වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
බතික් රෙද්දෙන් කළ බෑග් විලාසිතාවක්
අද වන විට බතික් රෙද්දට අලුත් වටිනාකමක් ලැබිලා. බතික් රෙද්දෙන් මසන ලද ඇඳුමකින් හැඩවෙලා ඒ රෙද්දෙන්ම මැසූ බෑග් විලාසිතාවකුත් රැගෙන යන්නට හැකිනම් හැමකෙනකුගේම නෙතු ඔබ දෙසට එල්ල වන්නේ ඉබේටමයි.
ඒ සුන්දරත්වය ගැන හැමෝම කතාකරාවි. ඉතිං ඔබ මැහුමට ගෙතුමට දක්ෂ යුවතියක් නම් ඔබේ අතින්ම මහපු ගවුම් විලාසිතාවක් ඇඳගෙන ඒ රෙද්දෙන්ම බෑග් නිර්මාණයකුත් මසාගත හැකි නම් එහි වටිනාකමත් ඉහළයි.
අවශ්‍ය ද්‍රව්‍ය
බතික් රෙදි මීටර් 1/2ක්
ලයිනිං මීටර් 1/2ක්
ෂීට් මීටර් 1/2ක්
ෂිපර් අඟල් 18ක්
ෂිපර් හෙඩ් 1ක්
වෙළෙඳපොළෙන් ලබාගත් හැඬලයක්
නිර්මාණය කිරීම
පළමුව A රූපයේ පෙනෙන ආකාරයට කාඩ්බෝඩ් එකක පතරොම සාදාගන්න. දැන් එම පතරොම තබා රෙදි ෂීට් හා ලයිනිං කපාගන්න. රෙදි කොටස් 2ක් ෂීට් කොටස් 2ක් සහ ලයිනිං කොටස් 2ක් ඒ අනුව කපාගත යුතුය.
ඉන්පසු පළමුව ෂීට් කොටස් දෙකට රෙදි කොටස් දෙක තබා වටේ මසා ගන්න. දැන් ලයිනිං කොටස් දෙකේ උඩ පැත්තට ෂිපර් එක හා ෂිපර් පටිය තබා මසා ගන්න. (C) ලූප් කොටස් හතරම අඟලක් පමණ පහතට නමා මසා ගන්න. එම ලූප් හතර හැඬලයට තබා මසා ගන්න.
එම හැඬලය බෑගයේ (A) ඉදිරිපස හා පිටුපස කොටස් දෙකේ උඩ පැත්තට තබා මසාගතයුතුයි.
පළමුවෙන් A කොටසේ හරි මැද ලකුණු කර ගන්න. එහි මැද සිට වමට හා දකුණට අඟල් තුනක් වන්නට ලකුණු කර එයට හැඬලය තබා මසාගන්න. ඉන්පසුව එම හැඬලය මසාගත් කොටස උඩින් ෂිපර් පටිය තබා මසාගන්න. අවසාන වශයෙන් හොඳ පිට හොඳ පිටට තබා ලයිනිං කොටසේ සිට බෑග් කොටස දක්වා මසාගන්න. බෑගයේ අඩිය එක උඩ එක තබා මසා ගෙන බෑගය හොඳ පිට හරවා කට වටේට අවුට් ලයින් මසා අවසන් කරගන්න.
***************************
පොට් හෝල්ඩර්
ආහාර පිසින බඳුන්, සෝස් පෑන් වැනි උණුසුම් බඳුන් ළිප මතින් පිටතට ගැනීම සඳහා මෙය භාවිත කරනු ලබයි.
මෙවැනි පොට් හෝල්ඩර් මැසීම සඳහා යම් දෙයක් මසා ඉතිරිවූ රෙදි ප්රමාණවත්ය.
නැතිනම් ටේබල් මැට් එකක් ලෙසද භාවිත කළ හැකිය. මේ සඳහා අවශ්‍ය වන්නේ ඉතිරි වූ රෙදි කොටස් කීපයක් සහ මැසීම සඳහා නූල්ය. එසේම මෙම පොට්හෝල්ඩර් ඔබට කැමැති හැඩයකට කපාගත හැකිය. ඔබට මෙය හදවත් හැඩයකට කපාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා හතරැස් රෙදි කොටසක් ගෙන දෙකට නමා රූප සටහනේ දැක්වෙන ආකාරයට ඇඳ කපාගන්න.
ඒ ආකාරයට කොටස් දෙකක් කපාගන්න. ඉන්පසු එහි උඩට ඇල්ලීමට වෙනත් පාටකින් තවත් රෙදි කොටස් දෙකක් කපාගන්න. මේ ආකාරයට කොටස් දෙකක් තුනක් පමණ ඝණකමට මසාගන්න.
මැදට ඉතිරිවූ රෙදි කොටස් කීපයක් තබා දෙපසට හදවත් හැඩ දෙක තබා මසා ගන්න.
එහි උඩට ඡායාරූපයේ දැක්වෙන ආකාරයට කොටස් දෙකක් තබා මසා වටේට පයිපිං ෂීට් තබා මසාගන්න. පහත රූප සටහන්වල දී ඇති ආකාරයට ඔබට කැමැති හැඩවලින් හදවත් හැඩ කපා මසාගන්න.
උපදෙස් -
ප්‍රවීණ බෑග් නිර්මාණ ශිල්පිනී
දීපිකා රාජපක්ෂ
රූ රටා - විදුමිණි
***********************************
ඩයිකට්වලින් හැඩවූ හෙයා ක්ලිප්
වෙළෙඳපොලෙන් ගත්ත හෙයාක්ලිප් එක පුංචි දෝණිගෙ හිසේ ඒ විදිහටම ගහන්නෙ නැතිව පුංචි මලක් රඳවන්න පුළුවන්නම් දෝණිට ලොකු සතුටක් දැනෙයි.
බලන්න මේ ලස්සන හෙයාක්ලිප් විවිධ වර්ණ මල්වලින් හැඩවෙලා. ඉතිං දෝණි ලස්සන ගවුමක් ඇඳලා මේ වගේ ගවුමටම ගැළපෙන්න හෙයා ක්ලිප් එකකුත් ගහලා යනකොට ඒ ආඩම්බරයත් අම්මට නේද? බලන්නකො ඔයාගෙ දෝණිටත් මේ වගේ හෙයා කිල්ප් ටිකක් හදලා දෙන්න පුළුවන් නේද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
ෆෝම්ෂීට්
වෙළෙඳපොලෙන් ගත් හෙයා ක්ලිප්
වෙළෙඳපොලෙන් ගත් ඩයිකට්ස් මල්
කුඩා පබළු, ස්වීකින්ස්
ෆැබ්රික් ග්ලූ
නිර්මාණය කිරීම
පළමුව ඔබට අවශ්‍ය ලෙස ඩයිකට් කීපයක් ෆෝම්ෂීට් මඟින් කපා ගන්න. නැතිනම් මෙවැනි ඩයිකට් වෙළෙඳපොලෙන්ද ඔබට ලබාගත හැකියි. දැන් එසේ කපාගත් ඩයිකට් ෆැබ්රික් ග්ලූ (රෙදි අලවන ගම්) ආධාරයෙන් හෙයා ක්ලිප් එක මත තබා අලවා ගන්න. එය තවත් අලංකාර කිරීම සඳහා මල උඩට කුඩා පබළු, ස්වීකින්ස් අලවා ගත හැකිය. ඔබේ නිර්මාණශීලීත්වය මත මෙය ඉතා අපුරු ලෙස නිර්මාණය කර ගැනීමට ඔබට හැකිවේවි.
උපදෙස් - මහරගම ප්‍රා. ලේකම් කාර්යාලය බාහිර අත්කම් නිර්මාණ උපදේශිකා,
ප්‍රවීණ ශිල්පිනී චුලනී ජයසිංහ