෙන් පිරිපුන් දරුවකු වෙනු නිසැකය.
 

දස මසක් මව්කුස දරා පුංචි දරු සිඟිත්තෙකු උපත ලැබීම මවකට මෙලොව සැබෑම වාසනාවකි. මේ උතුම් වු මවුපදවියට ලොව සෑම මනුස්සයකුම අපරිමිත ගෞරවයක් දක්වයි. ඒ දරුවා මොලොව බිහි කරන සෑම මවකගේම උදාර වූ මවු පදවිය හිමි කර ගැනීම විශාල සැපයීමක් කළ යුතු වේ. මෙවන් උතුම් වූ මවු පදවියට වැඩි වටිනාකමක් එක් වන්නේ ඇයගේ කුසයෙන් මෙලොව එළිය දකින බිලිඳා නීරෝගිමත් සොබාසම්පන්න ක්‍රියාශීලි දරුවකු වූ තරමටය. එසේම එම දරුවා හොඳින් හැදී වැඩෙමින් රටට වැඩදායි මිනිසකු වන්නේ ද මවගේ කුසයේදී හිමි පෝෂණ ශක්තියේ බලයෙනි. මහ පොළොවේ සිටුවූ බීජයක් හොඳින් වැඩී පලදාව ලබා දෙන ගසක් බවට පත් වන්නේ, අප සිටුවන බීජය නිසි පෝෂණය ලබමින් වැඩුණොත් පමණකි. එලෙසින්ම දරු ගැබක් මව්කුස පිළිසිඳ ගත් දිනයේ පටන් මවකට නිසි පෝෂණයක් හිමි විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා නිර්දේශ කර ඇත්තේ එහි වැදගත්කම වඩාත් හොඳින් සමාජයට අවබෝධ කර දීමේ අපේක්ෂාවෙනි.

 

මේ උතුම් වූ මවුපදවියට අපි ද නිරන්තරයෙන් ගෞරව කරමු. පොදු මගී ප්‍රවාහන සේවයේ බසයකට ගොඩවන ගැබිනි මවකට අසුනක් වෙන් කිරීමට තරම් අප රටේ ගෞරවයක් හිමිව ඇත්තේ සමාජ සංස්කෘතික හර පද්ධතියට වැඩි වටිනාකමක් ලබා දෙමිනි. එලෙසින් ගැබිනි මවකට දක්වන ගෞරවය මෙන්ම ඇයට නිසි පෝෂණය සපයා දීම සමාජ වටිනාකම ලෙසින් සලකා 2015 වසරේදී වටිනා සද්කාරය ක්‍රියාවක් දීප ව්‍යාපෘතිව රජය විසින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසිනි.

 

මෙරට ඕනෑම ගර්භිණී මවකම මාස 04 සිට ලබා දෙන මෙම පෝෂණ මල්ලේ වටිනාකම රුපියල් විසි දහසකි. මාස 10ක් අඛණ්ඩව හිමි වන මෙම ප්‍රතිලාභය රු.2000 බැගින් මාස්පතා පිරිනමනු ලබන්නේ මවගේ පෝෂණය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ශක්තියක් වීමේ අපේක්ෂාවෙනි.

 

පෝෂණ මල්ල ලබා ගැනීමට සපුරාලිය යුතු සුදුසුකම්

අපේ රටේ ඕනෑම ගර්භිණී මවකට මෙම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා සුදුසුකම හිමිවනු ඇත. ඒ සඳහා සමෘද්ධිලාභියකු හෝ රැකියාවක් නොමැති වීමට අවශ්‍ය නොවන අතර රැකියාවක් කළත් නොකළත් සමෘද්ධි ප්‍රතිලාභ ලැබුණත් නොලැබුණත් ඇය ගර්භනී මවක් ලෙස ලියාපදිංචි වූ පසුව ඇයට මේ සඳහා අයදුම් කිරීම සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය හිමි වේ. එසේම එය හිමි කර ගැනීමට ද අවස්ථාව හිමි වේ. මේ අයදුම්පත්‍රය එම ගර්භිණී මව පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ලබා ගත හැකි අතර එය එම නිලධාරිනිය සහතික කර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ලබා දීම සිදු කරනු ලබයි. ඊළඟ පියවර වන්නේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නිලධාරී මඟින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා පවුල් සෞඛ්‍ය නිලධාරීතුමිය මෙය ලබා දීම සඳහා උපදෙස් ලබා දීමයි.

