කොන්ඩම් ගැන A-Z

අගෝස්තු 14, 2023

උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය.

එසේ වූව ද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමඟින් ලිංගිකව බෝ වන එච්. අයි .වී (HIV), ගොනෝරියා (Gonorrhea) වැනි බොහෝ ලිංගාශ්‍රිත රෝගවලින් ඔබව ආරක්ෂා කිරීමට ඇති හැකියාවයි. එසේ වූවත් උපත් පාලන කොපු භාවිතය පිළිබඳ ජනතාවගේ දැනුම්වත් බවෙහි යම් අඩුවක් දක්නට තියෙනවා. මේ නිසාම හරියට උපත් පාලන කොපු භාවිත කරන්නේ කොහොමද කියලා කතා කරන එක වැදගත්.

 

උපත් පාලන කොපු කියන්නේ මොනවාද?

 

අපි දන්නවා මේ වන විට ජනතාව අතර විවිධ වර්ගවල උපත් පාලන ක්‍රම තියෙනවා. ඒ අතර විව්ධ ස්වාභාවික ක්‍රම, හෝමොනමය ක්‍රම සහ බැරියර් මෙතර්ඩ් කියලා හඳුන්වන ක්‍රමවේද කිහිපයක් තියෙනවා. මෙයින් උපත් පාලන කොපු කියන්නේ ඉතාම සාර්ථක බැරියර් මෙතඩ් එකක් . සරලව කියනවනම් මෙයින් සිදු වන්නේ ස්ත්‍රී සහ පුරුෂ ලිංගේන්ද්‍රවල ගැටීම අඩු කරන එක. ඒ කියන්නේ එක්වීමේදී යෝනි මාර්ගය ඇතුළතදී පුරුෂ ලිඟුව ස්පර්ශ වීමක් නොවෙනවා කියන එක නෙවේ. පිටවන ශුකාණු යෝනී මාර්ගයට නිදහස් වෙන්නේ නෑ කියන එක. ඉතින් මේ සඳහා භාවිත කරන්නේ ලේටෙක්ස් කියන වර්ගයේ රබර්වලින් හදපු ශිෂ්ණයේ දවටා ගන්න පුළුවන් කුඩා බැලුනයකට සමාන කොටසක්.

 

උපත් පාලන කොපු භාවිතයේ වාසි

 

බොහෝ තරුණ තරුණියන්ට කෙටිකාලීන උපත් පාලන ක්‍රමයක් ලෙස වඩාත්ම ගැළපෙන්නේ උපත් පාලන කොපු. ඊට අමතරව එහි වාසි ගොඩක් තියෙනවා.

 

1. ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා කිරීම

රෝගීන්, ලිංගික ශ්‍රමිකයන් (Commercial sex workers/ prostitutes) ඇසුරු කිරීම, ලිංගික සහකරුවන් කිහිප දෙනෙක් ඇසුරු කරන අයට උපත් පාලන ක්‍රමයක් වගේම ලිංගාශ්‍රිත රෝගවලින් මිදෙන්නත් තියෙන හොඳම ක්‍රමය තමයි කොන්ඩම් භාවිත කිරීම. හදිසි ගැබ් ගැනීම් සමාජයේ බහුලයි. ඉතින් විවාහයකට පෙර ලිංගික සංසර්ගයක යෙදෙනවනම් කොන්ඩම් පැලඳීම අනිවාර්යයෙන් කරන්න ඕනේ දෙයක්.

