ඒ දෙන්නගෙ සම්බන්ධයක් තියෙනවා එහෙම හිතෙන එක මානසික ලෙඩක්ද ?

ජූලි 29, 2024

 

ඊර්ෂ්‍යාව සහ සැකය සාමාන්‍යයෙන් මිනිසුන් තුළින් සුලබව දක්නට ලැබෙන දෙයක්වන අතර එයින් දැඩි හානියක් ඇතිවන අවස්ථා එතරම් දක්නට නොලැබේ. නමුත් අධික සැකය හා ඊර්ෂ්‍යාව මඟින් බරපතළ ප්‍රශ්න ඇතිවන අවස්ථා දුලබ නොවේ. එහිද ඊර්ෂ්‍යාව සහ සැකය ඇති තැනැත්තා මෙන්ම එයට ලක්වන තැනැත්තා හෝ තැනැත්තන්ද පීඩාවට ලක්වේ. එය මානසික හෝ ශාරීරික වශයෙන් ඇතිවන පීඩාවක් විය හැකියි. ඔවුනට උදව් කිරීම අත්‍යවශ්‍ය වන්නේ එමඟින් ඇතිවිය හැකි පල විපාක ඉතාමත් භයානක විය හැකි බැවිනි.

 

දෙදෙනකු අතර ඇති සම්බන්ධතාවන් හිදී සැකයන් මතුවීම විරල නොවේ. සම්බන්ධතාවන්හිදී ඇතිවන ප්‍රශ්නවලට උපකාර පතන්නන්ගෙන් 1/3 කට පමණ සැකය අධික ලෙස පවතී. සහකරු හෝ සහකාරියගේ පීඩාවන්ට, අධික සැකය මූලිකම හේතුවක් විය හැකිය.

ඊර්ෂ්‍යාව හා සැකය හේතුවෙන් ඇතිවිය හැකි තත්ත්වයන් විවිධාකාර වේ. සමහර අවස්ථාවන්හිදී ඉතා සුළු අඬදබරයකින් පසුව එය නිමා වේ. නමුත්, කෘෘරත්වයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් සැකයට පිළිතුරු දෙන පුද්ගලයන්ද දක්නට ලැබේ. එසේම ඔවුන්ගේ එම මානසික තත්ත්වයට උපදෙස් හා උපකාරයන් සඳහා යොමු වන්නේද ටික දෙනෙක් පමණි.

 

දිනක් උපදේශනය සඳහා පැමිණි මැදිවියේ කාන්තාවක් හඬා වැටෙමින් පැවසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයක් ඇති බවත් ඇයට ඔහු බොහෝ සෙයින් වෙනස්කම් කරන බවය. තම සැමියා රහසිගතව එම කාන්තාව හමුවන බවද නිතර දුරකථන ඇමතුම් ගන්නා බවද, එනිසා ඇය නිතර සැමියාගේ ජංගම දුරකථනය පරීක්ෂා කරන බවද ඇය පවසා සිටියාය.  සැමියා ඉතා පිරිසුදුව පිළිවෙළට හැඳ පැලඳ නිවෙසින් පිටව යන්නේ එම කාන්තාව හමුවීමට බවත්, තමන්ට එය දරාගත නොහැකි බවත්, සියදිවි හානිකර ගැනීමට වරින් වර සිතෙන බවත් ඇය ප්‍රකාශකර සිටියාය. මේ සියල්ල ඇය ප්‍රකාශ කළේ ඇගේ සැමියා ඉදිරියේදීමවන අතර සැමියා කිසිසේත්ම ඇය පවසන දේ  පිළිගැනීමට සූදානම් වූයේ නැහැ. ඔහු දිවුරමින් ප්‍රකාශ කළේ එවැනි අනියම් සම්බන්ධතාවක් තමන් හට නැති බවයි. මෙම අසාමාන්‍ය සැකය ඔහුගේ ජීවිතය සහමුලින්ම විනාශකර දමා ඇති බවත් දරුවන් නිසා ඔහුට නීත්‍යනුකූලව වෙන්වීම අපහසු බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළා. තම නිවැරදි බව කිසි ලෙසකින් බිරියට ඔප්පුකර පෙන්විය නොහැකි බවත් ඇගේ කෝපාවිෂ්ට බැණ වැදීම් නිසා දරුවන්ගේ මානසික සුවයද විනාශ වී ඇති බවත් ඔහු තවදුරටත් පවසා සිටියා.

