වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
ඉඳිකටු අනිනවා වගේ ආව වේදනාව ගැන හිතුව ද?
වේදනාවන් ජීවිතයේ බොහෝ දේ ආපස්සට ගෙන යයි. නොසිතූ මොහොතක හටගන්නා වේදනාව නිසා සියල්ල අඩපණ විය හැකියි. ඇවිදගැනීමට අපහසු වුවොත් වේදනාකාරී වුවහොත් එදිනෙදා කටයුතු කරගන්නේ කෙසේද? කාලයක් සමඟ වයසට යන විට ශරීරය දුර්වල වී නොසිතූ අවස්ථාවක හටගන්නා එවැනි වේදනාවක් ලෙස සයටිකා හැඳින්විය හැකියි.
සයටිකා රෝගය ගැන ඇතැම් විට ඔබ දැනුම්වත් ඇති. නැතිනම් මේ වන විටත් ඔබට රෝග ලක්ෂණ පෙන්නුම් කළත් රෝගය පිළිබඳ අවබෝධයක් නොමැතිව සිටිනවා විය හැකියි.
වත්මන් සමාජයේ බහුලව බොහෝ දෙනකු අතර දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස සයටිකා දැකිය හැකි අතර වයස අවුරුදු 40ත් 45ත් අතර පිරිසට සියයට 45 ක පමණ ප්‍රතිශතයක් දක්නට ලැබෙයි.
සයටිකා යනු කුමන අන්දමේ රෝගී තත්ත්වයක්ද?
සයටිකා ලෙස හැඳින්වෙන්නේ අපේ ශරීරයේ විශාලම ස්නායුව වන සයටිකා ස්නායුව තෙරපීමක් නිසා ඇතිවන වේදනාකාරී තත්ත්වයයි. මෙය අපේ කොන්දේ පහළම පිහිටි කශේරුකාවලින් පටන් ගන්නා අතර එම
* කශේරුකා අතර පිහිටි කාටිලේජ ගෙවී යාමත් (Degenerative Vhanges)
* ඉදිරියට නෙරා යාමත්(Disk Bulge)
* පැතලිවීමත්
* කශේරුකා දිරායාම(Spondylosois)
* කශේරුකා අතර කාටිලේජ සුෂුම්නාවේ ගෑවීම(Herniation)
* එසේම වයසත් සමඟ සිදුවන අස්ථි අධිවර්ධනය නිසා ස්නායු මාර්ගය පටු වීම(Lumba spinal stenosis)
* අස්ථි එකිනෙක ලිස්සා යෑමක් (Spondylolisthesis)
කෂේරුකා අතර සිදුවන වෙනසට හේතු සාධක විය හැකියි.
මීට අමතරව මෙම හේතු සාධකද බලපෑ හැකියි.
* එසවිය නොහැකි අධික බරක් එසවීම
* වැරදි ඉරියව් ඔස්සේ කොන්ද නැවීම
* හිතුමතේ ව්‍යායාම සිදු කිරීම
* හදිසි අනතුරු වැනි
* ස්ථූලභාවය නිසා
කෂේරුකාවලට බලපෑමක් වූ විට සයටිකා ස්නායුවක් තෙරපීම නිසා වේදනාකාරී රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් හෝ එකවර මතුවන්න පුළුවනි.
රෝග ලක්ෂණ
මෙහිදී පෙන්වන රෝග ලක්ෂණ ලෙස
* කොන්දේ පහළ එන වේදනාව (Lower back pain)
* කොන්ද පැත්තක එන වේදනාව(Hip pain)
* ඉඳගෙන සිටින විට එන දරා ගත නොහැකි වේදනාව
* කකුල පුරා එන දැවිල්ල
* පිච්චෙන ගතිය
* කූඹි දුවනවා වගේ දැනීම
* පාදය දිගේ ඉඳිකටු අනිනවා වගේ දැනීම
* හිරිවැටීම
* එකවර නැගිටීමේ අපහසුතාව
* කොන්දේ සිට පහළට එන වේදනාව
* පාදය දිගේ විදුලියක් මෙන් එකවර හටගන්නා වේදනාවක් ගමන් කිරීම
* පාදයේ පිච්චෙන දැවිල්ල ස්වභාවයක් පහළ කොටසේ ඇතිවීම ඇතැම්විට කලවා ප්‍රදේශයේද මෙය දක්නට ලැබේ.
* පාදයේ පහළ කොටස නිරන්තරයෙන් වේදනා ගෙනදීම.
මෙහි විශේෂත්වය වන්නේ එක් පාදයක් දිගේ මේ සියලු රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් ඇඟිලි දක්වාම ඇති වී ඇඟිලි හිරි වැටීම ඇතිවීමට පුළුවනි.
තවද ආතරයිටීස් තත්ත්ව නිසා පාද ඇද ගැසීගෙන යන විට බොහෝ අයට සිදුවන වෙනස නොදැනුණත් සියයට පනහ ඉක්මවා ඇදය ඇති වූ විට කොන්දට සිදුවන බලපෑම එක්තරා අවස්ථාවකදී මෙම ස්නායුව තෙරපීමත් සමඟ දැනෙන වේදනාව දණහිස් වේදනාව ඉක්මවා යා හැකියි.
මැදි වියේ සිටින්නන්, වයස්ගත මවුවරු, පියවරු අසරණව ඇවිදගත නොහැකිව බොහෝ වේදනාවලට බලපාන එක් හේතුවක් ලෙස මෙය සැලකිය හැකියි.
මෙවැනි අවස්ථාවකදී හේතුව යථා තත්ත්වයට නොගතහොත් වේදනාවට පමණක් ප්‍රතිකාර ගැනීම තුළ ක්‍රම ක්‍රමයෙන් එය වර්ධනය වී සැත්කම්වලට පවා මුහුණ දීමට සිදුවන අවස්ථා දක්නට ලැබේ.
සයටිකා රෝගී තත්ත්වය සඳහා බටහිර, ආයුර්වේද, හෝමියෝපති යන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ප්‍රතිකාර ලබාගත හැකි වේ.
රෝගය හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂණ
වෛද්‍යවරයා ඔබත් සමඟින් රෝග ලක්ෂණ පිළිබඳව කතාබහ කරන අතර ඉන්පසුව වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක්ම නියම කරයි.
* එක්ස් රේ පරීක්ෂණ( කොඳු වැට පෙළ එක්ස්රේ කරනු ලබයි)
* MRI පරීක්ෂණ(කොඳු ඇට පෙළේ සවිස්තරාත්මක විස්තරයක් මේ ඔස්සේ ලබාගත හැකියි. හර්නියා තත්ත්ව, ස්නායු තෙරපීම ආදී සියල්ල මේ ඔස්සේ හඳුනාගත හැකි වේ.)
* CT scan(කශේරුකාවට වී ඇති හානිය මේ ඔස්සේ ද හඳුනාගත හැකි වේ.)
වෛද්‍යවරයා කරනු ලබන පරීක්ෂාවන් මඟින් බොහෝ නිගමනයන්ට එළැඹිය හැකියි. නමුත් ඇතැම් විට රෝගය පිළිබඳ දෙපාර්ශ්වයේම දැනුම්වත් වීම සඳහා ඉහත පරීක්‍ෂණ සිදු කරනු ලබයි.
වළක්වාගත හැකි ක්‍රම
ඔබට සයටිකා පැමිණීමේ අවදානම හෝ ඔබට දැනට සයටිකා ඇත්නම් එහි වේදනාව වළක්වාගත හැකියි
* නිවැරැදිව බර එසවීම හා පමණට වඩා අධික බර එසවීමෙන් වැළකීම
වස්තූන් එසවීමේදී කොඳුඇට පෙළට හානි වීම වළක්වා ගැනීම සඳහා සැමවිටම දණහිස්වලින් නැමී කොන්ද කෙළින්ම තබාගෙන ඔසවන්න. සෑම විටම වස්තුව ඔබේ පපුවට සමීපව තබා ගන්න.
* මත්පැන් පානයෙන් හා දුම් පානයෙන් වළකින්න.
* සිටගෙන හෝ වාඩි වී සිටින සෑම විටම හොඳ ඉරියව්වක් පවත්වා ගන්න.
* නිතිපතා ව්‍යායාම කරන්න.
* පෝෂණයෙන් යුක්ත ආහාර රටාවකට යොමු වන්න.
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ඔස්සේ සයටිකා සඳහා ප්‍රතිකාර
මෙහිදී රෝගියාගේ රෝග ලක්ෂණ මුල්කරගෙන කායික මෙන්ම මානසිකත්වය ද සැලකිල්ලට ගෙන සිදු කරන ප්‍රතිකාරයක් නිසා හෝමියෝපති මූලධර්මය අනුව රෝග ලක්ෂණවලට සමාන ඖෂධ දීම තුළ වේදනා නාශක නොමැතිවම රෝග ලක්ෂණය ලෙස පෙන්වූ වේදනාව නැතිව යන්නේ රෝගයට හේතුවද නැති කරමිනි. ඉඳිකටු අනිනවා වගේ දැනීම, හිරිවැටෙන ස්වභාවය, පිච්චෙන, දැවිල්ල ස්වභාවය නැතුව යාම නොදැනුවත්වම හේතුව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී රෝගියා සුව වීම, ප්‍රතිශක්තිකරණය ගොඩනැඟීම තුළ වෙනස්ව තිබූ ව්‍යුහාත්මක වෙනස්කම් යළි යථා තත්ත්වයට ගෙන දෙයි.
වෛද්‍ය අනූෂා හේම කුමාර