මනසට අස්වැසිල්ලක් අවශ්‍ය නම් 1926 අමතන්න

ඔක්තෝබර් 30, 2023

ගතින් රෝගී වීම පිළිබඳ අපි කවුරුත් කතා කරන්නෙමු. පුංචි පුංචි රෝග ලක්ෂණ මතු වුවත් ඒ ගැන කලබලයට පත්වෙමු. එහෙත් අප නොදැනුවත්වම මනසින් රෝගී වෙයි. මනස රෝගී වීම ගතින් රෝගී වීමට වඩා භයානක තත්ත්වයකි. මන්ද මනසින් ⁣රෝගී වූවා යැයි හඳුනා ගනිද්දී සෑහෙන ප්‍රමාද වූවා යැයි සිතේවී.

මනසින් රෝගී වූ විට එය කල්ගත වී ඇත්නම් ඊට ප්‍රතිකාර කිරීම තරමක් අසීරු විය හැකියි. මානසික රෝග නිට්ටාවටම සුව කිරීම වෙනුවට කළ හැකි වන්නේ ඉන් එහාට දුරදිග යෑම වළක්වාලීම පමණි.

මනස රෝගී වූවන්ට සහයවනු වස් 1926 යනුවෙන් කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී ඇති අතර මේවනවිට 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාවට පස් වසරක් ගත වී තිබේ. මහජනතාව අත්විඳින නොයෙකුත් මානසික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා මනෝ වෛද්‍ය විශේෂඥයින්, මනෝ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය හා අනෙකුත් සම්පත් දායකයින්ගේ සහභාගිත්වයෙන් 2018 දී ජාතික මානසික උපකාරක සේවාව ඇරැඹිණි.

රෝගියකුට, එවැනි රෝගියකු සිටින නිවෙසක පවුලේ කෙනකුට රෝගියා සම්බන්ධයෙන් උපදෙස් ගත යුතු අවස්ථා ඇත්නම් ඒ පිළිබඳ විස්තර ....ආදිය මේ ඔස්සේ ලබා ගත හැකියි.

1926 අමතන ඔබට

'ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු'

* ඉන් අනතුරුව භාෂා මාධ්‍ය තෝරා ගැනීමට අවස්ථාව ලැබේ.

* අංක 0 ඇමතීමෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට පිවිසිය හැකිවේ.

* ඔබ අයත් දිස්ත්‍රික්කය හා සම්බන්ධ වීම සඳහා පළමුව පළාත් අංකය ඇතුළු කළ යුතුවේ. එහිදී පළාත් නවය අංක 1,2 ...ආදී වශයෙන් තමන් අයත් පළාතත් අනතුරුව තමා අයත් දිස්ත්‍රික්කයත් ඇතුළු කළ පසු ප්‍රාදේශීය වශයෙන් ඒ හා සම්බන්ධ විය හැකියි.

උපදේශන සේවාව පමණක් නොව වෙනත් සහන සේවාවක් අවශ්‍ය වුවහොත් එම සේවාව සැපයීමට ද අවශ්‍ය කටයුතු මෙම ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව මඟින් සිදුකරන අතර දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඒකක 25 ක් පිහිටුවීමට පියවර ගෙන ඇත. 250කින් යුත් පුහුණු කාර්ය මණ්ඩලයක් එම ඒකක සඳහා අනුයුක්තකර තිබේ.

1926 වර්ෂයේදී ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය ආරම්භකර ඇති අතර එම වර්ෂය පදනම් කරගනිමින් මෙම උපදේශන සේවාවේ දුරකතන අංකය යොදාගෙන ඇත.

1926 අංකයට ඇමතුමක් ලබා ගැනීමෙන් හෝ කෙටි පණිවිඩයක් ලෙස ගැටලු යොමු කිරීමෙන් ද 0755551926 අංකයට වට්ස් අප් පණිවිඩයක් මගින් ඔබගේ ගැටලුව ඉදිරිපත් කිරීමෙන් ද ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාර ලබා ගැනීමට හැකිවනු ඇත.

තරුණ ළමයින් මෙම සේවාව සමඟින් සම්බන්ධ වීමේ අඩුවක් තිබූ නිසා නවීන තාක්ෂණය හා බද්ධ වෙමින් වට්ස්අප් සේවාව ඇරැඹිණි. ඒ අනුව අවුරුදු 18ත් අවුරුදු 30ත් අතර පිරිසගේ ප්‍රතිචාර එන්න එන්නම වැඩි වන්නට විණි.

මේ ඔස්සේ ඖෂධ වට්ටෝරු වට්ස්අප් කරගත හැකිවේ. විශේෂයෙන්ම කෝවිඩ් සමයේ මෙම සේවාව ඉතාම ජනප්‍රිය සහ අතිශය ප්‍රයෝජනවත් සේවාවක් බවට පත්විණි.

මෙම උපදේශන සේවාව ඔස්සේ හෙද නිලධාරිනියක හෝ වෛද්‍යවරයකු හා සම්බන්ධ වෙමින් තමාගේ හෝ පවුලේ අයකු මුහුණ දෙන මානසික ගැටලු ඇතොත් ඒ සඳහා සෘජු උපදෙස් ලබා ගත හැකිවේ.

මෙම සේවාව සඳහා ලැබෙන ඇමතුම්වල රහස්‍යභාවය සියයට සියයක් ම සුරැකෙන අතර අනන්‍යතාව හෙළි කිරීම අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍ය නම් හෙළි කිරීමට හැකි වේ. රහස්‍යභාවය කඩ කරන අවස්ථා දෙකක් පවතී. එනම් ළමා අපචාර ක්‍රියාවලියක් සිදු වී නම්, සියදිවි හානිකර ගැනීමක් හෝ වෙනත් අයකුට හානි කිරීමට යන අවස්ථාවක් නම් එම අවස්ථාවේදී රහස්‍ය බව හෙළි කිරීමට සිදුවේ.

Chat line එක පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර ඖෂධ වට්ටෝරු ඊට යොමු කළ හැකි වේ. තරුණ පරපුර නවීන තාක්ෂණය හා වඩාත් බද්ධ වී සිටින නිසා මෙම chat line සේවාව වඩාත් ජනප්‍රිය වී තිබේ.

විවිධ සබඳතා බිඳ වැටීම නිසා ඇතිවන වියෝවත් සමඟින් බහුතරයක් දෙනා මානසික ආතතියට පත්ව සිටී. මේ සඳහා මානසික උපදේශනයන් කෙටි පණිවුඩ සේවාව ඔස්සේ ලැබේ.

1926 ට ලැබෙන දුරකතන ඇමතුම් සහ කෙටි පණිවුඩ දිනකට 75,100,125 ක් පමණ ලැබේ. chat line එකට දිනකට chat 25 ක් පමණ ලැබේ.

ඔබ හෝ ඔබේ පවුලේ අයෙක් මානසික පීඩාවකින්, මානසික ආතතියකින්, මානසික රෝගයකින් පෙළේ නම් වහාම 1926 අමතන්න. ඔවුන් ඔබට නොමසුරු සහයෝගයක් ලබා දෙමින් සිතට අස්වැසිල්ලක් ලබා දෙනු ඇත.

විශේෂ ස්තූතිය : 
මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