මේදය අඩු කරන හරිම විදිහ

අප්‍රේල් 21, 2025

බර අඩු කර ගන්න උත්සාහ කරන ඔබට තියෙන ලොකුම ගැටලුවක් තමයි උදරයේ මේදය ඉවත් කර ගැනීම. එහෙමත් නැත්නම් බඩ අඩු කර ගැනීම. අධික ලෙස උදරයේ මේදය තැන්පත් වී තිබීම නිසා හෘද රෝග, දෙවැනි වර්ගයේ දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම වැඩි කරන බව බොහෝ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. අද අපි ඔබට කියන්නේ දින 30 ක් ඇතුළත එනම් මාසයක් ඇතුළත ඔබේ උදරයේ මේදය අඩු කරගන්න ඔබ අනුගමනය කළ යුතු පුරුදු කිහිපයක් ගැනයි.

 

ඔබ ගන්නා ආහාරවල කැලරි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වන්න

 

බොහෝ දෙනා මොනතරම් ආහාර පාලන ක්‍රම අනුගමනය කළත්, පරිභෝජනය කරන ආහාර වල අඩංගු කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්නේ බොහොම අඩුවෙන්. ඔබ ගන්නා ආහාරවල කැලරි ප්‍රමාණය අඩු නම් ඔබේ බර අඩු කර ගැනීමට එය ඔබට ඉතාම පහසුවක්. එමනිසා සතියක් තුළ ඔබ ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය සටහන් කරගෙන ඊළඟ සතියේ එයට වඩා අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාර පරිභෝජනය කිරීමෙන් ද, එම කැලරි ප්‍රමාණයන් ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමෙන් ද ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්.

 

සීනි සහිත ආහාර සීමා කරන්න

 

සීනි සහිත ආහාර ගැනීම ඔබේ උදරයේ මේදය තැන්පත් කිරීම සඳහා විශාල බලපෑමක් සිදු කරනවා. රස කැවිලි වර්ග, බිස්කට්, සීනි සහිත තේ, රසකාරක සහිත ආහාර , චොකලට් වර්ග ආදිය නිතර ආහාරයට ගැනීම සීමා කරනවා නම් ඔබ දිනකට පරිභෝජනය කරන සීනි ප්‍රමාණයෙන් භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් අඩුකර ගත හැකියි. විශේෂයෙන්ම සීනි සහිත තේ වෙනුවට ග්‍රීන් ටී පානය කළ හැකි නම් එය වඩාත් ප්‍රතිඵල සහගත වේ.

 

තන්තු සහිත ආහාර පරිභෝජනය වැඩි කරන්න

 

තන්තුවලින් පොහොසත් ආහාර පරිභෝජනය වැඩි කිරීම ඔබේ බර අඩු කර ගැනීමට ඔබට බොහෝ උපකාරී වනු ඇත. තන්තු සහිත ආහාර ගැනීමේදී ඔබට ඉක්මනින් තෘප්තිමත් හැඟීමක් ද ඇති කරන අතර ආහාර ජීර්ණය ද පහසු කරයි . ඒ වගේම මල බද්ධය වැනි තත්ත්වයන් ඇතිවීම ද වළක්වයි. කැරට්, වට්ටක්කා, බණ්ඩක්කා, කරවිල, ගෝවා, තක්කාලි, රාබු කොළ, පාස්ලි වැනි තන්තු බහුල එළවළු වර්ගත් ඇපල්, කෙසෙල්, දෙළුම්, මිදි, කොමඩු, ස්ට්‍රෝබෙරි සහ පෙයාර්ස් වැනි පලතුරු වර්ගත් ආහාර වේලට එකතු කර ගන්න.

 

වැඩිපුර ප්‍රෝටීන් පරිභෝජනය කරන්න

 

පරීක්ෂකයන් සොයාගෙන ඇති ආකාරයට ප්‍රෝටීන් බහුල ආහාර වේලක් මඟින් බර අඩුවීම, පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීම, ඉක්මනින් තෘප්තිමත් වීම, කුසගින්න දැනීම අවම වීම, උදරය වටා මේදය එක්රැස්වීම අවම වීම සිදුවෙනවා. එම නිසා සෑම ආහාර වේලකටම එක් ප්‍රෝටීන් ප්‍රභවයක්වත් එකතු කර ගන්න.

