බොන වතුරෙත් ප්ලාස්ටික්

ප්ලාස්ටික් මාරයා දරුගැබට ඇවිල්ලා
මැයි 1, 2023

කවුද හිතුවේ මේක් අප්වලත් මයික්‍රෝ ප්ලාස්ටික් ඇතියි කියලා ප්ලාස්ටික් අපේ ජීවිතවලට සරල බවක්, සුවපහසුවක් ගෙන දෙන්නා⁣ සේම අපේ ජීවිත මාරයා වෙත සමීප කරවනුයේ කිසිදු හිතක් පපුවක් නොමැත්තා සේය.

මෙලොවට බිහිවන කිරිකැටි දරුවන් ගර්භාෂයේදීම ප්ලාස්ටික් මාරයාගේ ගොදුරක් වී හමාරයි. ඒ මයික්‍රෝ ප්ලාස්ටික් හෙවත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ගර්භිණී මවුවරුන්ගේ ශ්්වසන මාර්ගය ඔස්සේ දරු ගැබට ඇතුළු වීමෙනි.

මොකක්ද මේ මයික්‍රෝ ප්ලාස්ටික්

ඕනෑම ප්ලාස්ටික් වර්ගයක් මිලීමීටර් 5 ට වඩා අඩු ප්‍රමාණයට කැඩුණු විට එය මයික්‍රෝ ප්ලාස්ටික් ලෙස හඳුන්වයි. ප්‍රාථමික සහ ද්වීතීයික ලෙස මයික්‍රෝ ප්ලාස්ටික් කොටස් දෙකකි. මයික්‍රෝ ප්ලාස්ටික් කර්මාන්තශාලාවලින් නිපදවා පිට වන්නේම මිලීමීටර් 5 ට වඩා අඩු ප්‍රමාණයෙනි. උදාහරණයක් ලෙස ඇතැම් දන්තාලේප වර්ග, ස්ක්‍රබ් වර්ගවල ඇට ඇට මෙන් හසුවන්නේ මේ මයික්‍රෝ ප්ලාස්ටික් කැබලිය. එක් සේදුම් වාරයකදී මේවා සෑහෙන ප්‍රමාණයක් පරිසරයට මුදා හැරේ. එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ගොඩ දැමූ සුදු පැහැ ඇට වැනි දේ උණු කර ප්ලාස්ටික් බෝතල්, පෙට්ටි, බෑග් යනාදිය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය ලෙස යොදා ගනී. මේවා ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික් ගණයට අයත් වේ.

ප්ලාස්ටික් බෝතල්, කිරි පැකට්, ටොෆි කොළ, සැරසිලි සඳහා ගන්නා ඉටිකොළ ආදී දේ ද්විතියික ප්ලාස්ටික් ගොන්නට අයත් වේ. මේවා වැස්සට අව්වට හසු වීමෙන් පුංචි පුංචි කෑලිවලට කැඩේ. ඒවාද මිලීමීටර් 5 ට වඩා අඩු කෑලිවලට කැඩුණු පසු ද්විතියික ප්ලාස්ටික් ලෙස හඳුන්වයි.

නැවීමට පහසු පරිදි නිමවන ප්ලාස්ටික්, විවිධ පැහැයන්ගෙන් යුතු ප්ලාස්ටික් වර්ග නිපදවීමට විවිධ බැරලෝහ යොදා ගනියි. මේවායින් ඇතැම් බැරලෝහ සෘජුවම පියයුරු පිළිකා සෑදීමට ඉවහල් වේ. ප්ලාස්ටික් බෝතල් ආදිය වතුර පුරවා, අව්වේ තබා පාවිච්චියට ගන්නට එපා යැයි පවසන්නේ මේ නිසයි. මෙහිදී ඒවාය‍ෙහි ඇති බැරලෝහ සියල්ලම වතුරට එකතු වේ.

ආහාර දාමයට ඇතුළු වී

මයික්‍රෝ ප්ලාස්ටික් වර්ගවලට පරිසරයේ ඇති වෂ රසායන සියල්ලක්ම එකතු වේ. ඇතැම් කර්මාන්තශාලාවලින් පිරිපහදු නොකරන ලද මේ රසායනික වර්ගයන් ඇළ දොළවලට සිත්පිත් නැති අන්දමින් එකතු කරයි. ඒවා පරිසරයේදී මයික්‍රෝ ප්ලාස්ටික් හා එකතු වේ. ඇසට නොපෙනෙන අන්වීක්ෂීය සත්ත්ව කොට්ඨාස මේවා ආහාරයට ගනී. මේ සත්ත්ව කොට්ඨාස මාළු ආහාරයට ගනියි. එක් හාල්මැස්සෙක් මේ සත්ත්ව කොට්ඨාස ආහාරයට ගත්තා යැයි සිතමු. මෙවැනි හාල්මැස්සන් රාශියක් ලින්නා මාළුවෙක් ආහාරයට ගනිවි. මෙවැනි මාළුන් කිහිපදෙනෙක් ⁣පරා, තෝරා වැනි මාළුවෙක් ආහාරයට ගනියි. මේ ආහාර දාමය තුළදී විස රසායනයන් කෙතරම් එහා මෙහා සංසරණය වේවිද? අපි මේ මාළු කුඩා මාළුවාගේ සිට විශාල මාළුවා දක්වා මොනතරම් ආහාරයට ගන්නේද?

මේ ප්ලාස්ටික් පොළොවේ පස්වල, තණකොළවල රැඳී තිබේවි. තණකොළ කන හරකුන්ට, පොළොව පහුරු ගාන කුකුළන්ට මේ විස රසායනිකයන් ශරීරගත වේ. ඒ ඔස්සේ අපද ඊට ගොදුරු වේ.

අප හුස්ම ගන්නා වාතයේ ද මේවා අංශු වශයෙන් තැන්පත්ව තිබේ. ඒවා පෙනහලු, ගර්ත හරහා අපගේ රුධිරයට එකතු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව අප බීමට ගන්නා වතු⁣රේ මේ මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගුවේ. වතුර උණු කළත්, ෆිල්ටර් කළත් මේ විස ඉවත් නොවේ. මයික්‍රෝ ප්ලාස්ටික් ඉවත් කිරීමට දහස් ගණනින් යුතු ෆිල්ටර්ස් තිබේ. සාමාන්‍ය නිවෙසකට ඒවා ලබා ගත නොහැකි තරම්ය.

අපි කන කෑමෙන්, බීමට ගන්නා ජලයෙන්, හුස්ම ගන්නා වාතයෙන් මයි⁣ක්‍රෝ ප්ලාස්ටික් මොනතරම් ශරීරයට ඇතුළු වේද? කුස තුළ සිටින කලලය වෙත මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුළු වීම ඉදින් අරුමයක් වේද?

මේක් අප්වලින් ලස්සන වන්නේ බලාගෙනයි

කාන්තාවන් භාවිත කරන මේක් - අප්වල ද මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු වේ. පලුදු නොවුණු සමක් හරහා මයික්‍රෝ ප්ලාස්ටික්වලට යා නොහැකි වුවත් කුරුලෑ( කුරුලෑ යනු තුවාලයකි.), සමේ වළවල් ආදිය ඇතිවිට තුවාල වුණු සම හරහා සිරුර අභ්‍යන්තරයට ගමන් කරයි.

ගර්භිණී මීයන් වෙතින් ලැබෙන හෙළිදරව්ව

මේ සෑම මාධ්‍යයකින්ම මයික්‍රෝ ප්ලාස්ටික් එකතුවන්නේ රුධිරයටයි. එය සිරුරේ විවිධ අවයවවලට විවිධ බලපෑම් එල්ල කරයි. දරු ගැබ වෙත ළඟා වන්නේද ඒ අනුවයි. ඒ වැදෑමහ හරහායි. ගර්භිණී මීයන් සඳහා කළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය කරගෙන තිබේ.

සතියකට මේ තරම් ප්‍රමාණයක්

සතියකට මයික්‍රෝ ප්ලාස්ටික් ATM කාඩ්පතක ප්‍රමාණයක් එක් අයෙකුගේ සිරුර වෙතට ඇතුළු වන බව සොයා ගෙන තිබේ.

මෙලෙස ශරීරගතවන රසායනිකයන්ට ජාන විකෘති කිරීම් කළ හැකියි. සෑම පිළිකාවක් පසුපසම ජාන විකෘතිතාවක් තිබේ.

විකල්ප ක්‍රම

වතුර ගෙන ඒමට වීදුරු බෝතලයක්, බඩු ගෙන එද්දි රෙදි මල්ලක් භාවිත කරන්න.

ප්ලාස්ටික් දූපත්

ඔබ දන්නවාද සිංගප්පූරුව සහ අමෙරිකාව අතර ටෙක්සාස් ජනපදය මෙන් දෙගුණයක් විශාල ප්ලාස්ටික් දූපතක් නිර්මාණය වී තිබේ. එය ලංකාව මෙන් 20 ගුණයකටත් වඩා විශාල වූවකි. මෙවැනි දූපත් 5 ක් පමණ පෘථිවියේ සාගරවල නිර්මාණය වී තිබේ.

 

 

උපදෙස් :

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ව්‍යුහ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

සජිත් එදිරිසිංහ