කියාගන්න බැරි ලෙඩ ගැන හිතේ තියාගන්නේ නැතිව අපට කියන්න

මැයි 20, 2024

 

සැමියාට ලිංගික රෝගයක්

ප්‍රශ්නය

38 හැවිරිදි මා විවාහ වී වසර 5කි. දරුවන් නොමැත. මට ඇත්තේ සැමියා පිළිබඳ ගැටලුවකි. ඔහුට වෙනත් කාන්තා ඇසුරක් නිසා ලිංගික රෝගයක් වැලඳී ඇත. ඔහු දැන් මාස 6ක සිට මා සමඟ කිසිදු ලිංගික සම්බන්ධතාවක් පවත්වා නැත. මට වුවමනාවක් තිබුණත් ඔහු මා මඟහරී. මේ ගැන හේතු විමසුවද ඔහු කිසිවක් නොපැවසීය. අවසානයේදී ඔහු මට කළ වරද හෙළි කර මගෙන් සිය දහස් වරක් සමාව අයැදියේය. ඔහුට ඇත්තේ සුදු බිංදුම නම් රෝගයයි. මට ඔහු ගැන දැන් ඇත්තේ පිළිකුළකි. මා ඔහුට සමාව දිය යුතු ද? ඔහුගෙන් වෙන් විය යුතු ද කියා නොතේරෙයි. ඔහු සමඟ විසීම මගේ ජීවිතයට අනතුරක් ද?

 

පිළිතුර

සුදු බිංදුම (Gonorrhea,gonorrhoea)  හෙවත් ගොනෝරියාව යනු ලිංගිකව ලිංගාශ්‍රිතව පැතිරෙන රෝගයකි. මෙම රෝගය ඇතිකරන්නේ නෙයිසරියා ගොනෝරියා යන බැක්ටීරියාවයි. ඇතැම් පුද්ගලයන්ට මෙම බැක්ටීරියාව ශරීරගත වුවද කිසිදු රෝග තත්ත්වයක් පෙන්නුම් නොකරයි. මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පුරුෂයන්ට සුදු පැහැ දියරයක් හෝ සැරව පිටවීම, මුත්‍රා දැවිල්ල, ශිෂ්ණයේ හා වෘෂණ කෝෂවල වේදනාව ඇතිවේ. ස්ත්‍රීන්ටද කලාතුරකින් යෝනි මාර්ගයෙන් සුදු පැහැ දියරයක් හෝ සැරව පිටවේ. ස්ත්‍රීන්ට රෝග ලක්ෂණ පෙන්වීම ඉතා අවමය.

 

සුදු බිංදුම රෝගි පුද්ගලයෙකුගෙන් නීරෝගි පුද්ගලයෙකුට පැතිරේ. රෝගියකු සමඟ ඇතිකර ගන්නා ලිංගික සමබන්ධයක් මඟින් මෙය පැතිරේ සමලිංගික,මුඛ,ගුද හා යෝනි ලිංගික යන ඕනෑම ලිංගික සංසර්ගයකින් බෝවිය හැක.මීට අමතරව මවගෙන් දරුවාට හා රෝගියකුගේ මුත්‍රා මගින්ද බෝවේ. තරුණ තරුණියන්ට වඩා වැඩිමහල් පුද්ගලයන් මගින් මෙම රෝග කාරකය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් පවතී. පුරුෂයන් අතර සිදුවන සමලිංගික වර්යා මඟින් මෙම රෝගය ඉක්මනින් බෝ වේ.

සුදු බිංදුම රෝගයෙන් වැළකීම සදහා උපත් පාලන කොපු භාවිත කිරීම, වීශ්වාසවන්ත සහකරුවකු සමඟ පමණක් ලිංගිකව එක්වීම හා කිසිදු ලිංගික චර්යාවක් නොකිරීම මඟින් මෙම රෝගයෙන් වැළකිය හැකිය. ප්‍රතිකාර ලෙස සෙෆ්ට්‍රැක්සෝන් ඖෂධය එන්නත් කිරීම, ඇසිත්ට්‍රොමිසින් ඖෂධය ලබාදීම හා ප්‍රතිජීවක ලබාදීම ආදිය දැක්විය හැකිය. මාස තුනක් එකදිගට ප්‍රථිකාර ලබාගත යුතුය.

තවද අදාළ රෝගියාගේ ලිංගික සහකරුද ප්‍රතිකාර ලබාගැනීම කළ යුතුය. සුදු බිංදුම රෝගය වැලඳීමේ ප්‍රතිශතය කාන්තාවන්ට 0.8% වන අතර පිරිමින්ට එය 0.6% වෙයි. මේ මොහොතේ ඔබ කළ යුතු වන්නේ ඔහු සමඟ වාද කිරීම නොව ඔහුව ප්‍රතිකාර වෙත යොමු කිරීමයි. ඔහු සමඟ ජීවත් වෙනවාද.. ඔහුව හැර යනවාද යන්න ඔබේ තීරණයකි. නමුත් මෙවැනි රෝගවලින් පීඩා විඳිමින් ආදරණීය පවුල් ජීවිත ගෙවන බොහෝ පිරිසක් සිටින බවද අමතක නොකළ යුතු ය. එබැවින් හොඳින් සිතා බලා තීරණ ගන්න.

උපදෙස් -

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට