කොයි වෙලාවෙවත් මේ දේවල් එකට කන්න එපා

ජූලි 31, 2023

කෑම කියන්නෙ අපි බොහෝ දෙනකුට කුස පුරවලා නතර වෙන දෙයක් නෙමෙයි. ආසාවට කන දෙයක්. මිතුරු ඇසුරේ ගෙවෙද්දි පාවිච්චි වෙන දෙයක්. පෝෂණීය අතිරේකයක්. මේ එක එක විදිහට කෑම කියන එක අපේ ජීවිතයට ළඟයි. අපි බොහෝ දෙනෙක් කෑම කද්දි ඒ ගැන වැඩි හොයා බැලීමක් කරන්නෙ නෑ. රස නම්, අපිරිසුදු නැත්නම් කන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නෙ. අපිරිසුදු නැති රසත් ඇති හැම කෑම ම අපේ සිරුරට හොඳයිද? මේ කියන්න යන්නෙ ඒ ගැන. මින් පස්සෙවත් ආහාර ගනිද්දී පොඩ්ඩක් පරිස්සම් වන්න.

 

හාල්මැස්සො බැදුමට තක්කාලි

 

කඩවලින් ලැබෙන හාල්මැස්සො බැදුම ගැන පොඩ්ඩක් මතක් කළොත් සිහිපත් වේවි, දැවිල්ල වැඩි, අමු මිරිස් යොදාපු, ලූනූ සහ තක්කාලි යොදාපු රස බැදුමක්. මේ බැදුම රසම රස බැදුමක් බව මතක තිබුණ නිසා ආයෙත් හදන්න හෝ ආයෙත් කන්න යන්න එපා. අපි එහෙම එපා කියන්නෙ ඇයි කියල දැන් කියන්නම්. මේ හේතුව ඔයාට දිගුකාලීනව බලපාන හේතුවක්. ඒ තමයි මේ සංයෝගය නිසා ඔයාගෙ මූත්‍රාශයේ ගල් ඇති වෙන්නට ඉඩ තිබීම. මූත්‍රාශයේ ගල් ඇති වීම ගැන ලොකු අදහසක් නැත්තං, එයින් පීඩා විඳින කෙනෙකුගෙන් අහන්න. එය දරන්නට අමාරු අපහසුවක්.

 

මඤ්ඤොක්කා පෙති එක්ක ඉඟුරු තේ

 

ලංකාවෙ ප්‍රසිද්ධම අහිතකර ෆුඩ් කම්බිනේෂන් එක තමයි මේ. ඕනම වැඩිහිටියෙක් පොඩි දරුවෙකුට එපා කියන දෙයක්. මේවා ආහාරයෙන් සමහරු මැරුණා කියලා පවා අපිට කුඩා කාලයෙදි අහන්න ලැබුණු ප්‍රවෘත්ති ඔයාලගෙත් මතකයේ ඇති. මේ කියන්නෙ ඉඟුරු එක්ක මඤ්ඤොක්කාවල බහුල එන්සයිමයක් ප්‍රතික්‍රියා කිරීමෙන් ඇති වෙන තත්ත්වයක් ගැන. ඉතින් මඤ්ඤොක්කා පෙති එක්ක ඉඟුරු තේ විතරක් නෙමෙයි, තැම්බූ මඤ්ඤොක්කා එක්ක ඌරුමස්, උයාගත් මඤ්ඤොක්කා එක්ක කුකුළු මස් වුණත් මේ ඉඟුරු යෙදවූ ආහාර කම්බිනේෂන් එකක් නිසා සිරුරට අහිතකර වෙන්නට පුළුවන්.

 

වතුරයි කෑමයි

 

කෑම කන ගමන් වතුර ගොඩක් බොන්න එපා. කාලා ඉවර වෙලත් වතුර ගොඩක් බොන්න එපා කියලයි අපිට වැඩිහිටියො කිවුවෙ. ඒ ඇයි කියල අපි ප්‍රශ්න අහන්න ගියේ නැතුවට ඒ ඇයි කියල කියන්නයි දැන් හදන්නෙ. වතුර නිසා අපේ උදරයේ ඇති බොහෝ ඇසිඩ් වර්ග දියවී යනවා. ඒ නිසා කන ගමන් හෝ කෑ විගස වතුර ගොඩක් පානය කිරීම ආහාර දිරවීමේ ක්‍රියාවලියට බාධාවක්. මේ බාධාව නිසා ආහාර නොදිරවා ඔබ මහත් වීමට වගේම, කුස තුළ නොයෙක් අපහසුතා හට ගැනීමටත් පුළුවන්. 