 

මිනිසුන්වන අපට ඊර්ෂ්‍යාව සහ සැකය  ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් දිගින් දිගටම තම සහකරු හෝ සහකාරිය පිළිබඳ පවතින අසාමාන්‍ය සහ හේතු විරහිත සැකය  යම් රෝගී තත්ත්වයක ලක්ෂණයක් ලෙස දක්වන්නට පුළුවන්. මෙම අසාමාන්‍ය සැකය සහ ඊර්ෂ්‍යාව Morbid jealousy, Sexual jealousy, Othello syndrome යනුවෙන් හඳුන්වනවා. එසේත් නැත්නම් ලිංගික ඊර්ෂ්‍යාව, ලිංගික සැකය  යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම තත්ත්වය වැඩිපුරම දැකිය හැක්කේ පිරිමින් තුළ වන නමුත් කාන්තාවන් අතරද මෙම තත්ත්වය පවතිනවා. එමෙන්ම විවාහකයන් අතර පමණක් නොව අවිවාහක පුද්ගලයන් තුළද මෙම Morbid jealousy තත්ත්වය දක්නට පුළුවන්.

Morbid jealousy එසේත් නැතහොත් ලිංගික සැකය ඇති පිරිමින් මෙන්ම කාන්තාවන්ද සාමාන්‍ය ජීවිත ගත කරන ලෙස පෙනී ගියත් ඔවුන් නිරන්තරයෙන්ම තම සැමියා, බිරිය, ආදරවන්තයා හෝ ආදරවන්තිය තමන්ට විශ්වසනීය නොවේ යැයි සැක කරනවා. ඔවුන් වෙනත් පුරුෂයකු හෝ කාන්තාවක සමඟ සම්බන්ධතාවක් පවත්වන්නේ යැයි හෝ එසේ නැත්නම් සිය සහකාරයා හෝ සහකාරිය විරුද්ධ ලිංගිකයන් ඇසුරු කිරීම දැඩිසේ ප්‍රතික්ෂේප කරනු ලබනවා. එපමණක් නොව ඉන් ඔවුන් බොහෝ සේ පීඩා විඳිනු ලබනවා.

 

 

එහි රෝග ලක්ෂණ මොනවාද?

 

සහකරුවා හෝ සහකාරිය ගේ විශ්වසනීයත්වය පිළිබඳ අසාමාන්‍ය ලෙස සැකකිරීම හා එම සැකයන් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කිරීමත් අධික ලෙස තම සහකරුවා, සහකාරිය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසුවීමත් මෙහි ප්‍රමුඛ ලක්ෂණයයි.

තම සහකාරිය, සහකාරිය සැක කිරීම, ඔහුට හෝ ඇයට ඊර්ෂ්‍යා කිරීම, නිවෙස තුළ වාද විවාද, අඬදබර ඇතිකර ගැනීම ප්‍රධාන ලක්ෂණය වුවද මෙම රෝගීන් නිවෙසින් බැහැර පරිසරයේදී එනම් ඔහුගේ හෝ ඇයගේ රාජකාරී ස්ථානයේදී අතිශයින් සාමාන්‍ය ජීවිතයක් ගත කරයි.

 

තම සහකරුවා, සහකාරිය හට අනියම් සම්බන්ධතාවක් ඇතැයි යන මතයේ දැඩිව එල්බ සිටින රෝගියා ඒ පිළිබඳ සාක්ෂි සෙවීමට උත්සුක වේ. සහකරුවා, සහකාරියගේ ජංගම දුරකථන, දිනපොත්, ලිපිගොනු ආදිය අවුස්සා බලා සැක ඇති තැන් සිහියේ තබාගනී. එම තොරතුරු මත ගැටුම් ඇතිකරගනී. අපවාද, අවලාද නැඟීමත් දෝෂාරෝපණය කිරීමත් සුලබ සිදුවීම් බවට පත්වේ. සහකරුවා/ කාරියගේ කටයුතුවලට බාධාකිරීම් ඔහුගේ, ඇයගේ ගමන් බිමන් සීමා කිරීම, දුරකථන ඇමතුම් ගැනීමට බාධා කිරීම ආදී නිදහස සීමා කිරීම් නිරතුරුව සිදුවේ.

 

අනියම් සම්බන්ධතා පිළිබඳ නඟන අවලාද නිවෙසට පමණක් සීමා නොවේ. රෝගියාගේ දෙමාපියන්, මිතුරු මිතුරියන් සහ සොයුරු සොයුරියන් හට තම සහකරුවා, සහකාරියගේ අනියම් සම්බන්ධතාවන් පිළිබඳ හැඟුම්බර විස්තර ලබාදේ. සත්‍ය නොවූවත් මේ තොරතුරු විශ්වාස කිරීමට ඔවුන්ද පෙලඹෙන අතර සහකරුවාට හෝ සහකාරියට ඔවුන්ගෙන්ද දෝෂාරෝපණ එල්ල වේ.

 

සහකරුගේ, සහකාරියගේ ලිංගික හැසිරීම් පිළිබඳ රෝගියාගේ අවධානය දැඩිවන අතර ඒ පිළිබඳ සොයාබැලීම් වැඩිකරයි. නිදි යහන පිළිවෙළ සකසා ඒ මත යම් කුඩා සලකුණක් තබා නිවෙසින් පිටවන රෝගියා යම් හෙයකින් නැවත පැමිණෙන විට පළමු සලකුණ වෙනස් වී තිබුණහොත් සහකරු හෝ සහකාරිය සමඟ ගැටුම් ඇතිකර ගනී. සහකරුවා/ සහකාරියගේ යට ඇඳුම් ද රෝගියාගේ දැඩි පරීක්ෂාවට ලක් වේ.

තම සහකරු/කාරිය පිළිබඳ විමසිල්ලෙන් සිටීම සඳහා තමාට හිතවත් කණ්ඩායමකට භාරදීම ද සිදුවනු ඇත. සහකරු/කාරිය පිළිබඳ පමණක් නොව අනියම් සබඳතාවය අැතැයි සිතන තුන්වැනි පාර්ශ්වය කෙරෙහි ද සොයා බැලීමට පිරිස් යොදවන අවස්ථා ඇත.  

 

මෙම රෝගයෙන් පෙළෙන්නන් අධික වශයෙන් දරුණු හැසිරීම් රටාවක් පෙන්වයි. බැණවැදීම්, දෝෂාරෝපණ, පහරදීම් සහ කලාතුරකින් සිදුවන මිනීමැරීම් දක්වා එය විසල් පරාසයක විහිදේ. රෝගියා සියදිවි නසා ගැනීමට පෙලඹෙන අවස්ථාද විරල නොවේ.

 

මෙහිදී ඔහු හෝ ඇය ඔබව නිරන්තරයෙන්ම සැක කරන අතර එය පදනම් විරහිත සැකයක් බව ඉතා පැහැදිලි කරුණක්. එහෙත් ඔහු හෝ ඇය තුළ පවතින මෙම හේතු විරහිත සැකය බිඳ දැමීම ඉතා අපහසු කාර්යයක් වෙනවා මෙන්ම මෙම රෝග ලක්ෂණය සහිත තැනැත්තා හෝ තැනැත්තිය සිය සැකය නිවැරදි බව ඔප්පු කිරීමට අවශ්‍ය කරුණු නිරන්තරයෙන්ම සෙවීමට උත්සුක වෙනවා. උදාහරණයක් ලෙස නිතර සිය සහකරුගේ හෝ සහකාරියගේ දුරකථනය, සමාජ මාධ්‍ය ගිණුම්, විද්ත්

