රස්නෙ මට්ටුකරන ආයුර්වේද ක්‍රම

මැයි 20, 2024

 

දකුණු සහ අග්නිදිග ආසියාව පුරා මිලියන සිය ගණනක් ජනයා දැනටමත් දැඩි උණුසුම් උෂ්ණත්වයකට මුහුණ දීලා ඉන්නේ. ග්‍රීෂ්ම රස්නය කලින්ම ඇවිල්ලා ඇතැම් රටවල වාර්තා පිහිටුවමින් ජීවිත පවා බිලි අරන්. අපිත් දවසට කී පාරක් නම් ඇඟ හෝදනවාද? ෆෑන් එකක් නැතුව ඉන්නවා කියන්නේ හරිම අමාරු දෙයක්.

 

අපි දන්න විදිහට ලංකාව කියන්නේ සමකයට ආසන්න රටක්නේ. ඒ හින්දා මාර්තු - මැයි කාලසීමාවේදී ලංකාවට ඉර මුදුන් වෙනවා. ඒ හින්දා තමයි මේ දවස්වල අපිට වෙනදාට වඩා රස්නේ වැඩියෙන් දැනෙන්නේ. රස්නය අනවශ්‍ය විදිහට වැඩිවීම හේතුවෙන් ශරීරයට අහිතකර බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන්.

 

දැනටමත් බහුතරයක් දෙනා අධික ලෙස දහඩිය දැමීම, ඇඟපත දැවිල්ල, කැසීම, දහඩිය බිබිළි හට ගැනීම, ඇස් දැවිල්ල, ශාරීරික අප්‍රාණික බව වැනි විවිධ උපද්‍රවවලට ගොදුරු වී සිටිති. ශරීරයේ පවතින මෙකී අධික උෂ්ණත්වය නිසා ජන ජීවිතය අඩාළ වී පැවතුණ ද එම තත්ත්වය මඟහරවා එදිනෙදා වැඩ කටයුතුවල යෙදීමට නිරතුරුවම අපට සිදුවේ. එබැවින් ඒ සඳහා අප විකල්ප සොයාගත යුතුය.

පවතින අධික උෂ්ණත්වය මඟහරවා ගැනීමට හොඳින් ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. ඊට අමතරව පලතුරු යුෂ, දියර ආහාර වර්ග ශරීරයට එකතුකර ගැනීම සුදුසු වේ. විශේෂයෙන් කොමඩු, පිපිඤ්ඤා, කැකිරි මේ අතරින් ප්‍රධාන වේ.

 

එසේම නිවාගත් ඖෂධ තැම්බූ ජලයෙන් ඇඟපත සේදීම කළ යුතු වේ. විශේෂයෙන් බෙලි කොළ, පාවට්ටා කොළ, කොහොඹ කොළ, අමු කහ යන මේවා තැම්බූ ජලය ඉතාමත් සුදුසුය. එමඟින් ශරීරයේ දහඩිය නිසා හටගන්නා දුර්ගන්ධය ද පහවී යයි.

 

දහඩිය වැඩිපුර පිටවීම හේතු කොට ගෙන ශරීරය වියළිභාවයට පත් වේ. ඒ සමඟ ශරීරය කැසීමට ලක් වේ. ඒ හේතුවෙන් කුඩා බිබිළි හට ගනී. අධික කැසීම හේතුවෙන් එම බිබිළි තුවාල බවට පත්වේ. එකී තත්ත්වය ඉතා වේදනාකාරී වේ. මෙම තත්ත්වය දුරුකර ගැනීමට අමුකහ, කොහොඹ කොළ අඹරා ආලේප කොට ඉන්පසු ඇල් ජලයෙන් සෝදා හැරීම කළ යුතු වේ. පීනස, ඇදුම, හතිය වැනි රෝගාබාධ නොමැති නම් ඇල් ජලය ස්නානය කිරීම වරදක් නොවේ.

 

තවද සමට අහිතකර සැර සබන් වර්ග, ෂැම්පු, කේශාලංකාර ආලේපන වර්ග භාවිතය අත්හළ යුතුය. මෘදු ස්වාභාවික ආලේපන වර්ග පමණක්ම භාවිත කිරීමට උත්සාහ ගත යුතුය. එසේම හොඳින් දහඩිය උරාගන්නා කපු ඇඳුම් භාවිත කළ යුතුවේ.

 

නිතර එළිමහනට නිරාවරණය වන්නේ නම් හිස් වැසුම්, පාවහන්, කුඩ, අව් කණ්ණාඩි ආදිය භාවිතය ඉතා වැදගත් වේ. මුළු ශරීරයම වැසෙන පරිදි ඇඳුම් ඇඳිය යුතු වේ.

 

විශේෂයෙන් අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් අධික සූර්යය තාපයෙන් ආරක්ෂා වීම වැදගත් වේ. උත්සව හෝ බොහෝ ජනයා ගැවසෙන ස්ථාන හැකි සෑම විටම වර්ජනය කළ යුතු වේ.

 

තෙල් බහුල ආහාර, මස්, මාළු, කෘත්‍රිම රසකාරක මිශ්‍ර ආහාරපානවලින් හැකි තරම් ඈත්විය යුතුය. අධික අව් රශ්මිය ඇති වේලාවන්හි දී එළිමහනේ ගැවසීමෙන් හා ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටිය යුතුය. අධික ලෙස දහඩිය දමන ක්‍රියාකාරකම්, උණුසුම් ආහාරපාන, මද්‍යපාන වැනි දෑවලින් ඈත්වී සිටීම ඔබගේ සෞඛ්‍යයට ඉතා යහපත් වේ.

 

සව් කැඳ, බාර්ලි තැම්බූ ජලය, කසකසා, කෝමාරිකා, කුරුම්බා, තැඹිලි, පැණි දොඩම් වැනි ඇඟ සිසිල් කරන පාන වර්ග බීමෙන් දාහය නිවේ. කිසිම අවස්ථාවකදී හෝ පැණි බීම වර්ග සුදුසු නොවේ.

 

තේ, කෝපි වෙනුවට බෙලි මල් තැම්බූ ජලය, නෙල්ලි, රසකිඳ තැම්බූ ජලය පානය කිරීම යෝග්‍ය වේ. විශේෂයෙන් උදෑසනට කොළ කැඳ හෝ නැවුම් පලතුරු යුෂ පානය කිරීම ශාරීරික දාහය නිවා ගැනීමට උපකාරි වේ.

 

ජල ක්‍රීඩා කිරීම, ජලාශ්‍රිත ප්‍රදේශ ඇසුරු කිරීම, තුරුලතා ආශ්‍රිතව ගැවසීම තුළින් තාවකාලික සහනයක් ලබාගත හැකි වේ.

 

 

උපදෙස් -

ආයුර්වේද වෛද්‍ය කාන්ති මදුරප්පෙරුම