හැඩට වැඩට ඉන්න අද ඉඳන්

ජුනි 2, 2025

 

ලස්සන ලාලිත්‍යයෙන් පිරුණු සිරුරකට කවුද අකැමැති. ඉතින් සුම්බා කියන්නේ ඒ සඳහා ඉතාමත්ම සුදුසු විනෝදයෙන් පිරුණු ව්‍යායාම ක්‍රමයකට. රිද්මයානුකූල සංගීතයක් සමඟ නර්තන ආකාරයට කණ්ඩායමක් සමඟ ව්‍යායාම්වල යෙදීම තමා මෙහිදී සිදු කරන්නේ. 

 

Zumba නර්තන ව්‍යායාමයේ නිර්මාතෘ වන්නේ “බේටෝ” නොහොත් අල්බර්ටෝ පෙරේස් නැමැත්තාය. මොහු 2000 වර්ෂයේදී අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර 2001 වර්ෂයේදී තවත් දෙදෙනකුගේ සහාය ඇතිව සුම්බා යෝග්‍යතා වැඩසටහන නිර්මාණය කර එළිදක්වනු ලැබිණි.

 

මෙම යෝග්‍යතා වැඩසටහනට ලතින්, ලෝක රිද්මයන් සහ විවිධ ව්‍යායාම් ඒකාබද්ධ කරගත් ජනප්‍රිය සහ ඉතා විනෝදජනක, ශරීරයට ඉතා හිතකර කාර්ඩියෝ ව්‍යායම් ද ඇතුළු වූ වැඩසටහනක් වීම විශේෂත්වයකි. එසේ බැලූවිට සුම්බා සෞඛ්‍යයටත්, විනෝදයටත් එකම විසඳුමක්.

 

Zumba යනු කුමක් ද?

 

මෙය ලතින් සංගීතය හා නර්තන චලනයන් මත පදම් වූ විනෝදජනක හා ශක්තිමත් ව්‍යායාම ක්‍රමයකි. මෙය සල්සා, මෙරුන්ගේ, කුම්බියා, රෙගේටෝන් වැනි නර්තන ශෛලීන් සමඟ එකට රැඳී ඇත. සංගීතයේ රිද්මයට අනුකූලව සිදු කරන සුම්බා නර්තනය, ශරීරය පුරා ක්‍රියාත්මක වන සම්පූර්ණ ව්‍යායාමයක් ලෙස හැඳින්විය හැකිය.

 

නර්තන පාදක යෝග්‍යතාව

 

සුම්බා ව්‍යායාමය සංගීත හා නර්තනය සමඟ මිශ්‍රවන අතර, සෑම පුද්ගලයකුටම ඒකාබද්ධ විය හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත. අලුතින් ආරම්භකරුවන්ට, පළපුරුදු නර්තකයින්ටත් සුදුසුයි.

 

සුම්බා තුළ අඩංගු ව්‍යායාම රටාවන් කිහිපයකි. හෘද ව්‍යායාමයේ (Cardio) හෘද ස්පන්දන වේගය ඉහළ නංවයි. එමඟින් රුධිර සංසරණය වැඩිදියුණු වේ. අතර කාල පුහුණු ක්‍රමයේදී (Interval traing) අධික සහ අඩු තීව්‍රතාවයේ චලනයන් අතර විකල්ප වීමෙන් ශරීරය නිරතුරුවම අභියෝගයට ලක් වේ. සම්පූර්ණ ශරීර ව්‍යායාමයේදී කකුල්, හරය, අත් සහ පපුවෙහි මාංස පේශීන් පද්ධතියම සක්‍රිය කර තබයි.

 

 

 

ප්‍රතිලාභ

 

සුම්බාහි ප්‍රතිලාභ රැසකි. සුම්බා ව්‍යායාමයේ නිරතවන්නන්ගේ හෘදවාහිනී සෞඛ්‍ය වර්ධනය කරයි. එහිදී හෘද මාංසපේශී ශක්තිමත් කරමින් හෘදයාබාධ සහ අධි රුධිර පීඩනය වැනි රෝග අවදානම අඩු කරයි. බර අඩු වීම සහ මේද දහනය සුම්බා හරහා ලැබෙන තවත් ප්‍රතිලාභයකි. පැයක් තුළ කැලරි 300- 600ක් දක්වා දහනය විය හැකි අතර මේදය අඩු කිරීමේදී විශේෂ ලෙස ප්‍රයෝජනවත් වේ. එමෙන්ම ශක්තිමත් බව වැඩිකර ආතතිය අඩුකරයි. සංගීතය සහ නර්තනයේ විනෝදය හරහා මානසික ආතතිය අඩුවීම හරහා ශරීරයේ නිරෝගීබව වැඩි කරයි.

 

Zumba යනු ඔබේ සෞඛ්‍ය හා ආතතිය පාලනය කරමින්, විනෝදයෙන් පිරි සුවපහසු දිවියක් ගත කිරීමට උපකාරී විය හැකි අලංකාර ව්‍යායාම ක්‍රමයකි. එම නිසා ඔබගේ දෛනික ජීවිතයේ කාලසටහනට Zumba වෙනුවෙන් කෙටි වේලාවක් වෙන් කරගන්නේ නම් යහපත් දිවියකට මඟපාදනු ඇත.

 

 

උපදෙස් -

සුම්බා, ලතින් අමෙරිකානු

සහ බෝල්රූම් ආචාර්ය

නලින්ද ප්‍රසාද් සුබසිංහ