 

සජලීයව සිටින්න

 

සෞඛ්‍යසම්පන්න බරක් පවත්වාගෙන යාම සඳහා සජලීයව සිටීම අනිවාර්ය ‍ෙවනවා. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වෘත්තීය ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර දිනකට ජලය ලීටර තුනක් හෝ හතරක් පානය කිරීමට පෝෂණවේදීන් නිර්දේශ කරනවා . ජලය පානය කිරීමට අමතරව පලතුරු යුෂ සහ සුප් වර්ග සහ තැඹිලි ද ඔබට පානය කරන්න පුළුවන්.

 

ග්‍රීන් ටී පානය කරන්න

 

ග්‍රීන් ටී යනු බර අඩු කර ගැනීමට ඔබට භාවිත කළ හැකි ස්වාභාවික තේ පානයකි. ජපන් විද්‍යාඥයන් සොයාගෙන ඇති ආකාරයට සති 12ක් ග්‍රීන් ටී පානය කිරීම මඟින් ඉණ වටා ප්‍රමාණය, ශරීර බර සහ රුධිර පීඩනය අඩු කරගත හැකි බවයි. තවත් පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ ග්‍රීන් ටී පානය මේද බිඳ වැටීම වර්ධනය කරන බවයි. එම නිසා දිනකට ග්‍රීන් ටී දෙවරක් හෝ තුන්වරක් පානය කළ හැකිනම් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

 

සෞඛ්‍යසම්පන්න කෙටි ආහාර පරිභෝජනය කරන්න

 

බර අඩු කරගැනීමට මෙන්ම උදරයේ මේදය ඉවත් කර ගැනීමට උනන්දු වන ඔබ ක්ෂණික ආහාර සහ කෙටි ආහාර වර්ගවලින් වැළකිය යුතුයි . මේවා වෙනුවට ඔබට පරිභෝජනය කළ හැකි සෞඛ්‍යසම්පන්න කෙටි ආහාර වර්ග තිබෙනවා. පිපිඤ්ඤා, කොමඩු ,කෙසෙල් , ඇපල් සහ කැරට් වැනි දේවල් මෙසේ ඔබට ඇතිවන සුළු කුසගින්නකදී ආහාරයට ගන්න පුළුවන්.

 

සුව නින්දක් ලබාගන්න

 

බාධාකාරී නින්ද තරබාරුකමට හේතු වන අතර එය කුසගින්න වැඩි වීමට ද හේතුවක් ‍ෙවනවා. එම නිසා සෑම රාත්‍රියකම අවම වශයෙන් පැය 7ක නින්දක්වත් ඔබ අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. සුව නින්දක් ලබා ගැනීම මඟින් ඔබට ඇතිවිය හැකි මානසික ආතති තත්ත්වයන් ද මඟ හැරෙන අතර එයද ඔබේ ශරීරයේ බර නිසි ලෙස පවත්වාගෙනයාමට උපකාරී ‍ෙවනවා. ඔබේ බර අඩුවීම බොහෝවිට ඔබේ ආහාර සැළැස්ම, දැනට පවතින ඔබේ බර, ඔබේ උස සහ ඔබේ සෞඛ්‍ය තත්වය මත රඳා පවතිනවා. කෙසේ වෙතත් සාමාන්‍ය සෞඛ්‍යයකින් යුතු අයෙකුට ඉහත ක්‍රම අනුගමනය කිරීම මගින් මාසයක් වැනි කෙටි කාලයකදී උදරයේ මේදය අඩු කරගත හැකිය.

 

 

උපදෙස් -

ශරීර යෝග්‍යතා උපදේශිකා

මෙත්මා බිසේකා නානායක්කාර

 

 

[email protected]