 

අයදුම් පත්‍රය අනුමත කළ යුතු පියවර

මෙම අයදුම් පත්‍රය ඉන්පසුව අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදීම සිදු කළ යුත්තේ මව පදිංචි ග්‍රාම නිලධාරි විසින් පදිංචිය සනාථ කිරීමෙන් පසුවය.

 

මෙහිදී තවත් විශේෂත්වයක් වන්නේ මේ ප්‍රතිලාභ හිමි කර ගැනීම සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම්ට ඍජුවම ප්‍රතිලාභ නිකුත් කිරීමට අවකාශය ඇති වීමයි.

මෙම අයදුම් පත්‍රය ලබා දීමේදී ප්‍රතිලාභ හිමි මව වෙත දැනුවත් කිරීමේ පත්‍රිකාවක් ද නිකුත් කරනු ලබයි. එහි අයදුම් පත්‍රය සම්පූර්ණ කරන ආකාරය සඳහන් වේ. ඉන්පසුව යොමු විය යුතු නිලධාරින් අයදුම් පත්‍රය බාර දිය යුත්තේ තමා සායනයට සහභාගී වන කොට්ඨාශය ප්‍රාදේශීය කාර්යාලයට බව ද අයදුම් පත්‍රය ගර්භිණී සමයේ තුන්වන මාසය ඉකුත් වීමට පෙර බාර දිය යුතු බවද සඳහන් වේ. එයද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ග්‍රාම සේවා නිලධාරි සහතික කර ප්‍රාදේශීය ලේකම් විසින් අනුමත කර අදාළ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත යොමු කිරීම සිදු කරනු ලබයි.

 

වවුචරය නිකුත් කරන ආකාරය

මෙලෙස අනුමැතිය හිමි වූ පසුව හතර වැනි මාසයේ සිට රු.2000 බැගින් වවුචර් පත්‍රයක් ගර්භිණී මවට හිමි වේ. මෙම වවුචරය පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින් මවට ලබා දෙන අතර එය මාස්පතා මාස 10ක කාලයක් අඛණ්ඩ ලබා දීම සිදු කරනු ලබයි.

 

වවුචරයෙන් පෝෂණ මල්ලට බඩු ලබා ගන්නා ක්‍රමය

මේ වවුචරය ලබා ගත් පසු අදාළ ප්‍රදේශයේ සතොස වෙළෙඳසල් මඟින්, සමූපකාර අලෙවිසල් හෝ රජය විසින් පෝෂණ මල්ල සඳහා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමි වෙළෙඳසල් මඟින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව හිමි වේ. මෙහිදී එම වෙළෙඳසල් මඟින් නිකුත් කරනු ලබන භාණ්ඩ මවගේ පෝෂණය සඳහා පමණක් ප්‍රයෝජනවත් ද්‍රව්‍ය විය යුතුය. ඇතැම්විට මේ මුදලින් මවගේ පෝෂණයට අදාළ නොවන විවිධ ද්‍රව්‍ය මිලදී ගැනීමට ද අවස්ථාව තිබේ. එහෙත් එය එලෙස ලබා ගැනීම වරදකි. එය රජයක් ලෙස මවකට ලබා දෙන්නේ ඇයට නිසි පෝෂණය ලබා දීමේ අපේක්ෂාවෙනි. විශේෂයෙන් මෙවැනි අසීරු කාලයක පෝෂණ මල්ලට අදාළ නොවන ද්‍රව්‍ය ගැනීම කිසි ලෙසකත් නොකළ යුතු අතර එය සමස්ථ මවුවරුන්ට කරන අසාධාරණයකි. මේ කාලයේ මවකට ලබා දෙන පෝෂණ මල්ලෙන් නියම ප්‍රයෝජනය ගැනීම සෑම මවකගේම යුතුකමකි. එසේම ඒ පෝෂණ මල්ලට නිසි වටිනාකමක් ලබා දෙමින් අදාළ ආහාර ද්‍රව්‍ය පමණක් ලබා දීම ද ව්‍යාපාරික ආයතනවල සහ නිලධාරින්ගේ වගකීමකි. මේ වගකීම නිසි ලෙස ඉටු කළොත් හෙට දිනයේ මෙලොව උපත ලබන සෑම දරුවෙක්ම පෝෂණයෙන් පිරිපුන් දරුවකු වනු නිසැකය.

 

තොරතුරු සැපයීම -

රුවන්වැල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනී

සුසන්තා විජේතිලක