නොදැනීම ඇඟට රිංගන පිළිකා මාරයාට උත්තර

මාර්තු 6, 2023

 

තවත් එක්තරා කාන්තා දිනයක් මේ වසරේදීත් උදාවෙයි. සෑම වසරකම මාර්තු 08වන දින කාන්තාවන් වෙනුවෙන් වෙන් වූවත් කාන්තා ඔබ වෙනුවෙන්ම 'තරුණී' දැනුම් සංග්‍රහයක් ලෙසින් දෝතට ගෙන එන අපි නම් හිතන්නේ වසරේ සෑම දිනයක්ම කාන්තාවන්ගේ බවයි.

 

දැයේ අභිමානය ඇයයි. ඇය හැමවිටම අභිමානවත් වීමට නම් නීරෝගි සුවයෙන් හෙබි තැනැත්තියක ද විය යුතුයි.

පිළිකා මාරයා එන්න එන්නම වටිනා ජීවිත ගොදුරක් බවට පත් කරගනිද්දී කාන්තාවන්ට ම ආවේණික පිළිකා වර්ග නිසා ඇය අනේකවිධ පීඩාවන්ට ලක් වේ.

 

පිළිකාවක් යනු කුමක්ද?

පාලනයකින් තොරව අසාමාන්‍ය හා අවිධිමත් ලෙස සෛල බෙදීම නිසා ඇතිවන තත්ත්වයකි.

 

කාන්තාවන්ට ම ආවේණික පිළිකාවන් මොනවාද?

 

* පියයුරු පිළිකා

* ගැබ්ගෙල පිළිකා

* ඩිම්බකෝෂ පිළිකා

 

පිරිමින්ටත් පියයුරු පිළිකා වැල⁣ඳෙනවාද?

කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම පියයුරු පිළිකා වැල⁣ඳේ. නමුත් කාන්තාවකට පියයුරු පිළිකා වැලඳීමේ අවදානම පිරිමියකුට වඩා සිය ගුණයකින් වැඩිය.

 

පියයුරු පිළිකාවක් යනු කුමක්ද?

පියයුරේ කිරි නිපදවන ග්‍රන්ථි හා නාලවල සෛල පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස බෙදීම නිසා ඇතිවන තත්ත්වයකි.

 

පියයුරු පිළිකාවක් හට ගැනීම සඳහා වැඩි අවදානමක් ඇත්තේ කාටද?

 

* පිළිකා සඳහා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් (මවගේ හෝ පියාගේ පාර්ශ්වයේ ලේ ඥාතියකුට පියයුරු හෝ ඩිම්බකෝෂ පිළිකා වැලඳී ඇත්නම්

* දරුවන් නොමැති හෝ දරුවන් ලැබීම පමා වූ කාන්තාවන්

* සමහර පිළිකා නොවන පියයුරු රෝග තත්ත්වයන් සඳහා පෙර ඉතිහාසයක් ඇති කාන්තාවන්

* ජීවිත කාලය තුළ ඔසප් චක්‍ර වැඩි සංඛ්‍යාවකට නිරාවරණය වූ කාන්තාවන් (අවුරුදු 11ට පෙර Product පත් හා හෝ අවුරුදු 55 ට පසු ආර්තවහරණය වූ කාන්තාවන්)

* වෛද්‍ය උපදෙසින් තොරව ඊස්ට්‍රජන් හෝමෝනය අඩංගු ඖෂධ සඳහා දීර්ඝකාලීනව නිරාවරණය වූ කාන්තාවන්

* ආර්තවහරණයට පසු අධික ලෙස තරබාරු කාන්තාවන්

පියයුරු පිළිකා පිළිකා සෑදෙන්නේ එම අවදානම් සාධක ඇති අයට පමණද?

නැත, අවදානම් සාධක නැති අයට ද පියයුරු පිළිකා වැලඳීමේ හැකියාවක් ඇත. එමෙන්ම අවදානම් සාධක සහිත සමහර කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ දී පියයුරු පිළිකාවක් ඇති නොවීමට ද හැකියාවක් ඇත.

