කන්දක් වේදනාදෙන කොන්දේ කැක්කුමෙන් කවදා මිදෙන්නද?

දෙසැම්බර් 11, 2023

 

 කොන්දෙන් නැවිලා පොඩි වැඩක්වත් කරන්න බැහැ, පුදුමාකාර වේදනාවක්නේ තියෙන්නේ. පිට දිගේ සිහින් කැක්කුමක් පහළට ගලාගෙන යනවා වගේ. සිහින් වේදනාව ටික වෙලාවකින් දරුණුවටම එන්න පටන් ගන්නවා.

සීසර් කරපු අම්මලා නම් මේ වගේ කොන්දේ වේදනාවක් එද්දි හිතන්නේ බබා හම්බ වෙන්න හිරිවට්ටන්න දුන්න එන්නතේ ප්‍රතිඵලයක් කියලා.

පිට කොන්දේ වේදනාව බොහෝ විට සෑම පුද්ගලයෙක්ම අත්දැක ඇති. පිටකොන්දේ එන කැක්කුම හේතූ ගණනාවක් නිසා ඇති විය හැකියි.

එනම් කොඳු නාරටියේ වූ ව්‍යාකූලතාවයක්, වකුගඩු හා මූත්‍රා මාර්ගයේ ව්‍යාකූලතාවක් , කාන්තාවන්ගේ ගර්භාෂය ආශ්‍රිත ව ඇතිවන ව්‍යාකූලතා, උදරය තුළ ඇතිවන විශාල ගෙඩියක් වැනි හේතු ගණනාවක් කොන්දේ වේදනාවක් ලෙස ඇති විය හැකියි. මෙයින් බහුලව වේදනාව ඇතිවීමට හේතුව වන්නේ කොඳු නාරටිය හා සම්බන්ධ මාංසපේශි හානිවීමට ලක්විමයි.

කොඳු නාරටිය හා සම්බන්ධ මාංසපේශිවලට හානි විය හැක්කේ කෙසේද?

මෙය එකවර සිදුවීමක් හෝ දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වන්නක් වන්නට පුළුවනි. එකවර බරක් එසවීමේදී , එකවර පැත්තකට හැරීමේදී, එකම ආකාරයට බොහෝ වේලාවක් ඉඳගෙන සිටීම, වැටීමක් හෝ හදිසි අනතුරක්, එකවර ඇතිවන පිටකොන්දේ වේදනාවට තුඩුදෙයි. එහිදී කොඳු නාරටියේ අස්ථි බිඳීමක්, අස්ථි අතර ඇති කොටසක් එළියට පැනීමක් ,මාංසපේශී ඉරී යාමක්, මාංසපේශී තදවීමක් විය හැකියි. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ගැන දැනුම්වත් වීම ඉතාම වැදගත් වේවි.

රෝග ලක්ෂණ

* පිටකොන්දේ ඇතිවන අධික වේදනාවල අස්ථිවලට හානිවීමේදී ස්නායුවලට ද හානිවූයේ නම් හිරිවැටීම්, කකුල් පණ නැතිව යෑම විය හැකියි.

* පිට කොන්ද දිග හැරීමට අපහසු වීම, කැක්කුම කකුල්වලට, තට්ටම්වලට පැතිරී යාම, මූත්‍රා අඩස්සිය ඇතිවීම ආදී විවිධාකාර ලක්ෂණ සිදුවූ හානියේ ස්වභාවය අනුව විය හැකියි. එබැවින් නොපමාව වෛද්‍යවරයකුගේ උපදෙස් පැතිය යුතු අවස්ථා ලෙස පහත ලක්ෂණ පෙන්වා දිය හැකියි.

* මූත්‍රා කරන විට දැවිල්ල ඇතිවීම හෝ මූත්‍රා සමඟ ලේ පිටවීම

* මුත්‍රා පාලනය කිරීමට නොහැකි වීම

* පිටකොන්ද ප්‍රදේශය රතුවී ඉදිමී තිබීම

* තට්ටම් ප්‍රදේශයේ කකුල්වල ඇතිවන හිරිවැටීම් හෝ පණ නැතිව යාම

* කකුල් දිගේ කැක්කුම පැතිරී යාම, ක්‍රමයෙන් කැක්කුම වැඩි වී යාම

ආදී අවස්ථාවල වහාම වෛද්‍යවරයකු මුණ ගැසිය යුතුයි.

කොන්දේ කැක්කුමක් ඇතිවිය හැකි තවත් අවස්ථා

* මීට කලින් පිළිකාවක් තිබීම

* ක්ෂය රෝගය තිබීම

* දීර්ඝ කාලීනව ස්ටෙරොයිඩ කාණ්ඩයේ ඖෂධ ගැනීම

* කාලයක් තිස්සේ බර අඩු වීම

* උණ ඇතිවීම

යන ලක්ෂණ ඇති රෝගීන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

අනතුරකදී පිට කොන්දේ වේදනාව දැනුණොත් වෛද්‍යවරයෙක් වෙත යොමු වීම ඉතා වැදගත්.

මෙහිදී වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් හොඳින්ම පිළිපැදිය යුතුවේ. එනම්

* සාමාන්‍ය වැඩ කටයුතුවලින් දින කිහිපයක් ඈත්වී සිටීම

* පළමු පැය 48 තුළදී අයිස්වලින් තැවීමත් ඉන්පසු ‍රස්නේ දේවලින් තැවීම

* නිදාගන්න විට ඝනකම් මෙට්ටයක් හෝ ලෑල්ලක් භාවිත කිරීම

* උඩුබැලි අතට නිදා ගැනීම

* දණහිස්වලට යටින් කොට්ටයක් තැබීම

* දීර්ඝ කාලසීමාවක් ඇඳට වී සිටීම යෝග්‍ය නොවේ.

