වර්ෂ 2024 ක්වූ December 02 වැනිදා Monday
අයිතීන් සුරකිමු; ඒඩ්ස් නවතමු
සෑම වසරකම දෙසැම්බර් මස 01 දිනට ලෝක ඒඩ්ස් දින සැමරුම යෙදී ඇත. ලෝකයෙන් ඒඩ්ස් තුරන් කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගේ දායකත්වය හඳුනා ගැනීමට මෙය මහඟු අවස්ථාවකි. 'අයිතීන් සුරකිමු; ඒඩ්ස් නවතමු' මෙවර ඒඩ්ස් දින තේමාවයි.
මෙරට එච්. අයි. වී. වයිරසය ශරීරගතව ජීවත් වන්නන් 4700ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර තිබේ. මේ අතරට ඒඩ්ස් රෝගීන් අයත් නොවේ. එච්. අයි. වී. වයිරසය ආසාදිත වූවන් සහ ඒඩ්ස් රෝගීන් යනු කොට්ඨාස දෙකකි.
එච්. අයි. වී. වයිරසය යනු මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසයයි. එච්. අයි. වී. වයිරසය ශරීරගතව මිනිසුන් සෑහෙන කාලයක් ජීවත් වෙයි. මේ අය එච්.අයි.වී. වයිරසය සමඟ ජීවත්වන අයයි. මොවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුවහොත් ඒඩ්ස් රෝගී තත්ත්වයට පත් වෙයි. ඒඩ්ස් (Acquired immunodeficiency syndrome (AIDS) රෝගීන් ලෙස හඳුන්වන්නේ ඉන්පසුවයි. එනම් නතු කරගත් ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය තත්ත්වයට පත්විය හැකියි. එච්. අයි. වී. වයිරසය ශරීරගත වූවන් අනිවාර්යයෙන්ම ඒඩ්ස් රෝගීන් බවට පත් නොවේ. ඇතැම් එච්.අයි.වී. වයිරසය ශරීරගත වූවන් මියයන්නේ ඒඩ්ස් රෝගය වැලඳුණු පුද්ගලයින් ලෙස නොව එච්.අයි.වී. වයිරසය ශරීරගත වූවන් ලෙසමයි. එච්.අයි.වී.වයිරසය ශරීරගත වූවන් ඒඩ්ස් රෝගීන් ලෙස හුවා දැක්වීම කොහෙත්ම යුතු නොවේ.
වර්තමානයෙහි එච්.අයි.වී. සමඟ ජීවත් වන පුද්ගලයින් හට සාර්ථකව ප්‍රතිකාර ක්‍රම තිබෙන නිසා ඔවුන් හට ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙයි.
සායන 40ක්
කොළඹ මධ්‍යම සායනය ඇතුළුව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ලිංගාශ්‍රිත රෝග සායන හතළිහක් පමණ පැවැත්වේ. ශික්ෂණ රෝහල්, මූලික රෝහල් වැනි රෝහල් ඇතුළුව හැම දිස්ත්‍රික්කයකම සායන එකක් හෝ දෙකක් පැවැත්වේ. මෙම සායනය එච්.අයි.වී. වයිරසය ආසාදිත වූවන්ට
පමණක් නොව වෙනත් ලිංගාශ්‍රිත රෝග ඇති අයට, ඒ ආශ්රිත සමේ ආසාදන ඇතිවන්නන්ට, ලිංගික ගැටලු ඇති අයට ප්‍රතිකාර කරනු ලබයි. රජයේ රෝහල්වල ඇති මෙම ලිංගාශ්‍රිත රෝග සායන මඟින් නොමිලේ රහස්‍ය භාවය ආරක්ෂා කරමින් සියල්ල සිදුකරයි. එච්. අයි. වී. රුධිර පරීක්ෂණ මඟින් එච්. අයි. වී. ආසාදිත පුද්ගලයෙක්ද නැද්ද යන්න මුල් අවධියේදීම හඳුනාගත හැකි අතර එච්. අයි. වී. සඳහා ප්‍රතිවයිරස් ඖෂධ ලබාගෙන එච්.අයි.වී. සමඟ ජීවත්වන පුද්ගලයින්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාවී තිබේ. එච්.අයි.වී. වයිරසයට ප්‍රතිකාර ඇති නිසා මෙම සායන සඳහා තුන්දහසකට වැඩි පිරිසක් සහභාගී වෙයි.
පසුගිය වසර කිහිපයට අනුව එච්. අයි. වී. වයිරසය ආසාදිත වූවන් අලුතින් හඳුනා ගැනීම වැඩි වී තිබේ. 2023 වසරේ රෝගීන් 694ක් හඳුනාගෙන තිබේ. එය 2022 වසර සමඟ සසඳද්දී සියයට 14ක වැඩිවීමකි. මේ අතරට එච්. අයි. වී. වයිරසය සමඟ ජීවත්වන පිරිමි පුද්ගලයින් (613ක්ම එනම් සියයට 88ක්) වැඩි වශයෙන් එකතු වේ. තවමත් ශ්‍රී ලංකාව එච්. අයි. වී. හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය පැතිරීම සම්බන්ධයෙන් අඩු අවදානමක් පවතින එච්. අයි. වී. ව්‍යාප්තිය 0.1ට වඩා අඩු අගයක් පවතින රටකි.
තවද 2018 වර්ෂයේ සිට වයස අවුරුදු 15ත් 24ත් අතර යෞවන යෞවනියන් අතර එච්. අයි. වී. ආසාදනය කැපී පෙනෙන ලෙස වැඩිවීමක් පෙන්නුම් කරයි. 2023 වසරේ නව එච්. අයි. වී. ආසාදිතයන්ගෙන් 105 ක්ම (සියයට 15) මෙම වයස් කාණ්ඩවලට අයත් තරුණ තරුණියන් වූ අතර මොවුන් අතරින් සියයට 87ක්ම පිරිමි පුද්ගලයන් වේ.
Know4sure.lk
මුඛ මාර්ගයෙන් සිදුකරන එච්.අයි.වී. ස්වයං පරීක්ෂණ කට්ටල මෙම වෙබ් අඩවිය හරහා නොමිලේ නිෙවසටම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාදීමට පහසුකම් තිබේ.
ඔබ මෙහිදී ලබා දෙන තොරතුරු කොළඹ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ පරීක්ෂණ කට්ටල ලබා දෙන වෛද්‍යවරයා සමඟ පමණක් සම්බන්ධ වේ. ඔබගේ තොරතුරුවල පෞද්ගලිකත්වය සහ රහසිගතභාවය පිළිබඳ සියයට 100ක් ආරක්ෂාව මෙහි තහවුරු වී ඇත.
එක් පරීක්ෂණ කට්ටලයකින් එක් වරක් පමණක් පරික්ෂා කරගත හැකිය.
KNOW4SURE.LK යනු කුමක්ද?
KNOW4SURE යනු ඔන්ලයින් හරහා ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන සායනයේ හෝ ඔබ කැමති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් සමඟ රුධිර පරීක්ෂණයක් වෙන් කරවා ගැනීමේ ඉතාමත් පහසු ක්‍රමවේදයක් මෙන්ම ඔබට ඉතා ඉක්මනින් පරික්ෂාව (Rapid Test) කරගැනීම සහ ඔබගේ තොරතුරු නිර්නාමිකව හා ඉතා රහසිගතව හසුරවන ක්රමවේදයකි.
KNOW4SURE වෙතින් පළමුවෙන්ම HIV සම්ප්‍රේෂණය වීමේ අවදානම ගැන හා වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන පිළිබඳ අවදානම ගැන ඉගෙන ගැනීමට කෙටි ප්‍රශ්නාවලියක් ලබා දෙයි.
ඉන් පසු KNOW4SURE වෙතින් ඔබට නොමිලේ සායනයක් තෝරාගැනීමට සහ පරීක්ෂණයක් සිදු කරගැනීමේ සැලැස්මක් සඳහා උපකාර කරයි. එසේම ඔබ පෞද්ගලික වෛද්‍ය වෘත්තිකයකු හමුවීමට තීරණය කළහොත් පරීක්ෂණයේ මිලෙහි සැලකිය යුතු අඩුවීමක් ලබා දෙනු ඇත. මෙම ක්‍රමවේදය මඟින් ඔබට ළඟම රජයේ සායන ලැයිස්තුවක් දිස් වේ. එයින් ඔබට පහසු වේලාව අසනු ඇත. ඉන්පසු ප්‍රශ්න කිහිපයක් අසන අතර එය ඔබගේ පරීක්ෂණය වෙන් කරවාගැනීම සඳහා වේ. ඔබගේ පරීක්ෂාව සඳහා වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය එයින් සම්පූර්ණ වන අතර ඔබ වෙන් කරවාගත් දිනය සහ වේලාව ඔබ සටහන් කර තබා ගෙන පැමිණීම සුදුසු වේ.
ඔබට එච්.අයි.වී.ආසාදනය වීමේ අවදානම් මට්ටම තක්සේරු කිරීමට සහ HIV පරීක්ෂාව, ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ සහ වෙනත් සායනික සේවාවන් සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට KNOW4SURE.lk භාවිත කළ හැක. දිවයින පුරා පිහිටා ඇති ලිංගාශ්‍රිත රෝග සායන 40කට වැඩි ප්‍රමාණයකින් ඔබට ඔබේ මනාපය මත ආසන්නයේ ඇති සායනය තෝරාගත හැකියි. එච්.අයි.වී. ස්වයං-පරීක්ෂණ කට්ටල සහ කොන්ඩම් වැනි සෞඛ්‍ය නිෂ්පාදන ඔබේ දොරකඩටම නොමිලේ ලබා දීම සඳහා මෑතකදී නිවෙසටම බෙදා හැරීමේ සේවාවක් (NSACP HOME DELIVERY SERVICE) ආරම්භ කර තිබේ. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කණ්ඩායම සැමවිටම පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සහතික කිරීමට කැපවී සිටී. වැඩි විස්තර සඳහා ඔබට සේවා සපයන්නෙකු සමඟ කතාබස් කිරීමට (CHAT) හෝ අපගේ CALL ME BACK සේවාව හරහා දුරකතන ඇමතුමක් සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත හැකියි. ඔබට සෞඛ්‍ය සම්පන්න සහ දීර්ඝ ජීවිතයක් ගත සඳහා සේවය කිරීමට ඔවුන් කැපවී සිටියි.