කළු ගලටත් වඩා හයිය මුත්‍රා ගල් වාෂ්ප කරන ප්‍රතිකාර මෙන්න

ජුනි 19, 2023

දේශීය ආයුර්වේදය විස්මිතය. ලෝකයේ වඩාත්ම දියුණු යැයි සම්මත බටහිර වෛද්‍ය විද්‍යාවේ ‍ශල්‍යකර්ම මඟින් සුව කරන රෝග පවා අපගේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර මඟින් කිසිම ශල්‍යකර්මයක් නොකර සුව කළ හැකි බව ඔප්පුකර තිබෙන අවස්ථා බොහෝය. වර්තමානයේ වැලඳෙන දරුණු පීඩාකාරී රෝග පවා ආයුර්වේද ප්‍රතිකාර මඟින් ඉතාම සාර්ථක ලෙස සුවකර ඇත්තේ කිසිම අතුරු ආබාධයක් ඇති නොවන ලෙසිනි.

 

වර්තමානයේ බොහෝ දෙනකු වේදනාකාරී ලෙස පීඩා විඳින රෝගයක් බවට මුත්‍රාශයේ ගල් හට ගැනීම හඳුනාගෙන තිබේ. ආයුර්වේදයේ මුත්‍රාශයේ ගල් ඇති වීමට ඉවත් කිරීමට සිදුකරන ප්‍රතිකාර ක්‍රමය ඉතාම සාර්ථක බවට මුළු ලෝකයම පිළිගෙන තිබේ. මේ රෝගී තත්ත්වය නිසා විශේෂයෙන්ම කාන්තාවන් ද බොහෝ පීඩා විඳින බවට හඳුනාගෙන තිබේ.

 

මෙය ආයුර්වේදයේ ‘මුත්‍රා ආශ්මරී’ ලෙස හඳුන්වයි. ‘මුත්‍රා ආශ්මරී’ ඇති වීමට විවිධ හේතු බලපානු ලවයි. මේ සඳහා ආහාර,පරිසර සාධක සහ ඉතා සුළු වශයෙන් ජානමය සාධක ද බලපාන අවස්ථා පවතී. මීට අමතරව සමහර ඖෂධ නිසා ද මුත්‍රා ආශ්මරී ඇති වෙයි.

 

මුලින්ම මේ රෝගය ඇති වීමට බලපාන සාධකය ලෙස ආහාර වැදගත්ය. මේ සාධකය ගැන විමසා බැලීමේදී ආයුර්වේදයේ උෂ්ණ ගුණයෙන් යුතු ආහාර, ග්‍රීස්ම ගුණයෙන් යුතු ආහාර (සැර ගතියෙන් යුත්) හා රළු ගතියෙන් යුතු ආහාර ප්‍රධාන වශයෙන් මුත්‍රාශයේ ගල් ඇති වීමට බලපාන බව පිළිගනී. එය නවීන විද්‍යාවට අනුව විග්‍රහ කිරීමේදී කැල්සියම් ඔක්සලේට් සහ කැල්සියම් පොස්පේට් අඩංගු ආහාර ගැනීම මුත්‍රාශයේ ගල් ඇති වීමට බලපාන බව හඳුනාගෙන තිබේ.

 

උදාහරණයක් ලෙස කැල්සියම් බහුල එළවළුවක්වන තක්කාලි වැනි දේ වැඩිපුර ගන්නා අයට මුත්‍රාශයේ ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. විශේෂයෙන් මුත්‍රා ගල් ඇති වූ අය විශ්ලේෂණය කිරීමේදී වැඩි වශයෙන්ම කැල්සියම් ඔක්සලේට් අඩංගු ආහාර ගන්නා පුද්ගලයන්ට මේ රෝගය ඇති වී තිබෙන බව තහවුරු වි තිබේ.

