ලංකා පොලිස් ඉතිහාසයේ වාර්තා තැබූ නියෝජ්‍ය පොලිස්පතිනියෝ

කවරයේ කතාව
ඔක්තෝබර් 20, 2021

 

ඉටිපන්දම් එළියෙන් පාඩම් කරලා ලැබූ ජයග්‍රහණය මතක් කරද්දිත් සතුටුයි

පොලිස් සුබසාධන දිසාව භාර

නියෝජ්‍ය පොලිස්පතිනිය

* උපන් ගම - රත්නපුර, කොලොන්න

* පාසල් - කොලොන්න මහා විද්‍යාලය, රත්නපුර සුමන බාලිකා විද්‍යාලය

* සේවයට බැඳුණේ - 1997.02.15 ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂක

- 2003 වසරේ කාන්තා පොලිස් පරීක්ෂක

- 2008 වසරේ කාන්තා සහකාර පොලිස් අධිකාරි

- 2016 අල්ලස් හා දූෂණ සහකාර අධ්‍යක්ෂ විමර්ශන පොලිස් අධිකාරි

- 2019 කාන්තා අධ්‍යක්ෂ විමර්ශන

- 2021 කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය

සැමියා - S. A. G. I. කුමාර

ගැමුණු හේවා රෙජිමේන්තුව පනාගොඩ යුදහමුදා ජනපදයේ යුද හමුදා සංගීත හා රංග කලා පාසලේ මාණ්ඩලික

දරුවන් - විහදු විරුජක, දුලිත මෙත්සර

 

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කියන අති දුෂ්කර ගම්මානයක ඉපදුණු ඈ ජයන්තා පද්මිණි වීරසූරිය. ගොවි පවුලක නව වැන්නිය එහෙමත් නැතිනම් බඩපිස්සිය ලෙසින් උපන් ඈ මූලික අධ්‍යාපනය ලබන්නේ කොලොන්න මහා විද්‍යාලයෙනි. අනතුරුව රත්නපුර සුමන බාලිකා පාසලට ඇතුළත්ව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්නීය. නෙට්බෝල්, වොලිබෝල් මෙන්ම ක්‍රීඩා ඉසවු බොහොමයක කැපීපෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක වූ පද්මිණිගේ පොලිස් සේවයට එකතුවීමත් හරි අපූරුවකි.

 

"ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරපු මට විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න තරම් ලකුණු ප්‍රමාණවත් වුණේ නෑ. ඉතින් විවිධාකාරයේ තරග විභාග ආදියට ඉදිරිපත් වෙමින් කාලය ගත වෙද්දී දවසක් මම අපේ ගෙදර විදුලි බිල ගෙවන්න තැපැල් කාර්යාලයට ආවා. ඒ කාලේ අපි පුරුද්දක් විදිහට ගැසට් එක බලනවා. එදා ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුරට වැඩි පිරිසක් බඳවාගන්නවා කියලා ගැසට් එකේ තිබුණා. එතැනම ඉස්සරහා කඩෙන් හාෆ්ෂීට් දෙකක් මිලදී ගත්තු මම මතකයෙන් තොරතුරු පුරවලා අයදුම්පතක් හදලා තැපෑලට දමලයි ගෙදර ගියේ.

ඊට පස්සෙ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා 1997 වසරේ පෙබරවාරි 15 වැනිදා ආධුනික උප පොලිස් පරීක්ෂකවරියක විදිහට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වුණා. අපේ කණ්ඩායමට කාන්තාවන් 125කට වැඩි පිරිසක් සිටියා. මොකද ලංකාවේ පළමුවරට තමයි කාන්තාවන් වැඩි පිරිසක් පොලිස් සේවයට බඳවා ගත්තේ.

 

ඔබ පොලිස් සේවයට එකතු වෙනවාට තාත්තා පුංචි විරෝධයක් පෑවාලු නේද?

"මෙහෙමයි... මම පොලිස් සේවයට එකතු වෙද්දිත් කොලොන්න මහා විද්‍යාලයේ ස්වෙච්ඡා ගුරුවරියක් විදිහට විද්‍යාව විෂයය ඉගැන්නුවා. මම පුහුණුවෙන් පස්සෙ වව්නියාවේ වැඩ කරගෙන යද්දි ගුරුවරියක් විදිහට පත්වීමත් ලැබුණා. ඉතින් තාත්තාගේ ආසාව වුණේ මම ගුරුවරියක් වෙන එක. අනික ඒ දවස්වල යුද්ධයත් දරුණුවටම තිබුණු නිසා තාත්තාගේ බයත් සාධාරණයිනේ."

 

වව්නියාවේ ඉඳන් ඔබ එන්නෙ පොලිස් මූලස්ථානයට.

"ඔව්. පොලිස් මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරියක් විදිහට මම එතැනට සම්බන්ධ වුණා. ඇත්තටම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ එතැන. ආධුනිකයකු වුණු මම හොඳ මඟ පෙන්වීමක් එතැනින් ලැබුණා. විශේෂයෙන්ම මගේ ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු නායකත්වය, මඟ පෙන්වීම තමයි මේ තරම් දුරක් එන්න ලැබුණේ."

ඊට පස්සෙ ඔබට විදේශගත වෙන්නත් අවස්ථාව හිමි වුණා.

"2003 වසරේ දී මම පොලිස් පරීක්ෂක තනතුරට උසස් වුණා. ඔය අතරතුරේ එක්සත් රාජධානියේ සාම සාධක රාජකාරිය සඳහා නැගෙනහිර තිමෝරයට යන්න මට අවස්ථාව හිමිවුණා. මා ඇතුළු කාන්තා පොලිස් පරීක්ෂකවරියන් 63ක් ඒ ගමනට සහභාගි වුණා.

එහි රාජකාරි කරනවිට සහකාර පොලිස් අධිකාරිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය පැවතුණා. අපි යාළුවෝ 12ක් මේ විභාගයට ලංකාවට ආවත් දෙන්නයි පාස් වුණේ. එයින් එක්කෙනෙක් මම. තිමෝරයේ ඉතාමත් දුෂ්කර රාජකාරියක යෙදෙමින් ඉටිපන්දම් එළියෙන් පාඩම් කරලා ලබපු ඒ ජයග්‍රහණය ඇත්තටම මතක් කරද්දිත් මට සතුටුයි.

ඊට පස්සෙ සහකාර පොලිස් අධිකාරි විදිහට පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාශයේ වැඩ කරද්දි නැවතත් මට සාම සාධක රාජකාරිවලට යන්න ලැබුණා. ඒ හයිටි රාජ්‍යයට. මේ විදිහට විදේශගතව රාජකාරි කරනවිට අපිට තවත් රටවල් සියයකට වැඩි ප්‍රමාණයක පොලිස් නිලධාරින් සමඟ කටයුතු කරන්න ලැබුණා. ඒ හුවමාරු කරගත් දැනුම සහ අත්දැකීම් හරිම වටිනවා."

මේ විදෙස්ගත රාජකාරියට ගියේ ඔබේ විවාහය පවා පමා කරලා.

"මම තිමොරයට ගියේ 2006 වසරේ දෙසැම්බර් මාසයේ. ඒ වෙනකොට 2007 වසරේ ජනවාරි මාසයේ විවාහය සිදු කරන්න හැමදේම ලැහැස්තියි. ඒත් මගේ රාජකාරිය ඊට වඩා වටින නිසා විවාහය පොඩ්ඩක් පමා කරගන්නට අමාරුවෙන් කට්ටිය කැමැති කරවා ගත්තා."

ඔබේ සැමියා යුද හමුදා නිලධාරියෙක්. ඔබ පොලිස් සේවයේ. කොහොමද පවුලේ කටයුතු සමබර කරගන්නෙ.

"මවක් බිරියක් විදිහට යුතුකම්, වගකීම් ඉටු කරමින් රාජකාරියත් හරියට කරන එක අභියෝගයක් තමයි. ඒත් ඒ අභියෝගය අපි දෙන්නම එකතු වෙලා ජයගන්නවා. දරුවනුත් පුංචි කාලේ ඉඳන්ම ඊට පුරුදු වුණා. ඇතැම් කාලවල අපි දෙන්නා දෙපැත්තක. දරුවන්ගෙ කටයුතු, රාජකාරි මේ හැමදේම සමබරව කරගෙන යන්න වුණා. ඒවාගේ අපහසු අවස්ථවාලදි මගේ සහෝදර, සහෝදරියන්ගෙන් ලැබුණු සහයෝගය කියා නිම කරන්න බෑ. කාන්තාවක් කියන්නෙම ඉතිං අභියෝගවලට මුහුණදෙන චරිතයක්නෙ. ඒ නිසා මේ හැමදේටම මුහුණ දෙන්න අපිට අමාරු නෑ.

