එක එක්කෙනාට තියෙන අමුතු ජාතියේ MANIA

උස් තැන්වලට යන්න හිතෙන එකත් ලෙඩක්
ජූලි 15, 2024

 

කොළඹ කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ 15 හැවිරිදි සිසුවෙක් සහ සිසුවියක් කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් බිමට වැටී මියයෑමේ පුවත පසුගිය සතිය පුරා මහත් ආන්දෝලනයට ලක් විය.

මේ අබිරහස ගැන විවිධ අදහස් පළ වෙද්දී ඇය උස් ස්ථානවල ඡායාරූප ගැනීමට රුචියක් දැක්වූ සිසුවියක් බව හෙළි වූ තවත් කරුණකි. නිතර නිතර සෙල්ෆි ගැනීම වගේම ත්‍රාසජනක දේ අත්හදා බැලීමට යොමු වීම එක්තරා විදිහක මානසිකමය තත්ත්වයකි. නව යොවුන් වියේ දරුවන්ගේ මෙවැනි ක්‍රියාකාරකම්වලට පොලඹවනු ලබන මානසික තත්ත්වයන් පිළිබඳ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහගේ පැහැදිලි කිරීමකි මේ.

අද සෑමදෙනා අත රැඳෙන දුරකථනය නිසා පෙර මෙන් සාමාන්‍ය ජනතාවට ඡායාරූප අරුමයක් නොවේ. පෙර තමාගේ සොඳුරු මතකයන් ඇල්බමයක රඳවා තබා ගැනීමට වෙහෙස වුණු ජනයා වර්තමානය වන විට සිය ජංගම දුරකථනයම ඒ සඳහා භාවිත කරනු ලබයි. විශේෂ උත්සව අවස්ථාවකට හෝ ස්ටුඩියෝවකට ගොස් ගැනීමට යෙදුණු ඡායාරූපය අද ඇත්තේ ඇඟිලි තුඩක දුරිනි. දුරකථනයක් ගැනීමේදි ඉන් කතා කිරීම කෙසේ වෙතත් එහි කැමරා උපාංගය ගැන ජනතාව විමසිලිමත් වෙති. පෙර නොවූ විරූ සංකල්පයක්වන සෙල්ෆි මිනිස් ජීවිතයේ දෛනික අංගයකි.

 

සෙල්ෆි උන්මාදය

 

සෙල්ෆි කියන්නේ අද වනවිට ලොකු කුඩා කා අතරත් බෙහෙවින් ජනප්‍රිය දෙයක්නේ. විශේෂයෙන්ම ගැහැනු ළමයි මේ සෙල්ෆි උන්මාදයට නැඹුරු වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරනවා. තමන්ගේ සෙල්ෆියක් ෆේස්බුක්, Instagramවල අප්ලෝඩ් කරන්න ඔවුන් දක්වන්නේ ඉමහත් කැමැත්තක්.

මෙය මෑත යුගයේ නූතන තාක්ෂණයත් සමඟ අපේ වහරට ආ වචනයකි. තමන්ගේ ඡායාරූප තමන් විසින්ම ලබා ගැනීමේ මේ තාක්ෂණය ලෝකය පුරා ව්‍යාප්ත වීමට ගත වූයේ ඉතා සුළු කාලයකි. දැන් මේ 'සෙල්ෆි' ගැනීම අපේ රටේද ඇතැමුන් අතර උන්මාදයක් බවට පත්ව ඇති බව පෙනී යයි. ඒ නිසා අහිමිව යන ජීවිත ප්‍රමාණයත් මෙතෙකැයි කියා කිව නොහැකිය. ත්‍රාසජනක තැන්වල ඡායාරූප ගැනීම ඒ උන්මාදයේ තවත් කොටසකි.

 

ෆෝබියාව

 

උස් ස්ථානවලට ඇති අධික කැමැත්ත මේනියාවක් වෙද්දි උස් ස්ථානවලට ඇති අධික බිය ෆෝබියාව යනුවෙන් හඳුන්වයි.

ෆෝබියාව කියලා කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්‍ය බයට. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග විශේෂයක්. ෆෝබියාව සාමාන්‍ය භීතියෙන් වෙනස් වන්නේ කෙසේද? එන්නතක් විදින්න කලින් එන්නත් ක‍ටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්‍යයි. නමුත්, ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරවලින් ඉවත්වී සිටී නම්, ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි. යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත හා ස්ථිර හේතුවක් කියන්න බැහැ. නමුත් ෆෝබියාවට හේතුකාරක වියහැකි දේවල් කීපයක් මෙසේ දක්වන්න පුළුවන්. පාරම්පරික ෆෝබියා තත්ත්වයන්, තමන් ලැබූ බියජනක අත්දැකීමක් නිසා, තමන් දු‍ටු බියජනක අත්දැකීමක් නිසා, ෆෝබියාවෙන් පෙෙළන්නෙකු ඊට හේතුවන අත්දැකීමක් ලබද්දී ඒ සමීපයෙහි සිටීම, බියජනක අවස්ථාවක් ගැන දැනගැනීමට ලැබීම ඒ අතර ප්‍රධානයි. මේ ෆෝබියාව ස්වාභාවික සංසිද්ධීන්ට දක්වන අධික බිය, සත්ත්ව වර්ගවලට දක්වන අධික බිය, රුධිරය/එන්නත් වැනි දෑ සඳහා ඇති අධික බිය, ඇතැම් ස්ථාන හා අවස්ථාවලට ඇති අධික බිය යනුවෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකියි.