ලිපි (emails) ආදිය පරීක්ෂාකර බැලීම දක්වන්නට පුළුවන්. එපමණක් නොව ඔහු හෝ ඇය බොහෝවිට ඇඳුම් පැලඳුම් පරීක්ෂාකර බලන අතර, පිළිවෙළට හැඳ පැලඳ සිටීම, සුවඳ විලවුන් භාවිතය, මිතුරන් හෝ මිතුරියන් සමඟ සබඳතා පැවැත්වීම ආදිය දැඩි ලෙස විවේචනය කරනවා. ඒ පිළිබඳ නිතර ගැටුම් ඇතිකර ගන්නවා. ඔහු හෝ ඇය ඔබව ඔහුගේ හෝ ඇයගේ අවධානයමතම පමණක් රඳවා ගැනීමට නිරන්තරයෙන්ම උත්සාහ දරනු ලබනවා. ඇතැම් විට ඔවුන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අතර වෛරී සහගත හැඟීමෙන් යුක්තව දවස ගෙවනවා. මීට අමතරව ඔවුන් දැඩි කම්පනයකින්, අසහනකාරීව සහ කෝපයෙන් යුක්තව ජීවත්වන අතර කාංසාව (anxiety), විශාදය (depression) වැනි රෝගී තත්ත්වයන් ගෙන් පවා පීඩා විඳින බව දක්නට ලැබෙනවා. රැකියාවන්හි නියුතු මෙවැනි පුද්ගලයන්ට සිය රැකියාව නිසි පරිදි කරගෙන යෑමේ ගැටලු පවා මෙම රෝග ලක්ෂණය නිසා ඇතිවන්නට පුළුවන්.

Morbid jealousy තත්ත්වයෙන් පීඩා විඳින කිසිම පුද්ගලයකුගේ ආදර සබඳතා හෝ විවාහ සබඳතා කිසිසේත්ම සාර්ථක වන්නේ නැහැ. මෙම තත්ත්වයෙන් පීඩා විඳිනු ලබන තැනැත්තා මෙන්ම ඔහුගේ හෝ ඇයගේ සහකරු හෝ සහකාරියගේ මානසික සෞඛ්‍ය පවත්වාගෙන යෑම පවා අපහසුවන අතර ඔහු හෝ ඇය විශාදය වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ ඉඩකඩ බොහෝ වැඩි බව ඉතා පැහැදිලි කරුණක්. බොහෝ විට මෙවැනි පුද්ගලයන්ගේ ආදර සබඳතා බිඳී යන අතර විවාහයන් දෙදරා යෑමද දක්නට පුළුවන්. එබැවින් ඔබේ සහකරු හෝ සහකාරියට මෙම තත්ත්වය ඇත්නම්, ඔවුන්ට හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය වෙනවා.

 

ප්‍රතිකාර මොනවාද?

 

ඇතැම් විට මෙම තත්ත්වය නිසා සියදිවි නසා ගැනීම මෙන්ම ඔබේ ජීවිතය හානි වීම වැනි දේ පවා සිදුවීමට ඉඩකඩ ඇති බැවින් හැකි විගස  ඔහු හෝ ඇයව මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි. ඔහුගේ හෝ ඇයගේ රෝගී තත්ත්වය නිසි ලෙස හඳුනා ගැනීම සහ ඔෟෂධ ප්‍රතිකාර ආරම්භ කිරීම මනෝ වෛද්‍යවරු විසින් සිදු කරනු ලබන අතර ඔවුන් ඔහු හෝ ඇයව මනෝ ප්‍රතිකාර (psychotherapy) සඳහා යොමු කිරීමද අත්‍යවශ්‍ය වෙනවා. ඔහුගේ හෝ ඇයගේ රෝග ලක්ෂණයන්හි තීව්‍රතාව සලකා බලා තත්ත්වය සමනය වනතුරු ඇතැම් විට ඔවුන්ව ඔබෙන් වෙන්ව තැබීමට පවා සිදු වන්නට පුළුවන්. එබැවින් ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය එසේත් නැත්නම් ඔබගේ සැමියා හෝ බිරිය මෙම තත්ත්වයෙන් පීඩා විඳී නම්  ඔහු හෝ ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙන්ම මනෝ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන්න.

 

උපදෙස් -

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ

මනෝ වෛද්‍ය

පුෂ්පා රණසිංහ