 

වයස් භේදයකින් (බාල,මහලු, තරුණ) තොරව වැල‍ඳෙන මේ රෝගී තත්ත්වය සඳහා පරිසර සාධක ද ප්‍රබල ලෙස හේතුවෙයි. උෂ්ණ අධික ප්‍රදේශවල පුද්ගලයන්ට හා කිවුල් ජලය පානය කරන අයට ද මුත්‍රා ගල් ඇති වීමේ වැඩි ප්‍රමුඛතාවයක් පවතී. විශේෂයෙන් ශරීරයෙන් වැඩිපුර දහඩිය පිටවන විට මුත්‍රා සාන්ද්‍රණය වැඩි වෙයි. මෙලෙස සාන්ද්‍රණයෙන් වැඩි මුත්‍රා වැඩි වේලාවක් මුත්‍රාශයේ පැවතීම නිසා ද මුත්‍රාශයේ ගල් ඇති වෙයි.

 

කිවුල් ජලය පානය කිරීමේදී ද එම සාන්ද්‍ර ගතිය හා කැල්සියම් ගතිය වැඩි නිසා ද මුත්‍රාශයේ ගල් ඇති වීම සිදු වන අවස්ථා තිබේ. එසේම කිසියම් කෙනෙක් තම පරිසරය ගැන නොසලකා ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම ද මුත්‍රාශයේ ගල් ඇති වීමට ප්‍රධාන හේතුවයි.

 

මුත්‍රා ගල් ඇතිවන ස්ථාන

 

මුත්‍රාශයේ ගල් හට ගැනීම මුත්‍රා පද්ධතියේ විවිධ ස්ථානවලදී සිදු වෙයි. වකුගඩු, මුත්‍රා මාර්ගයේ හා මුත්‍රාශයේ ද මෙලෙස ගල් හටගැනීම සිදු වෙයි. විශේෂයෙන් ළමුන්ට සහ තරුණයන්ට මෙය හට ගන්නා ප්‍රවණතාවය වැඩි අතර වැඩිහිටි පුද්ගලයන්ගේ වකුගඩු හා මුත්‍රා මාර්ගයේ ගල් හට ගැනීම සාපේක්ෂව වැඩි ගතියක් පවතී. සමහර විට මේ සියලු සාධකවලට අමතර ඉතාම කලාතුරකින් තමුන්ගේ මවුපියන්ගේ ජානමය හේතු බලපෑම නිසා මුත්‍රා ගල් ඇතිවන අවස්ථා ද හමු වී තිබේ.

 

මුත්‍රා ගල්වල ස්වරූපය

 

මුත්‍රා ගල්වල ස්වරූපය හා ප්‍රමාණය විවිධය. ඇතැම් විට මුත්‍රා ගල් වැලි ස්වරූපයෙන් දකින්නට තිබේ. නැතිනම් ගල් කෑලි ලෙසින් අක්‍රමවත් හැඩයට නිර්මාණය වූ කුඩා ගල් ද හට ගනී.

 

රෝග ලක්ෂණ

 

මුත්‍රාශයේ ගල් ඇති වූ විට පිට කොන්දේ තදබල වේදනාවක් හට ගනී. මේ තදබල වේදනාව වරින්වර ඇතිවෙයි. තවත් ලක්ෂණයක් ලෙස මුත්‍රා ගල් ඇති පුද්ගලයන්ගේ මුත්‍රා තද රතු පැහැයක් ගනී. මෙසේ සිදු වන්නේ මුත්‍රාශයේ සියුම් පටල මෙලෙස හට ගන්නා ගල් නිසා පළුදු වී මුත්‍රා පිටවීමේදී එම රුධිර පටලවලට හානි වී ලේ ගැලීමයි. මෙහිදී ඇතිවන තදබල වේදනාව පිට කොන්ද සිට ඉකිළිය දක්වා ගමන් කරයි. එම තදබල වේදනාව අඩු කර ගැනීම සඳහා වේදනා නාශක ගැනීමට පවා සිදු වෙයි.

 

ප්‍රතිකාර

 

මුත්‍රාගල් ඇති වීම වළකා ගැනීමට හා වැලඳුණු රෝගීන් සඳහා සාර්ථක ප්‍රතිකාරය වන්නේ වැඩිපුර ජලය පානයයි. මෙවැනි උෂ්ණ අධික කාලයක මේ රෝගයෙන් වැළකීමට වැඩිපුර ජලය පානය ඉතාම වැදගත්ය. ජලයට අමතර තැඹිලි, කොත්තමල්ලි වතුර නිතර පානය ඉතා ගුණදායකය. විශේෂයෙන් මේ රෝගය වැලඳුණු පසු එයට ප්‍රතිකාර කිරීමට වඩා රෝගය ඇති වීම වළකා ගැනීම ඉතා වැදගත්ය.

 

ආහාර වර්ග

 

මේ‍ රෝගය සඳහා ගුණදායක ආහාර වර්ග රාශියක් පවතී. රාබු, බාර්ලි, සාරණ, ගොටුකොළ, කැකිරි වැනි දේ බොහෝ ගුණදායකය. මේ ආහාර ගැනීමෙන් මුත්‍රා සාන්ද්‍රණය අඩු වී මුත්‍රා හොඳින් පිරිසුදු කරයි.

 

ආයුර්වේද ප්‍රතිකාර

 

ආයුර්වේදයේ මුත්‍රා ගල් නැති කිරීම සඳහා පවතින ප්‍රතිකාර ක්‍රමය ඉතාම සාර්ථකය. මුත්‍රාශයේ ගල් ඇති වූ විට එම ගල් ක්‍රමයෙන් දියකර හැරීම ආයුර්වේද ප්‍රතිකාර මඟින් සිදු කරයි. එසේම විශාල ප්‍රමාණයේ ගල් කුඩා කිරීමෙන් පසු කුඩා ප්‍රමාණයේ ගල් මුත්‍රා සමඟම පිටකර හැරීමේ හැකියාව ද පවතී. මේ සඳහා අප සඳහන් කළ ආහාර වර්ගවලට අමතරව විවිධ ඖෂධ වර්ග ද පවතී. අක්කපාන මුත්‍රා ගල් සඳහා හොඳම ඖෂධයකි. අක්කපාන සම්බෝලය වඩාත් ගුණදායකය.

 

මුත්‍රා ගල් දියකර හැරීම ආයුර්වේදයේ පාෂාණ භේද ලෙස හඳුන්වයි. මුත්‍රා ගල්වල ප්‍රමාණය කුඩා කිරීම හෝ කැඩීම පාෂාණ භේදයේදී සිදුවන ක්‍රියාවලියයි. එසේම ගල් හටගත් අයට ලබාදෙන විශේෂ සම්පාදිත ඖෂධ රැසක් පවතී. ඒ සඳහා ලබාදෙන විශේෂ කෂාය වර්ග තිබේ. එසේම මුත්‍රා ගල් ඇති වීමෙන් පසු මුත්‍රා මාර්ගය ආසාදන ඇති වෙයි. ඒ සඳහා ඖෂධ ගැනීම ඉතා වැදගත්ය. ‘චන්ද්‍රප්‍රභා වටී’ ඖෂධ මේ සඳහා ඉතාම ගුණදායක ඖෂධයකි. එසේම ගොක්ෂුරඩි ගුග්ගුලු ඖෂධය ද මුත්‍රා හොඳින් පිටකරමින් සාන්ද්‍රණය අඩුකර සුවකර ගැනීමට යොදා ගනී.

මේ රෝගය සඳහා දිනපතා ජලය ලීටර් 2 ½ ක් පමණ ප්‍රමාණයක් පානය කිරීම ඉතා වැදගත්ය. එය හොඳම ප්‍රතිකාරයක්වන අතර එය රෝගය වළකා ගැනීමට ද සාර්ථකම පිළියමකි.

 

 

උපදෙස් :

මහාචාර්ය එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය

දේශීය වෛද්‍ය පීඨ‍ය

කොළඹ විශ්වවිද්‍යාලය