නිතර නිතර අත් හෝදන්න හිතෙනවා

දෙසැම්බර් 23, 2024

නිතර නිතර අත් හෝදන්න ගියොත් නම් අත් දෙක හේදීලාම යයි. හැබැයි ඉතින් මේක මානසික ලෙඩක්. මේකට OCD (obsessive-compulsive disorder) කියලත් කියනවා ග්‍රස්ථිය කියලත් කියනවා.

මෙම රෝගය නව යොවුන් වියේදී මතු වුවත් කලාතුරකින් දරුවන් අතර ද දකින්න පුළුවන්. මේ රෝගයට ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. කලාතුරකින් වැඩි වයසේ ඉන්න අයටත් හැදෙන්න ඉඩ තියෙනවා. මේක විෂාදයට අයත් එක් රෝග ලක්ෂණයක් කියලත් කියන්න පුළුවන්. OCD රෝග ලක්ෂණ ගැන කතා කළොත් නැවත නැවත සිතට වධ දෙන විවිධ සිතුවිලි ගලා ඒම සහ එම සිතුවිලි සිතට ගලා ඒම වැළැක්වීමට රෝගියා උත්සාහ දැරීම ප්‍රධානයි.

එවිට එම තත්ත්වය මඟහැර ගැනීමට අපහසු වන අතර නැවත නැවත විවිධ රූප මැවී පෙනීමට පටන් ගනියි. හොඳම උදාහරණය වන්නේ විසබීජ නිසා හානියක් වේ යැයි නිතර නිතර සිතුවිලි ඇතිවීමයි.

මේ නිසා අධික ලෙස පිරිසුදුව සිටීමට රෝගීන් උත්සාහ කරයි. නිතර නිතර දෑත් සෝදයි. අවශ්‍ය පමණට වඩා සේදුම්කාරක පාවිච්චි කරයි. බොහෝ වේලාවක් ස්නානය කරයි. පොදු වැසිකිළි භාවිතයට සහ පොදුවේ පරිහරණය කරන දේවල් භාවිතයට බිය වෙයි.

ඖෂධීය ප්‍රතිකාර සහ මනෝ චිකිත්සක ප්‍රතිකාරවලින් මෙම තත්ත්වය පාලනය කළ හැකියි. හැබැයි මේ ප්‍රතිකාර එකම වෛද්‍යවරයකු යටතේ ලබා ගැනීම තුළින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

 

 

උපදෙස්

විශේෂඥ

මනෝ වෛද්‍ය රූමි රූබන්

කරාපිටිය ශික්ෂණ රෝහල