 

කිරියි කෙසෙලුයි

 

මේක නං සමහරු අපි එක්ක තරහ වෙන්නත් හේතුවක් වේවි. නමුත් අපි මේ ඇත්ත කියන්නෙ ඔයාගෙම හොඳට. වැඩ කරලා මහන්සි වෙලාවට කවුද ආසා නැත්තෙ රසම රස කූල්ම කූල් බනානා මිල්ක්ෂේක් එකක්. මතක් වෙද්දිත් රස දැනුණා නේද? හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ ආහාර දෙකම අධික ප්‍රෝටීන් පිරි නිසා ඔයාගෙ ආහාර දිරවීමේ ක්‍රියාවලිය තරමක් අසීරු කරවනවා. ඒ කරලත් බනානා මිල්ක්ෂේක් බොන්න ආසයි නම් සාදික්කා ස්වල්පයක් හෝ කරදමුංගු ස්වල්පයක් එකතු කරගන්න එක ඇඟට ගුණ වේවි.

 

මස් එක්ක අල

 

බීෆ් බර්ගර් එකක් එක්ක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ලැබෙනවා. හැම ගෙදරකම වගේම කඩේකමත් දවසේ ආහාර වේලට අනිවාර්යයෙන් චිකන් සහ අල දකින්න ලැබෙනවාමයි. ඉතිං අපි ඇයි මස් එක්ක අල කන්න එපා කියන්නෙ? මේ දෙක දිරවන්න අවශ්‍ය වෙන්නෙ දෙවිදිහක සාන්ද්‍රණ. ඉතිං ඔයාගේ ආහාරය දිරවාගන්න සිරුරට අපහසුයි. ඒ වෙනුවෙන් විශාල කාලයක් සහ ශක්තියක් සිරුරට වැය වෙනවා. ඉතිං මේ වැඩේම තවත් දකින්න ලැබෙන ආහාරයක් තමයි විදෙස් රටවල අතිශය ප්‍රසිද්ධ බේකන් සහ බිත්තර කියන සංයෝගයත්. ඒ හේතුවත් මේකමයි.

 

පිපිඤ්ඤා සලාදෙට තක්කාලි

 

සාමාන්‍යයෙන් ගෙදර හදන පිපිඤ්ඤා සලාදෙට එකතු වෙන අනුපාන අතරේ ලූනු, අමු මිරිස්, තක්කාලි, උම්බලකඩ වගේ දේවල් තියෙනවා. මේ ජාති දෙක ජීර්ණය වෙන්නට ගත වෙන අස්වාභාවික කාල අන්තර දෙක එක්ක බලද්දි මේ වැඩේ නිසා ඔයාගේ ජීර්ණ ක්‍රියාවලියම අතරමං වෙන සිදු වීමක් වෙන්නට පුළුවන්. ඉතිං මේ දෙකත් එකට නොකා හිටියොත් හොඳයි.

 

හොඳම නැද්ද?

 

අපි මේ සඳහන් කරපු සමහර දේවල් ඔයාලා නිතර ආහාරයට ගන්නා දේවල් වෙන්න ඇති. ඒ නිසාම මේක බොරුවක් කියලා ඔයාලට හිතේවි. නමුත් අපි මේ කියන්නෙ පූර්ණ ආහාර විෂවීමක් ගැන නෙමෙයි. සිරුර අභ්‍යන්තරයේ සිදු වන දේවල් ඔබට දැනෙන්නේ වෙනස් විදිවලට. ඒ නිසාම අපි මේ කියන ආහාර අරගෙන ඔබට අත්දකින්නට ලැබුණු අපහසුතා ඔබට සාමාන්‍ය​ දේවල් විය හැකියි. හිසරදයක්, වැසිකිළි යෑමේ අපහසුවක්, ආහාර අජීර්ණයක්, බඩ දැවිල්ලක්, උගුර දැවිල්ලක්, වැනි තත්ත්ව විදිහටත් මේ කියන අපහසුතා ඇති වෙන්නට පුළුවන්.

 

 

පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස