ඔබේ දරුවාගේ ජීවිතය මදුරුවෙක්ට බාර දෙනවා ද.....?

ජූලි 1, 2024

 

වසර පුරා කාලෙන් කා‍ෙලට ඩෙංගු වසංගතය හිස ඔසවද්දී මේ ගතවන්නෙත් එවැනිම කාලවකවානුවකි. අධික වර්ෂාව ඩෙංගු කීටවලට අපූුරු නවාතැන්පළක් බවට පත්වෙයි.

දැනට ශ්‍රී ලංකාවේ මදුරු විශේෂ 140ක් පමණ සිටින අතර එයින් ඊඩිස් ඊජිප්ටයින්(Aedes aegypt) හා ඊඩිස් ඇල්බොපික්ටස්(Aedes albopictus) යන මදුරු විශේෂ ඩෙංගු රෝගය පතුරවයි. මෙම මදුරු විශේෂවල ගැහැනු සතා රෝගකාරක මදුරුවා වේ.

මේ මදුරු විශේෂ බෝවන්නේ පිරිසුදු ජලය ඇති කෘත්‍රිම නිවහන් තුළ සහ පොල්කටු , යෝගට් කෝප්ප , තැඹිලි / පොල් කෝම්බ , පැනඩෝල් කවර, රඹුටන් පොතු , වතුර ටැංකි , වැහි පීලි, සිමෙන්ති ස්ලැබ් වැනි විවිධ වූ පිරිසුදු වතුර එකතුවන ස්ථානවලයි. පැනඩෝල් කවරයක්, රඹුටන් ලෙල්ලක් ඩෙංගු මදුරුවකුට බිජු හෙළන්නට තෝතැන්නක් වේවි යැයි ඔබට මෙතෙක් නොසිතෙන්නට ඇති.

ඊඩිස් ඊජිප්ටයින් වර්ගයේ මදුරු විශේෂය වඩාත්ම දැකගත හැකිවන්නේ නගරාශ්‍රිතවයි. ඊඩිස් ඇල්බොපික්ටස් වර්ගයේ ඩෙංගු මදුරුවන් ග්‍රාමීය ප්‍රදේශවල වැඩි වශයෙන් දැක ගන්නට ලැබේ.

සාමාන්‍යයෙන් ඩෙංගු බිත්තරයක් පුපුරන්නේ වැඩි උෂ්ණත්වවලදී වුවත් දැන් දැන් නුවරඑළිය වැනි සීතල දේශගුණයක් ඇති ප්‍රදේශවලින් පවා ඩෙංගු රෝගීන් වාර්තාවන්නට පටන් ගෙන තිබේ.

මෙම රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම මඟින් රටට සහ ඔබගේ ආර්ථිකයට විශාල ලාභයක් ඇතිවේ. ඇයි අපි එහෙම කියන්නේ.

ඔබේ සමීපතමයන් රෝගී වූ විට දිනකට තුන් වතාවක් ඔබ කාලය සහ මුදල් වියදම් කරමින් රෝහලට යා යුතුයි . ඒ කැපකිරීම් කිරීමට හැකි නම් ඔබට ඔබේ නිවෙස අවට පිරිසුදුව තබාගැනිමට නොහැකි ඇයි? දිනකට විනාඩි 10 ක් වැය කරමින් නිවෙස ඇතුළත හා පිටත ශුද්ධ පවිත්‍ර කරන්නේ නම්, වතුර රැඳෙන ස්ථාන විනාශ කරදමන්නේ් නම් ජීවිතවලින් පවා වන්දි ගෙවන්නටවන අවස්ථා කෙතෙක් නම් මඟ හැරේවි ද?

ඔබ රෝගී වුවහොත් රටේ ධනය ඔබ වෙනුවෙන් වියදම් කළ යුතුයි .(සෞඛ්‍ය නිලධාරීන්ගේ වැටුප් , ඖෂධ සඳහා, රෝහල් කාර්යමණ්ඩල වැටුප් , රෝහල් නඩත්තු කටයුතු ..වැනි දේ සඳහා)

මේ දිනවල පවතින වර්ෂාව නිසාත් , සෑම වසරකම මැයි , ජූනි , ජූලි මාසවල ඩෙංගු රෝගය වැඩිපුර ව්‍යාප්තිය සිදුවේ. මෙම ඩෙංගු රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීම කළ හැක්කේ ඔබට පමණි.

ඔබ දන්නවාද ?????

* කොවිඩ්වලට සාපේක්ෂව වසරකට ඩෙංගු රෝගය නිසා බිලිගන්නා මිනිස් ජීවිත ප්‍රමාණය වැඩි බව.

* ඩෙංගු රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර නැත.

ඩෙංගු වැඩිපුර ව්‍යාප්තිය සිදුවන ස්ථාන ලෙස

පාසල් / බැංකු

රෝහල් / ආගමික ස්ථාන / කර්මාන්ත ශාලා සහ රාජ්‍ය ආයතන පසුගිය වසර කිහිපය තුළ හඳුනාගෙන එයට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා ලදි.

ඩෙංගු මාරයා පරදමු. ඩෙංගු ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු.

උපදෙස් :

මහජන සෞඛ්‍ය පරීක්ෂක

සඳුන් හේමන්ත රත්නායක