පියයුරු පිලිකාවේ රෝග ලක්ෂණ කවරේද? බහුලව හමුවන රෝග ලක්ෂණ වන්නේ

* පියයුරුවල අලුතින් ඇතිවූ අසමමිතික බවක්

* පියයුරේ යම් කොටසක් ඇතුළට නෙරා යාමක්

* පියයුරුවල සමේ යම් වෙනස්කම් වෙනස්කමක්( දදයක්, ඝන වීමක්,පැහැයේ වෙනසක්, ඉදිමීමක්, දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක්)

* තන පුඩු ඇතුළට ගිලී යාමක්(මෑතකදී ඇතිවූ) හෝ වෙනසක්

* තනපුඩුවෙන් කිරි නොවන ශ්‍රාවයන් පිටවීමක්

* පියයුරුවල අසාමාන්‍ය වේදනාවක්

 

පියයුරු වල ඇති සියලු ගැටිති පිලිකා ද ?

 

නැත. පිළිකා නොවන ගැටිති වර්ග ද ඇත.

 

පියයුරු පිළිකාවක් කලින් හඳුනා ගැනීම වැදගත් වන්නේ ඇයි?

 

පිළිකාවේ මූලික අවධියේ දී හඳුනාගත් විට සාර්ථකව ප්‍රතිකාර කර ජීවිතය යථා තත්ත්වයට පත්කර ගත හැකි නිසා.

 

පියයුරු පිළිකාවක් කලින් හඳුනා ගැනීමට කළ යුත්තේ මොනවාද?

 

* ස්වයං පියයුරු පරීක්ෂාව

* සායනික පියයුරු පරීක්ෂාව

* මැමෝග්‍රෑම්/ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව

 

ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුත්තේ කවදාද?

 

අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් පියයුරු පරීක්ෂාව කළ යුතුය. මාසික ඔසප්වීම සිදුවන කාන්තාවන් ඔසප් වීම අවසානයෙන් සතියකට පමණ පසුව ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුතුය.

මාසික ඔසප් වීම නතර වී ඇති කාන්තාවන් සෑම මසකම නිශ්චිත දිනයක් පියයුරු පරීක්ෂාව සඳහා යොදා ගත යුතුය.

 

රෝග ලක්ෂණයක් හඳුනාගත් විට ඔබ කළ යුත්තේ කුමක්ද?

නොපමාව වෛද්‍යවරයෙක්, හෙද නිලධාරිනියක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හමුවී සායනික පියයුරු පරීක්ෂාවක් කරගන්න.

 

සායනික පියයුරු පරීක්ෂාව යනු කුමක්ද?

ඒ සඳහා පහසුකම් ඇත්තේ කුමන ස්ථාන වලද?

 

සායනික පියයුරු පරීක්ෂාව යනු පුහුණුවලත් සෞඛ්‍ය නිලධාරියකු/ නිලධාරිනියක් විසින් ඔබගේ පියයුරු පරීක්ෂා කිරීමයි. මෙම සේවාව ඔබ ප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරි සායන, රජයේ හෝ පෞද්ගලික රෝහල්වල පැවැත්වෙන ශල්‍ය වෛද්‍ය සායන, නාරිවේද සායන, සුව දිවි සායන, පියයුරු සායනවලින් ලබාගත හැකියි.

 

සුවනාරි සායනයක් යනු කුමක්ද?

 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් නොමිලේ පැවැත්වෙන සායනයකි.මෙම සායනවලදී කාන්තාවකට දියවැඩියාව, අධි රුධිර පීඩනය, පියයුරු හා ගැබ්ගෙල පිළිකා වැනි බෝ නොවන රෝග කිහිපයක් කලින් හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමේ හැකියාව ලැබෙන ස්ථානයකි. මේ පිළිබඳ වැඩි විස්තර ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ලබාගත හැකියි.