කියාගන්න බැරි ලෙඩ ගැන හිතේ තියාගන්නේ නැතිව අපට කියන්න

මැයි 27, 2024

 

දියවැඩියාව නිසා ලිංගික ගැටලුවක්

 

ප්‍රශ්නය

 

මා 44 හැවිරිදි එක් දරු මවක්. සැමියාට වයස අවුරුදු 45යි. විවාහ වූ දින පටන් මා හා සැමියා අතර ලිංගිකත්වය හොඳ මට්ටමින් පැවතුණි. මා දැන් වසර 4ක පමණ කාලයක සිට දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමි. ප්‍රතිකාර ද ලබා ගනිමි. දැන් සැමියා සමඟ ලිංගික එක් වීමේදී දැඩි වේදනාවක් ඇති වේ. කිසිදු තෘප්තියක් ද නොලැබේ. දියවැඩියා රෝගයත් සමඟ මාගේ ලිංගික ජීවිතය ද අඩාළ වී ඇත. මෙයට කළ යුත්තේ කුමක් ද?

 

පිළිතුර

දියවැඩියාව යනු රෝග  රැසකට බලපාන රෝගයකි. එම රෝග අතර ලිංගික දුර්වලතා ඇතිවීම ද ප්‍රධාන තැනක් ගනී. මෙලෙස ඇතිවන සුලබ ලිංගික දුබලතා කිහිපයක් පිළිබඳව විමසා බලමු.

 

දියවැඩියාව නිසි ලෙස පාලනයකින් තොරව දිගු කලක් පැවැතීම නිසා ඇතිවන සුලබ ලිංගික දුබලතාවයක් වනුයේ  ලිංගික බෙලහීනතාවයයි. Evectile dysfunction මෙම තත්ත්වය ඇතිවන්නේ දියවැඩියාව නිසා නිසි ලෙස ලිංගික අයවය වෙත හොඳින් රුධිර සැපයුම සිදු නොවීම සහ ස්නායු ක්‍රියාකාරීත්වය හොඳින් සිදු නොවීම නිසාය. එවිට පිරිමි පුද්ගලයන්ගේ ශික්ෂණය ප්‍රාණවත්වීමේ ගැටලු මතුවේ.

 

කාන්තාවන්ට මෙවැනි තත්ත්වයකදී මතුවන දුර්වලතාවය වන්නේ ඔවුන්ගේ යෝනි මාර්ගයේ ස්නේහනය ඇතිනොවීම නිසා හටගන්නා වියළි බව මත ලිංගික එකතුවීමකදී වේදනාකාරී බවක් සහ එකතුවීමේ අපහසුතාවයක් තෘප්තිමත් බවක් ඇති නොවීමකි.

 

මෙලෙස රුධිර සැපයුම අඩාළවීමට බලපාන තවත් හේතු කිහිපයක් වනුයේ රුධිර නාළ ඇතුළත අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්වීම, අධිරුධිර පීඩනය පාලනය සඳහා භාවිත කරන ඇතැම් ඖෂධවල බලපෑම්ය.

ඊට අමතරව කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ කැසීම් හටගැනීම, දැවිල්ලක් මතුවීම වැනි අපහසුතා ඇති වේ.

 

දියවැඩියාව දිගු කාලයක් පැවැතීම නිසා ලිංගික ක්‍රියාකාරීත්වයට බලපාන හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ද හටගනී. ඊට හේතු වන්නේ දියවැඩියාව යනු හෝමෝන රෝගයක් බැවිණි. එනිසා අපගේ සිරුරේ ඇති සෙසු හෝමෝනවල ක්‍රියාකාරිත්වය ද දියවැඩියාව රෝගයට බලපායි.

 

මෙලෙස දියවැඩියාව නිසා  හටගන්නා ලිංගික බෙලහීනතාවය සහ ලිංගික ගැටලු සඳහා සාර්ථක ප්‍රතිකාර සහ ඖෂධ වර්ග වර්තමානයේ ඇත.

ඖෂධ මගින් නිසිලෙස ප්‍රතිකාර නොලැබෙනවිට ඒ සඳහා වෙනත් නවීන ප්‍රතිකාර ද පවතී. දියවැඩියාව ප්‍රතිකාර ගන්න අතරම මේ පිළිබඳවත් ඔබේ වෛද්‍යවරයාට පවසන්න.

 

උපදෙස් -

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට