දත රෝගී වුණොත් ලෙඩ ගොඩයි

ජූලි 1, 2024

 

දත් කැක්කුම කියන්නේ අපගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එක පාරක් හරි අපි අත්විඳපු දෙයක්. සමීක්ෂණයකට අනුව, වැඩිහිටියන්ගෙන් 90%කට වඩා වැඩි පිරිසකට අනිවාර්යෙන් යම් දත් දිරායාම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේමයි වර්තමානයේ බාල, මහලු කියල නැහැ ගොඩක් දෙනෙක් මේ දත් කැක්කුමට මුහුණ දෙනවා.

එබැවින් සිරුරේ අනෙකුත් කොටස්වලට වඩා මුඛය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මෙයට හේතුව මුඛය විවිධ ආසාදනවලට ලක්වීමේ ප්‍රවණතාව වැඩි වීමයි. දත් දෙපළ අපේ මුහුණ එළිය කරන පහන් ටැඹක්. මේ එක් දතක් හෝ අහිමි වෙනවාට අපි කැමති නැහැ. එහෙමනම් දත් සුරකින්නට කරන්නේ මොනවාද?

දතට කුඩම්මාගේ සැලකිලි දැක්වීමේ අවසාන ප්‍රතිඵලය දත දිරායාම හෝ දිරායාමේ හේතුවෙන් ගලවා දැමීමට සිදුවීමයි. එහෙත් එසේද වී නොනැවතෙයි. විදුරු මස් රෝග ඇති වී ඉන් හදවත් රෝග, දියවැඩියාව, නියුමෝනියාව හා නොමේරූ දරුවන් ඉපදීමට ඇති අවදානම වැඩි වේ. වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයකු වෙත යාමේ පුරුද්දක් වැඩි දෙනෙකු තුළ නැත්තේ ජීවිතයට රෝගී මුඛ සෞඛ්‍යයෙන් වෙන හානිය හඳුනාගෙන නැති නිසයි. දන්ත වෛද්‍යවරයාට බොහෝ රෝග පිළිබඳ අනාවැකි කිව හැකියි. දියවැඩියාව, හෘද රෝග, පිළිකා, ඔස්ටියෝපොරෝසීස් වැනි රෝග තත්ත්ව, දුර්ලභ සමේ රෝග ආදිය මුල් අවස්ථාවේම හඳුනා ගැනීමට දන්ත වෛද්‍යවරයෙකුට පුළුවන.

විදුරු මස් ඉදිමී, රතු වී වේදනා ගෙන දෙන්නේ රෝගය එතරම්ම බරපතළ තත්ත්වයෙන් නැති විටයි. රෝගය භයානක වෙන්නේ එම සීමාව ඉක්මවා ගිය විටයි. නිසි ප්‍රතිකාරයක් නොලැබ දිගින් දිගටම විදුරුමස් රෝගය පවතින විට ගතට වේදනාවක් නොදැනුණත්, ගතම භයානක ලෙස රෝගී කරන තත්ත්වයක් හොර රහසේම ඇතිවෙනවා. අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සිරුරේ අනෙක් කොටස්වලට රෝගය පැතිරී යාම වැළැක්වීමට සටන් කළත් එම සටන අසාර්ථක වෙන අවස්ථා තිබෙනවා. විදුරු මස් ආසාදනය කරන බැක්ටීරියා රුධිර පද්ධතියට ඇතුළු වෙයි. රුධිර පද්ධතියෙන් හදවතට ගමන්කර හෘද කපාටවලට හානි කරයි. පටකවලටද හානි සිදුවේ.

උග්‍ර ලෙස දත් රෝග ඇති ගැබිනි මව්වරුන් නොමේරූ දරුවන් බිහිකිරීමට තිබෙන ඉඩ වැඩියි. සාමාන්‍ය මවකට වඩා අවදානමක් එවැනි මවකට තිබෙන බව පර්යේෂකයන් සොයාගෙන තිබේ. එපමණක් නොව දත් රෝගවලින් පීඩා විඳින මවුවරු ප්‍රී එක්ලැම්සියා නම් තත්ත්වයට ද ගොදුරු විය හැකියි. ගැබට සති 20 පිරුණු පසු මවගේත් දරුවාගේත් ජීවිතවලට හානි විය හැකි අයුරින් රුධිර පීඩනය ඉතා ඉහළ යාම

ප්‍රඑක්ලැම්සියා ලෙස හඳුන්වයි. දරුවකු පිළිසිඳ ගැනීමට පෙර කාන්තාවක් අනිවාර්යෙන්ම දන්ත වෛද්‍යරයකු වෙත යා යුත්තේ එනිසයි.

මුඛ පිළිකා වඩාත් පහසුවෙන් හඳුනාගත හැක්කේ දන්ත වෛද්‍යවරයාටයි. තොල්වල, විදුරු මස් වල, කම්මුල්, දිව හෝ උගුරේ ඉහළ ආදී ඕනෑම තැනක පිළිකා සෛල වර්ධනය විය හැකියි.

දත් මතුපිට තදින් ඇලී සිටින බැක්ටීරියාවන් බුරුසුවකින් හැර ඉවත් කිරීම අපහසුයි. දත්වල මැලියම් බැඳීම විදුරුමසට හානිකර වන තවත් හේතුවක්. මැලියම් යනුවෙන් හැඳින්වෙන්නේ දත්මුල්වල එකතුවන කැල්සියම් ලවණයයි. දත් මුල්වල සුදු පැහැති ද්‍රව්‍යයක් ලෙස බැඳෙන්නේ මෙයයි. දත් මට්ටමෙන් ඉහළ කොටසේත් ඇසට නොපෙනෙන පහළ කොටසේත් මැලියම් බැඳීම සිදුවන අතර, දත් මට්ටමට ඉහළින් මැලියම් අධික සේ බැඳීම හේතුවෙන් දතත්, විදුරුමසත් අතර සම්බන්ධය ක්‍රමයෙන් අඩු වෙනවා. විදුරුමස දියවීම කියන්නේ මෙයටයි. අධික ලෙස මැලියම් බැඳීම නිසා දත් මුල් ඝන තට්ටුවකින් වැසී යන අතර ආහාර සැපයීමේදී විදුරුමස තුවාල වී ලේ ගැලීම පවා සිදුවෙනවා. මැලියම් තට්ටුව මත බැක්ටීරියාවන් එක්රැස්වීමද අධික ලෙස සිදුවෙනවා.

දත් රැක ගැනීමට නම් පෝෂණීය ආහාර වේලක් ලබාගත යුතුයි. ඒවාගේම දත් සවිමත් වන්නට සිනී අඩංගු ආහාරපාන ගැනීම සීමා කරන්න. කැල්සියම් අඩංගු ආහාරවන කිරි ආහාර, ආමන්ඩ්ස් වැනි ඇට වර්ග, මල්ගෝවා කැල්සියම් සවිමත් දත් සඳහා සේම විදුරුමස් නිරෝගීව තබා ගැනීමට ද අත්‍යවශ්‍යයි. පර්යේෂණ මඟින් හෙළි වී ඇත්තේ කැල්සියම් අඩංගු ආහාර අඩුවෙන් ගන්නා වැඩිහිටියන් විදුරු මස් රෝගවලට වැඩි වශයෙන් ගොදුරු ‍ෙවන බවයි. මල්ගෝවා, සලාද, සැල්දිරි ආදියෙහි අඩංගු කෙඳි දත් හා විදුරුමස් අතර රැඳී ඇති ආහාර කැබැලි ඉවත් කරයි. බෝංචි, බිත්තර, කිරි ආහාරවල ලයිසීන් නම් ඇමයිනෝ අම්ලය අඩංගුය. විටමින් සීවලින් පොහොසත් පැඟිරි කුලයේ පලතුරු, මිරිස්, බෙරි ආදිය මුඛයේ සුවතාවය දත් හා අස්ථි අතර සම්බන්ධක පටක වර්ධනයටනැතිවම බැරිය.