 

බොහෝ විට මානසික රෝග ඇතිවනුයේ එදිනෙදා ජීවිතයේ ඇතිවන යම් යම් සිදුවීම් නිසා මිනිසාට පැනනඟින ප්‍රශ්න ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන් නිසා යැයි අප සැමවිටම සිතුවත් සමහර අවස්ථාවන්වලදී ඊට අමතරව මතුවිය හැකි ගැටලු සම්බන්ධයෙන්ද දැනුම්වත් වීම වටි. මේ අනුව උන්මාදයට යම් ජානමය බලපෑමක් ඇති බව ඔබ දැනසිටිය යුතු එක් කරුණකි. ඇතැම් විට උන්මාදය සහිත මවකට උපදින දරුවා උන්මාදය සහිත පියෙකුට දාව උපදින දරුවාට මේ තත්ත්වය ඇතිවීමේ යම් අවදානමක් පවතී. නමුත් උන්මාදය සහිත මව්පියන්ගේ දරුවන් සියලු දෙනාම පාහේ උන්මාද රෝගීන් වේ යැයි ස්ථීර වශයෙන් සඳහන් කරන්නට අපහසුය.

සාමාන්‍යයෙන් එඩිතර ගතිය යනු මානසික රෝගයක් නොවේ. නමුත් උන්මාද රෝගියා හිටි හැටියේම තමන්ගේ දෛනික ක්‍රියාකාරිත්වයන් වැඩිපුර එඩියකින් යුතුව කරන්නට පටන් ගැනීමක් පෙනෙන්නට ඇත්නම් ඒ සම්බන්ධ අවධානයක් දැක්වීම වැදගත්ය. 

ඡායාරූප ගැනීමේ උන්මාදයෙන් පෙළෙන්නා උදෑසන පිබිදුණ විටම බලන්නේ අද ඡායාරූප ගැනීමට සුදුසු තැනක් තියෙනවද? ඒ ඡායාරූපයට පෙනී ඉන්න අඳින්නේ මොන වගේ ඇඳුමක් ද? ඇතැම් විට අන්තර්ජාලයට පිවිස ලස්සන ස්ථාන ගැන පවා සොයා බලයි.

 

ප්‍රතිකාර

 

පළමුව රෝගියා සමඟ ඒ සම්බන්ධයෙන් වාද කිරිමෙන් වළකින්න. ඔහු හෙළා නොදැක විවේචනය කිරීමෙන් තොරව ඔහු සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. ඇතමුන් මෙවැනි රෝග සඳහා විවිධ ශාන්තිකර්ම සිදු කළත් එයින් යම් මානසික සුවයක් ලබන්නට ඉඩ ඇති නමුත් රෝගය ඇතිකරන හේතූන්වලට වැට බැඳීමක් නොවේ.  ඒ නිසා නිසි ආකාරයෙන් රෝගියා වෛද්‍ය පරීක්ෂණවලට සහ ප්‍රතිකාරවලට යොමු කරමින් රෝගියාගේ මානසිකත්වය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය. රෝහල්වල මනෝ වෛද්‍ය සායන වෙත හෝ මනෝ වෛද්‍යවරුන් වෙත රෝගියා රැගෙනයාමට කටයුතු කරන්න. තමාටම පුරුද්දක් විදිහට දුරකථනයේ භාවිත කිරීම සම්බන්ධව සීමා පවත්වා ගන්න. ඡායාරූප ගන්න හිතෙන අවස්ථාවලදී එය අවශ්‍ය දෙයක් නොවෙයි කියා තමා විසින්ම පාලනය කිරීමෙන් යම්කිසි එකඟතාවයකට පත් වීමෙන් මෙය පාලනයකර ගත හැකිය.

ඒ වගේම මව්පියන්ද තම දරුවන් ගැන නිරන්තර අවධානයකින් කටයුතු කළ යුතු වේ. මව හෝ පියා ඇතැම් විට මොවුන් දෙදෙනාම උදෑසන රැකියා සඳහා පිටත්ව යයි. නි‍ෙවසේ හුදෙකලාවන දරුවා ගැන හෝ එවැනි දරුවන් ගැන සෙවිල්ල අතපසුවීම් ද සිදු වෙයි. එවිට ඇතිවන ඛේදනීය තත්ත්වයන් ද මව්පියන්ගේ පැත්තෙනුත් මොහොතක් සිතිය යුතුය.

 

උපදෙස් -
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ
මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