වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
සිත් පිත් නැති නිහඬ මාරයා

නිහඬ මාරයකු ලෙසින් පිළිකා මාරයා මිනිස් ජීවිතය බිල්ලට ගන්නේ සිත් පිත් නොමැති පරිද්දෙනි. වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවත් පිළිකා මාරයාට එරෙහිව නැඟී සිටින්නට ඒ කිසිම බලවේගයකට තවමත් නොහැකි වී තිබේ.
ශ්‍රී ලංකාවේද පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. වසරකට පිළිකා රෝගීන් ගොන්නට ඇතුළු වන අලුත් රෝගීන් ප්‍රමාණය දහස් ගණනකි. මුඛ පිළිකා සහ පියයුරු පිළිකා පිළිවෙළින් පිරිමි සහ ගැහැනු අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වේ. වසර ගණනාවක් පුරා පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින අතර පසුගිය වසර 20 තුළ එම සංඛ්‍යාව තුන් ගුණයකට ආසන්න වී ඇත.
විවිධ රසායනික ද්‍රව්‍ය, භෞතික හෝ ජීව විද්‍යාත්මක සාධකවලට (පිළිකාකාරක) නිරාවරණය වීම හා වයස්ගතවීම නිසා සෛලවල සිදුවෙන ජාන විකෘති හේතුවෙන් ශරීරය තුළ පිළිකා සෛල ඇතිවේ. පිළිකා කාරකයකට නිරාවරණය වූ පමණින් අනිවාර්යයෙන් පිළිකාවක් වැලඳෙන බව මින් අදහස් නොවේ. පිළිකාකාරක භාවිතය නැවැත්වීමෙන් ඒවාට නිරාවරණය වීමද වළක්වා ගත හැකිවේ.
දුම්කොළ
දුම් පානය අක්‍රිය දුම් පානය දුම්රහිත දුම් කොළ භාවිතය දුම් කොළ හැපයීම පිළිකා අවදානම ඇති කරයි. මෙය ශරීරයේ බොහොමයක් ස්ථානවල පිළිකා ඇති කරවීමට සමත් වේ. ඕනෑම ආකාරයක දුම්කොළ පරිභෝජනයෙන් ඈත් විය යුතුයි.
පිළිකා ඇතිවිය හැකි ස්ථාන
* නාස් කුහරය
* මුඛය
* ග්‍රසනිකාව
* ස්වරාලය
* ගලනාළය
* පියයුරු
* පෙණහලු
* අක්මාව
* පිත්ත ප්‍රණාලය
* අග්න්‍යාශය
* ආමාශය
* වකුගඩු
* ඩිම්බකෝෂය
* මහාන්ත්‍රය
* ගුද මාර්ගය
* මුත්‍රාශය
* ගැබ් ගෙල
පුවක්, බුලත් විට, පුවක් අඩංගු දෑ හපන පුරුද්දෙන් වළකින්න. වෙෙළඳපොළේ ඇති විවිධ වර්ගයේ පුවක් පැකට් පිළිබඳ දැනුම්වත් වී ඒවා භාවිතයෙන් වළකින්න. වෙෙළඳපොළේ ඇති පුවක් පැකට් භාවිතයෙන් ඇතිවිය හැකි උවදුරු පිළිබඳව දරුවන් දැනුම්වත් කරන්න.
පුවක් අඩංගු නිෂ්පාදන
* බුලත් විට
* පුවක් පැකට් උදාහරණයක් ලෙස (මාවා, බාබුල්)
පුවක් භාවිතය නිසා මුඛය සහ ගලනාළයේ පිළිකා ඇතිවීමට පුළුවනි.
මත් වතුර
සියලුම වර්ගවල මත්වතුර පානය කිරීමෙන් වළකින්න.
මත් වතුර පානය නිසා මුඛය, ග්‍රසනිකාව, ස්වරාලය, පියයුරු, ගලනාළය, අක්මාව, මහාන්ත්‍රය, ගුද මාර්ගය යන ස්ථානවල පිළිකා ඇතිවීමට පුළුවනි.
සැකසූ මස් නිතර ආහාරයට ගැනීම
* හොට් ඩෝග්
* සලාම්
* හැම්
* සොසේජස්
* සැකසූ බේකන්
* ලුණු දැමූ සහ සැකසූ හරක් මස්
* දුම් ගසන ලද මස්
* වියළන ලද මස්
* විජලනය කරන ලද හරක් මස්
විවිධ වර්ගයේ සැකසූ මස් නිතර භාවිත කිරීම අවම කර ඒ වෙනුවට නැවුම් මස් ආදේශ කරන්න.
මේ නිසා මහාන්ත්‍රය, ගුද මාර්ගය, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකා ඇතිවේ.
ඇෆ්ලටොක්සින්
ආහාරවල ඇතිවන ඇතැම් පුස් වර්ග මඟින් නිපදවන විෂ සංයෝගයකි.
මේ නිසා අක්මාවේ පිළිකා ඇතිවේ.
පුස්, තෙත් හෝ දුර්වර්ණ වී ඇති ආහාර, ඇට වර්ග ඉවතලන්න. වියළි සහ සිසිල් තත්ත්වයන් තුළ ආහාර නිසි ලෙස ගබඩා කරන්න. වෙළෙඳපොළේ ඇති නුසුදුසු නිෂ්පාදන හඳුනා ගැනීම සඳහා ආහාර පරීක්ෂා කරන්න. ආහාර නිෂ්පාදනය සඳහා ආරක්ෂිත ක්‍රම භාවිත කරන්න.
මානව පැපිලෝමා වයිරසය(HPV)
මානව පැපිලෝමා වයිරසය යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන වයිරසයකි. සාමාන්‍යයෙන් බහුලව පිළිකා ඇති කරන වයිරස වර්ග වන්නේ මෙහි 16 සහ 18 වර්ග වේ.
මෙම වයිරසය ශරීරගත වුවහොත් මුඛය, මුඛ ග්‍රසනිකාව, සෙම් ගෙඩි, යෝනිය, ගැබ් ගෙල, ශිෂ්ණය, ගුදය යන ප්‍රදේශවල පිළිකා ඇතිවීමට පුළුවනි.
වයස අවුරුදු 10 - 11 ගැහැනු ළමයින් සඳහා HPV එන්නත ලබාදෙන්න. වයස අවුරුදු 35දී සහ 45දී කාන්තාවන් පැප් පරීක්ෂණය හෝ HPV DNA පරීක්ෂණය සඳහා යොමු වන්න. වගකීම්සහගත ලිංගික හැසිරීම් පවත්වාගන්න. ලිංගිකව හැසිරීම විශ්වාසදායී එක් සහකරුවකු සමඟ පමණක් සිදුකරන්න. කොන්ඩම් භාවිතය වැදගත් වේ.
මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය (Type 1 HIV)
ලිංගික සම්බන්ධතා, රුධිර පාරවිලයනය සහ දරු ප්‍රසූතියේදී (මවගෙන් දරුවාට) HIV සම්ප්‍රේෂණය විය හැකියි.
ඇස, ගුදය, ගැබ් ගෙල ආශ්‍රිතව මෙහිදී පිළිකා ඇති වෙයි.
වගකීම්සහගත ලිංගික හැසිරීම් පවත්වා ගන්න. ලිංගිකව හැසිරීම විශ්වාසදායී එක් සහකරුවකු සමඟ පමණක් සිදු කරන්න. කොන්ඩම් භාවිතය අතිශය වැදගත් වෙයි.
විශේෂ ස්තුතිය :
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ
විශේෂඥ වෛද්‍ය
ඊශානී ප්‍රනාන්දුට