කොවිඩ් තවම ඉවර නැහැ

ලෝකය පුරා කොවිඩ් නැවත පැතිරී යාමේ අවධානමක
ජනවාරි 9, 2023

 

කොවිඩ් අවදානමත් සමඟම ඩෙංගු රෝගයත් පැතිරෙයි

 

 අප පසුගිය දෙවසර පසු කළේ අමිහිරි අත්දැකීම් ගොන්නකට මුහුණ දෙමිනි. ඒ අතුරින් කොවිඩ් වෛරසය මුළු ලෝකයම මුහුණ දුන් දැවැන්තම අභියෝගයයි. මේ නිසා ලෝකයේ දැවැන්ත රටවල් කඩා වැටෙමින් මිනී කඳු ගොඩගැසෙන විට අපද එයට මුහුණ දුන්නේ අභියෝගාත්මක ලෙසිනි. ඒ අභියෝගය අපට ජය ගැනීමට හැකි වූයේ මුළු රටම එකා මෙන් කොවිඩ් වසංගතය පාලනය කිරීමට දායකත්වය ලබා දෙමිනි.

 

එහෙත් ලෝකයේ දැවැන්ත රටවල් ලෙස සලකන ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, රුසියාව වැනි රටවල් රාශියක ජනතාව මිය ගියේ නොසිතන තරම් වේගයෙනි. මේ තත්ත්වය යම්තාක් දුරකට පාලනය වූ ආකාරයක් දකින්නට ලැබුණේ පසුගිය වසරේ අවසන් මාස කිහිපයේදීය.

නමුත් එය අප සිතූ තරම් පහසුවෙන් පාලනය වූ ආකාරයක් දකින්නට නොවීය. යාන්තමින් කොවිඩ් මාර්ගෝපදේශයන් ලිහිල් කර මුඛ ආවරණ ඉවත්කර සැහැල්ලුවෙන් සුසුමක් ගන්නට සැරසෙනවිට අපට නැවතත් අසන්නට ලැබුණේ සුභදායි ආරංචියක් නොවේ. නැවතත් කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිර යන බවට විදේශ රටවලින් අසන්නට ලැබුණි. මෙලෙසින් නැවත පැතිර යන බව මුලින්ම අපට අසන්නට ලැබුණේ චීනයෙනි. චීනයේ හදිසි ප්‍රතිකාර අංශ පිරී ඉතිරී යමින් කොවිඩ් වසංගතය පැතිර යන බව අසන්නට ලැබුණු අතර ඒ සමාන ලෙසින් ඉන්දියාවේ ද පැතිර යන බව දැන ගැනීමට ලැබුණි.

නැවතත් එවැනි තත්ත්වයක් අප රටට ළඟා නොවීම වාසනාවකි. අප රටේ බොහෝ පිරිසක් තවමත් මේ වසංගතයේ අවධානම ගැන අවබෝධයෙන් පසුවෙති. ඒ නිසා තවමත් බොහෝ පිරිසක් පෙර පරිදිම කොවිඩ් වසංගත රෝග පාලන සෞඛ්‍ය මාර්ගෝපදේශයෙන් අනුගමනය කිරීම අගය කළ යුතු ගුණයකි. එහෙත් ඇතැමුන් මේ ගැන නිසි අවබෝධයකින් තොරව කටයුතු කරති.

ලොව පුරා නැවත කොවිඩ් වෛරසය ව්‍යාප්ත වන බැවින් ගත වූ වසර දෙකක අත්දැකීම් මත මෙරට ජනතාව සියලු සෞඛ්‍යය මාර්ගෝපදේශ අඛණ්ඩව අනුගමනය කළ යුතු යැයි සෞඛ්‍යය අමාත්‍යංශය කොවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

මේ ගැන මූලික වශයෙන් පියවර තුනක් අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කරයි. ඒ අනුව මුඛ ආවරණය පැළඳීම, හැකි හැම විටදීම අනෙකා සමඟ පරතරය මීටරයක් දුරින් තබා ගැනීම, නිරතුරුවම දෑත් පිරිසුදුව තබා ගැනීම අනිවාර්ය බව අවධාරණය කරයි.

මීට අමතරව මේ වන විට පැතිරෙමින් පවතින වෛරස උණ නිසා ඩෙංගු මදුරු ව්‍යාප්තියේ හේතුවෙන් දිනකට වඩා උණ පවතී නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය කළ යුතු බව ඔහු සඳහන් කරයි. ගෙවතු, කාර්යාල පරිශ්‍ර , පාසල් පිරිසුදුව තබා ගැනීම කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

මෙරටින් කොවිඩ් අවධානම පහව ගොස් නැති නිසා සිව්වැනි කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත (දෙවැනි වර්ධක මාත්‍රාව) ලෙස සයිනොෆාම් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද වසංගත රෝග වෛද්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලයි. මේ වන විට ලෝකය පුරා යළි කොවිඩ් ව්‍යාප්තවීමේ අවධානමක් ඇති නිසා මේ පිළිබඳ වසංගත රෝගී ව්‍යාප්ත අංශයේ අවධාරනය කර සිටින බව වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කරයි.

පසුගිය කාලයේ සිව්වැනි මාත්‍රාව ලෙස ෆයිසර් කොවිඩ් එන්නත ලබා දුන් අතර එම එන්නත කල් ඉකුත්වීමෙන් පසු භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය අමත්‍යාංශය තීරණය කරන ලදී. ඉන්පසු කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ සිව්වැනි මාත්‍රාව ලෙස සයිනෝෆාම් එන්නත මෙරට පුද්ගලයන් ලබාදීමට සෞඛ්‍ය බලධාරින් තීරණය කරන ලදී.

ඒ අනුව ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයකට හෝ සයිනොෆාම් එන්නත පහසුවෙන් ලබාගැනීමට හැකියාව පවතී. මෙරටට සයිනොෆාම් එන්නත් දෙකෝටි හැට ලක්ෂණයක් ලැබුණු අතර මේ වන විට ඉන් දෙකෝටි තිස් තුන් ලක්ෂ විසි එක් දහස් නවසියහැට දෙකක් පුද්ගලයන්ට එන්නත් කර ඇත. තවමත් මෙරට සයිනෝෆාම් එන්නත් විසිහය ලක්ෂණය හැත්තෑ අට දහස් විසි අටක් ඉතිරිව පවතී.

එම නිසා කොවිඩ් එන්නත් මාත්‍රා ලබා ගැනීමට නොහැකි වූ ඕනෑම පුද්ගලයකුට සයිනොෆාම් එන්නත් ලබා ගැනීමට හැකියාව පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.