 

2. ලාබදායි වීම

වෙළෙඳ පොළේ විවිධ මිල ගණන්වලට කොන්ඩම් මිලදි ගැනීමට පුළුවන්. අඩුම රුපියල් ගණනක සිට එකක් රුපියල් 100ක් පමණ වන විවිධ වර්ගයේ කොන්ඩම් තියෙනවා. ඒවාගෙන් තමන්ට ගැළපෙන මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

 

3. විව්ධ ආකාරවලින් ලබා ගැනීමට හැකිවීම

ලිංගික සංසර්ගය වුවත් කාලයාත් සමඟින් ඒකාකාරි වෙන්න පුළුවන්. මේ සඳහා විවිධ විසඳුම් තියෙනවා. ඒ අතර විවිධ වර්ගයේ කොන්ඩම් භාවිතයත් එක් ක්‍රමයක්. විශේෂයෙන් සමහර කොන්ඩම් වර්ග විවිධ සුවඳින් රසින් යුතුව නිපදවලා තියෙනවා. විවිධ ඝනකම්වලින් යුතුවත් නිමවා තිබෙනවා. විශේෂයෙන් ඉතා හොඳ ලිංගික ගැටීමක් බලාපොරොත්තු වෙන අයට ඉතා තුනී කොන්ඩමයක් භාවිත කරන්න පුළුවන් වගේම, ගුද සංසර්ගයක් වගේ දේකට කැමැති අයට තද ගතිය වැඩි එකක් භාවිත කරන්නට පුළුවන්. ඉතින් මේ වගේ විවිධ වර්ගයේ කොන්ඩම් වර්ග ගණනාවක් තියෙනවා.

 

4. කෙටිකාලීන ක්‍රමයක් ලෙස වඩාත් සුදුසු වීම

කෙටි කාලීන උපත් ක්‍රම කිහිපයක් තියෙනවා. මේ අතර උපත් පාලන පෙති , කොන්ඩම් වගේ කිහිපයක් තියෙනවා. මෙයිනුත් සමහර තරුණියන් පෙති භාවිත කිරීමට මැළි බවක් දක්වනවා. ඒ වගේ අවස්ථාවල උපත් පාලන කොපු පැලඳීම ඉතා සාර්ථකයි.

 

උපත් පාලන කොපු හැමෝටම සුදුසුද?

උපත් පාලන කොපු මොනතරම් වාසිදායක ක්‍රමයක් වුවත් ඒවා හැමෝටම ගැළපෙන්නේ නෑ. මොකද ඒවායේ තියෙන සමහර අවාසි නිසා. උදාහරණයක් විදියට සමහර අය කැමති තමන්ගේ සහකරු හෝ සහකාරියගේ ලිංගේන්ද්‍රය උපරිම වශයෙන් තමන්ගේ ලිංගේන්ද්‍රයේ ගැටෙන එකට නම්, ඒ වගේ අයට මෙය ගැළපෙන ක්‍රමයක් වෙන්නේ නෑ. ඉතින් හැම දේකම වාසි වගේම අවාසිත් තියෙනවා.

 

කොන්ඩම්වල අවාසි

1. අසාත්මිකතා ඇතිවීමේ හැකියාව

අපි දන්නවා මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෙටෙක්ස් (Latex) කියන අමුද්‍රව්‍යය භාවිත කරලා. නමුත් කලාතුරකින් සමහර අයට ලේටෙක්ස් අසාත්මික වෙන්න පුළුවන්. පුරුෂයාට හෝ කාන්තාවට ලේටෙක්ස් අසාත්මික නම් කොන්ඩම් භාවිත කිරිමේ හැකියාවක් නෑ.

 

2. දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමයක් ලෙස සුදුසු නොවීම

කෙනාගෙන් කෙනාට උපත් පාලන අවශ්‍යතා එකිනෙකට වෙනස් වෙනවා. සමහර තරුණ පවුල් කැමැති අවුරුදු 4-5 ක් පමණ දරුවෙක් ලැබීම ප්‍රමාද කරන්න. එවැනි අය දෛනිකව, එහෙමත් නැත්නම් නිතර සංසර්ගයේ යෙදෙනවා නම් මේ ක්‍රමය සාර්ථක නෑ. ඒ වගේ පුද්ගලයන් වෙනත් දීර්ඝ කාලීන ක්‍රමයක් ‍තෝරාගැනීම අවශ්‍යය වෙනවා.

 

3. ඉතා සමීප ගැටීමක් අවශ්‍ය යුවළකට නොගැළපීම

කලින් සඳහන් කර ඇති ආකාරයටම සමහර පුද්ගලයන් එකිනෙකාගේ ලිංගේන්ද්‍රයන්වල ගැටීම ඉතාම තදින් බලාපොරොත්තු වෙනවා. එවැනි යුවළකට මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් ලෙස භාවිත කිරීමට නොහැකියි. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් හෝ ඉතා තුනී කොන්ඩමයක් භාවිත කිරීම අවශ්‍යය වෙනවා.

 

4. නැවත නැවත භාවිත කළ නොහැකි වීම

සමහර පුද්ගලයන් කොන්ඩම් සෝදා නැවත නැවත භාවිත කරන්නට පුරුදු වී සිටිනවා. නමුත් එය එතරම් සුදුසු ක්‍රමයක් ලෙස හඳුන්වන්නට නොහැකියි. එමඟින් බොහෝ ගැටලු ඇති විය හැකියි.

 

උපත් පාලන කොපු නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද?

* නිසි පරිදි සිසිල් වියළි ස්ථානයක ගබඩා කර තබන්න.

* පළුදු වු ඒවා ඇත්නම් පැකැට්ටුව සමඟම ඉවත් කර දමන්න.

* භාවිතයට පෙර කල් ඉකුත් වීමේ දිනය පරික්ෂා කර බලන්න.

* පැකැට්ටුව විවෘත කිරීමට කතුරු වැනි ආයුධ භාවිත නොකරන්න. එමඟින් කොපුවට හානි පැමිණිය හැකියි.

* විවෘත කළ පසු පළමුව ඉදිරිපස කොටස මඳක් තදකර වාතය හිරවී ඇත්නම් ඉවතට යාමට සලස්වන්න.

ඉන්පසු එය ප්‍රාණවත් වු ශිෂ්ණය මත පලඳින්න.

 

කොන්ඩමයක් භාවිත කරන නිවැරැදි පිළිවෙළ

* කොන්ඩමයක් ඉවත් කිරීම

සංසර්ගයෙන් පසු කොන්ඩමය ඉවත් කිරීම සහකාරිය විසින් සිදුකිරීම වඩාත් උචිතය. මෙහිදී කඩදාසි කැබැල්ලක් භාවිතයෙන් එය ඉවත් කරන්න. පසුව එය ඔතා විනාශ කර තබන්න. කිසි විටෙක වැසිකිළි තුළට නොදමන්න.

 

උපත් පාලන කොපු භාවිතයේදි නොකළ යුතු දේ

* නැවත නැවත භාවිතය

සමහර පුද්ගලයන් සේදීමෙන් පසුව නැවත වරක් භාවිත කිරීම සිදුකරන අවස්ථා දක්නට ලැබේ. එමඟින් ලිංගාශ්‍රිත රෝග පැතිරීම, කොපුව පුපුරා යාම වැනි ගැටලු ඇති විය හැකියි.

*විවිධ ස්නේහක භාවිතය

කොන්ඩමය සමඟ නිෂ්පාදනයේදීම ස්නේහක ද්‍රව්‍යය ඇතළත් කර ඇත. එබැවින් නැවත වරක් ඒවා භාවිත කිරීම අවශ්‍ය නොවේ. එසේ වුවහොත් ඒවා පුපුරා යාමට වැඩි ඉඩක් පවතී.

*අප්‍රාණික ලිංගේන්ද්‍රය මත පැලදීම

නිසි කාර්යක්ෂමතාව නැතිවීමට මෙය හේතු සමහර පුද්ගලයන් සේදීමෙන් පසුව නැවත වරක් භාවිත කිරීම සිදුකරන අවස්ථා දක්නට ලැබේ. එමඟින් ලිංගාශ්‍රිත රෝග පැතිරීම, කොපුව පුපුරා යාම වැනි ගැටලු ඇති විය හැකියි.

 

උපදෙස් :

ළදරු හා ළමා සෞඛ්‍ය උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