සාමාන්‍ය කටයුතු දින කිහිපයකින් පටන් ගැනීම * බර එසවීමෙන්, කොන්ද ඇඹරෙන අන්දමේ වැඩ කිරීමෙන් සති හයක් පමණ බැහැර වී සිටීම

* ඉන්පසු ටික ටික ව්‍යායාම කළ යුතුයි.

දීර්ඝ කාලයක් පිට කොන්දේ වේදනාව පවතී නම්

දීර්ඝ කාලීනව පිටකොන්දේ වේදනාව පැවතීම පිළිබඳ සැලකිමත් වීම ඉතාම වැදගත්ය . වයසට යත්ම පිටකොන්දේ වේදනාව ඇති වීමේ හැකියාව ඉතා වැඩියි. නමුත් බොහෝවිට නිශ්චිත හේතුවක් සොයා ගැනීම අපහසුයි. නමුත් කැක්කුම පාලනය කිරීමට විවිධ ප්‍රතිකාර ක්‍රම ඇත.

 

දීර්ඝ කාලීනව පිටකොන්දේ වේදනාව ඇතිවීමට හේතු

* වැරදි ක්‍රමවලට බර එසවීම

* කලින් කොන්ද ප්‍රදේශයේ වූ අනතුරු හා ශල්‍යකර්ම

* විවිධ ආකාරයට ඇතිවන ආතරයිටිස්

* ශරීරයේ අධික බර හා මානසික ආතතිය

* ව්‍යායාම අඩුකම

* කොඳුනාරටිය පිහිටීමේ ස්වභාවයේ වෙනස්කම්

* රැකියාවෙ ස්වභාවය

ඉහත බොහෝ සාධක දීර්ඝ කාලීනව පිටකොන්දේ කැක්කුම ඇති කිරීමට හේතු සාධක වේ.

කොන්දේ කැක්කුම වළක්වා ගැනීමට නම්

* එක දිගට සිටගෙන සිටීමෙන් වළකින්න

* අඩි උස සපත්තු පැලඳීමෙන් වළකින්න

* එක දිගට වාඩි වී සීටීමේදී කොන්ද ප්‍රදේශය පුටු ඇන්දේ හේත්තු වී කෙළින් තබා ගැනීම වැදගත්.

* වාඩි වී සිටින විට කකුල් දෙක පොඩි ස්ටූල් එකක තබා ගැනීමෙන් උකුල් හන්දියට වඩා උස මට්ටමින් දණහිස් හන්දි තැබීම නිසා කොන්දේ අමාරු ද ඇතිවීම වළක්වාලයි.

* ව්‍යායාමවල යෙදීම

* දුම්බීම නතර කිරීම *භාවනා කිරීම

* යෝග ව්‍යායාම ආදිය කොන්දේ වේදනාව අඩු කර ගැනීමට උපාකාරී වේ.

එක දිගට රථ පැදවීමෙන් හෝ දීර්ඝ කාලයක් ඉඳගෙන සිටීමේදි ආසනය හා කොන්දේ පහළ කොටස අතර කුඩා කොට්ටයක් හෝ නැවූ තුවායක් තබන්න.

රිය පැදවීමේදී ආසනය සුක්කානම දෙසට හැකි පමණ කිට්ටු කරගන්න.

 

ප්‍රතිකාර

ආයුර්වේදයේ දේශීය වෙදකමේ ඉතා සාර්ථක ප්‍රතිකාර මේ සඳහා ඇත.

නමුත් ප්‍රථමව කළ යුත්තේ නිවැරැදි රෝග විනිශ්චයයි.

එහිදී කුමන හේතුවක් නිසා මෙම තත්ත්වය ඇතිවුණිදැයි සැක හැර දැන ගැනීම වටී.

 

මෙහිදී ප්‍රධාන වශයෙන් කඨී වස්ති භාවිත කෙරේ. එහිදී කැක්කුම ඇති ප්‍රදේශයේ උඳු වැටියක් සාදා එය වළල්ලක් මෙන් සකසා ඇතුළට තෙල් පුරවා තබා ගැනීම සිදු කරයි.

* පත්තු හා තැවීම

මෙහිදී නිසි පරිදි අවශ්‍ය තැවිල්ල තෝරා තවා පත්තුව දැමීම කළ යුතුයි.

පොට්ටනි සැකසීමේදී කොළ වර්ග හා අවශ්‍ය ද්‍රව්‍ය ගෙන කොටා පොට්ටනි සකසා වණ්ඩුවේ තම්බා තෙල් ගා තැවීම සිදු කරයි.

* වාෂ්ප ස්වේද නාඩි ස්වේද

මෙහිදී ඖෂධීය වර්ග තම්බා හුමාලය ඇල්ලීම සිදු කෙරේ.

* කොඳු ඇට පෙළ ඇදවී හෝ වෙනස් වීනම් එය සැකසීම, බර එල්ලා තැබීම අවශ්‍යතාව අනූව කළ යුතුයි.

* තෙල් සම්බාහනය ඉතා වැදගත්

 

පිචු දැමීම

මෙහිදී ගෝස් කැබැල්ලක් හෝ පුළුන්වලට තෙල් පොඟවා එය කොන්ද මත එළා විනාඩි 20ක් පමණ තබා සිටීම.

මීට අමතරව ව්‍යායාම ,යෝගාභ්‍යාස කරලීම ඉතා වැදගත්ය .

ක්ෂාය, ගුළි, කල්ක, වස්ති ප්‍රතිකාර අවශ්‍යතාව අනුව කළ හැකියි.

උපදෙස් :

ආයුර්වේද වෛද්‍ය සාරංග වීරසිංහ