ශ්‍රී ලංකාවේ සරම්ප රෝගීන් 740ක්

ජනවාරි 22, 2024

මේ සියලුදෙනා සරම්ප එන්නත ලබා නොගත් අයයි.

ඔබේ දරුවාට නොවරදවාම සරම්ප එන්නත ලබාදෙන්න

ඊලඟ මාත්‍රාව ජනවාරි 27 දිවයින පුරා මාස 6ට අඩු ළදරුවන් මේ අතරට

සරම්ප රෝගය පිළිබඳ එකවරම විශාල කතාබහකට නැඹුරු වෙලා. ඇත්තටම ඇයි මේ ? අපි හැමෝම දැන ගෙන හිටියේ සරම්ප යනු අපේ රටෙන් තුරන් කළ රෝග තත්ත්වයක් බවයි.

ගෝලීය වශයෙන් පැතිරෙන සරම්ප රෝගය මෙරට පමණක් නොව ගෝලීය වශයෙනුත් සරම්ප රෝගය පැතිරෙන්නට පටන් අරන්. කෝවිඩ් සමඟ සමස්ත ප්‍රතිශක්තිකරණ වැඩ පිළිවෙළම බිඳවැටීමකට ලක් වෙලා. 2020, 2021, 2022 වසරවල ගෝලීය වශයෙන් කිසිදු ළමා එන්නතක් ලබා නොගත් දරුවන් ගණන මිලියන 25ක් වෙද්දී මිලියන 15ක දරුවන් පිරිසක් අර්ධ වශයෙන් එන්නත්කරණයට ලක් වෙනවා. දකුණු ආසියාවේ දරුවන් මිලියන 9 ක පිරිසක් කිසිදු එන්නතක් ලබා නොගනිද්දි මිලියන 5ක ප්‍රමාණයක් අර්ධ වශයෙන් එන්නත් ලබා ගන්නවා. තත්ත්වය එසේ තිබියදී අපේ රටේ දරුවන් එන්නත්කරණයට ලක් වීමේ වැඩපිළිවෙළ කෝවිඩ් කාලයේ පටන්ම ඉතාම සාර්ථකව සිදු කෙරෙනවා.

එන්නත්කරණයෙන් බැහැරව සිටින්නන්

පසුගිය වසර 6, 7ක කාලයේ පටන් විවිධ අවිද්‍යාත්මක හේතු පදනම් කරගෙන එන්නත්කරණයෙන් බැහැරව සිටින ප්‍රමාණයක් සිටින බවත් නොකියාම බැහැ.

 

ශීඝ්‍ර බෝ වීමක්

කෙනකුගෙන් තවත් කෙනකුට ඉතා ඉක්මනින් බෝ වීමට සමත්කමක් ඇති සරම්ප රෝගය, එක් සරම්ප රෝගියකුට තවත් පුද්ගලයන් 16 දෙනකුට සරම්ප රෝගය බෝ කිරීමේ හැකියාව පවතිනවා. කෝවිඩ් රෝගයටත් වඩා ඉක්මනින් සරම්ප රෝගය බෝ වෙනවා.

අසල්වැසි ඉන්දියාව, ඉන්දුනීසියාව පකිස්ථානය,නේපාලය ..වැනි රටවල සරම්ප රෝගීන් සැලකිය යුතු මට්ටමින් බෝවන නිසා රටක් ලෙස අවට පරිසරයෙන් රෝගය බෝවීමට ඇති ප්‍රවණතාව ඉතාම වැඩියි.

පසුගිය වසරේ මැයි මසදී වසර ගණනාවකට පසු සරම්ප රෝගියෙක් අපේ රටෙන් වාර්තා වෙනවා. මේවන විට එම ප්‍රමාණය රෝගීන් 740 දක්වා ඉහළ නඟිනවා. මේ සියලුදෙනා සරම්ප සඳහා වන එන්නත ලබා නොගත් අය.

වසර ගණනාවක මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසිනුයි සරම්ප රෝගය අපේ රටෙන් තුරන් වෙන්නේ. 1984 වසරට පෙර සරම්ප යනු සාමාන්‍ය රෝගී තත්ත්වයක්. එවකට වයස අවුරුදු 5ට අඩු බොහෝදෙනෙක් මේ රෝගයට ගොදුරු වූවන් බවට පත්වනවා.

සරම්ප රෝගය සඳහා එන්නත් මාත්‍රා 2ක් පවතිනවා. දෙවන මාත්‍රාව ප්‍රතිශක්තිකරණ ලේඛනයට ඇතුළත් වන්නේ 2001 වසරෙදි. 1984 සිට 2001 දක්වා පැවතියේ එක් මාත්‍රාවක් පමණයි.

 

මෙවර මාස 9ට අඩු දරුවන් සියයට 18ක, 19ක පිරිසක් සරම්ප රෝගයට ගොදුරු වෙලා. අඩු වයසින් සරම්ප රෝගයට ගොදුරු වීමෙන් දීර්ඝකාලීන සංකූලතා සඳහා යෑමට ඇති ඉඩකඩත් වැඩියි.

 

මාස 6 සිට මාස 9 දක්වා 2023 එනම් අප්‍රේල් 7 සිට ජූලි 5 තෙක් උපන් දරුවන්ට යි මේ සරම්ප අතිරේක මාත්‍රාව

සරම්ප අමතර මාත්‍රාව දිය යුතුවන්නේ මාස 6ත් 9ත් අතරේ පසුවන දරුවන්ටයි. එනම් 2023 අප්‍රේල් 7 දා සිට ජූලි 5 දා දක්වාම දින දෙක ද ඇතුළුව උපන් දරුවන්ටයි. ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් මේ පිළිබඳ තම ප්‍රදේශයේ මවුවරුන් දැනටමත් දැනුම්වත් කර තිබේ.

කොළඹ , ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, මහනුවර, යාපනය සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ යන සරම්ප රෝගීන් වැඩි වශයෙන් හඳුනාගත් දිස්ත්‍රික්කවල සරම්ප අමතර මාත්‍රාව ලබා දීමේ ක්‍රියාවලියේ පළමු පියවර ඇරැඹි ඇති අතර සෙසු දිස්ත්‍රික්කවල මාස 6ත් 9ත් අතර දරුවන්ට ඊළඟ පියවරේදී ලබා දේ.

ඉහත කී දිස්ත්‍රික්කවල දරුවන්ට ජනවාරි 6, ජනවාරි 13, ජනවාරි 20, ජනවාරි 27 යන දිනවල සරම්ප අමතර මාත්‍රාව ලබා ගත හැකිවේ.

මීට අමතරව ⁣පෞද්ගලික අංශයෙන් එන්නත් ලබා ගන්නා අය වෙනුවෙන් තෝරාගත් පෞද්ගලික රෝහල් 5ක සරම්ප අමතර මාත්‍රාව ලබා ගැනීමේ සේවාව ක්‍රියාත්මක වේ.

මවුවරුන්ට පැන නැගෙන ගැටලු

මාස 6දී පංචසංයුජ එන්නත ලබා දුන්නේ නම් සරම්ප අමතර මාත්‍රාව ලබා දෙන්නේ කොහොමද?

පංචසංයුජ එන්නත අජීවී එන්නතකි. සරම්ප එන්නත සජීවී එන්නතකි. මුඛ පෝලියෝ එන්නත පමණක් සජීවී එන්නතකි. එයත් මුඛයෙන් ලබාදෙන නිසා පංචසංයුජ එන්නත ලබා දුන් දිනයේ හෝ ඊට පසු දිනම වුවකත් සරම්ප අමතර මාත්‍රාව ලබා දීමෙන් කිසිදු ගැටලුවක් මතු නොවේ.

මාස 9දී සාමාන්‍ය පරිදි සරම්ප එන්නත දෙන නිසා අමතර සරම්ප එන්නත මාස 9ක දරුවකුට දිය යුතුද?

2023 ජූලි 5 දක්වා උපන් දරුවන්ට අමතර සරම්ප එන්නත දිය යුතුයි. එම එන්නත ලබා දී මාස දෙකකින් පමණ සාමාන්‍යයෙන් මාස 9දී දිය යුතු ර්ර්අ එන්නත ලබා ගන්න.

මෙම අතිරේක එන්නතින් සාමාන්‍ය එන්නත් ක්‍රියාවලියට කිසිදු බලපෑමක් එල්ල නොවේ.

මේ අලුත් එන්නතක් ද?

සරම්ප අමතර මාත්‍රාව ලෙසින් ලබා දෙන්නේත් අපට හොඳින් හුරුපුරුදු සරම්ප එන්නතමයි. අලුත් එන්නතක් යැයි සිතා ඒ පිළිබඳ යම් චකිතයක් ඇති කරගන්නට එපා.

සරම්ප එන්නත් මාත්‍රා දෙක මඟ හැරී ඇත්නම්

මාස 9ත් අවුරුදු 20ත් අතර වයසේ පසුවන්නන් සරම්ප එන්නත් මාත්‍රා 2ක් ලබාගෙන තිබිය යුතුයි. එනම් මාස 9 දී හා අවුරුදු 3 දී ලබා දෙන සරම්ප මාත්‍රා දෙකයි. එක මාත්‍රාවක් හෝ මඟ හැරී ඇත්නම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඇති පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයකින් මඟ හැරී ඇති එන්නත ලබා ගත හැකියි.