ඒ වාගේම මගේ සැමියාගෙනුත් උපරිම සහයෝගය ලැබෙනවා මේ හැමදේම කළමනාකරණය කරගන්න. මගේ විභාග කටයුතුවලදි පවා එයා අවශ්‍ය පොත්පත් හොයලා දීලා මාව උනන්දු කරනවා. ඉතින් ඒ සහයෝගය තමයි මාව මෙතරම් දුරක් රැගෙන ආවේ."

 

**************************************************

 

කාන්තාවක් වීම අඩු තක්සේරුවක් කියල කවදාවත් හිතන්න එපා

 ළමා හා කාන්තා අපයෝජන විමර්ශන

දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනිය

*උපන් ගම - කැගල්ල, දැදිගම

* පාසල් - මැණික් කඩවර කනිෂ්ට විද්‍යාලය, දැදිගම පැරකුම්බා මහා විද්‍යාලය, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය

සේවයට බැඳුණේ - 1997.02.15 ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂක

* 2006 වසරේ කාන්තා පොලිස් පරීක්ෂක

* 2008 වසරේ කාන්තා සහකාර පොලිස් අධිකාරි

* 2914 වසරේ කාන්තා පොලිස් අධිකාරි

* 2018 වසරේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

* 2021 කාන්තා නියෝජ්‍ය පොලිස්පත්නිය

සැමියා - නාලක ගුණසේකර ප්‍රධාන පොලිස් පරීක්ෂක (අපරාධ)

දරුවන් - රුවන්දි නිලක්නා, නෙවින්දි රුමෙත්යා

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම, මැණික්කඩවර ගමේ ඉපදුණු රේණුකා ජයසුන්දර සිය මූලික අධ්‍යාපනය ආරම්භ කරන්නේ මැණික්කඩවර කනිටු විද්‍යාලයෙනි. නි. අනතුරුව දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඇය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වී තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වන්නීය. ජීවිතයේ විවිධාකාර හැලහැප්පීම් මත නොවැටී නැඟී සිටින්නට පාසලෙන් ලැබුණු පන්නරය ගැන ඕ කතා කරන්නේ මහත් අභිමානයෙනි.

"තෝලංගමුව පාසලේ හොඳම නිර්මාණයක් තමයි මම. ජීවිතයේ වැටෙන සෑම අවස්ථාවකම නැඟී සිටින්නට මට ආත්ම විශ්වාසයක් ඇති කළා. ඇත්තම කිව්වොත් මම කියන චරිතය ගොඩනඟා ගත්තෙ මා විසින්මයි. පාසල වාගේම මේ රැකියාවත් ඊට ලොකු පිටිවහලක් සැපයුවා.

මම උසස් පෙළ හැදෑරුවේ කෘෂි විද්‍යා අංශයෙන්. විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්න ලකුණු ප්‍රමාණවත් වුණේ නෑ. ඉතින් රැකියාවක අවශ්‍යතාවය දැඩිව දැනෙන මේ කාලයේ මට දැනගන්නට ලැබුණා ලංකාවේ ප්‍රථම වතාවට කාන්තාවන් වැඩි පිරිසක් උප පොලිස් පරීක්ෂක තනතුරට තෝරා ගන්නවා කියලා.

පාසල් මට්ටමින් ක්‍රීඩා කරලා තිබුණත් විශේෂ ජයග්‍රහණ තිබුණේ නැති නිසා බයකුත් තිබුණා. හැබැයි මම ඉතින් අභියෝගවලට මුහුණ දෙන්න කැමැති කෙනා නිසා අයදුම්පතක් දැම්මා. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණු දවසේ මට පුදුම සතුටක්. ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් එදා ඇති වුණා."

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී ඔබ කැපී පෙනෙන දස්කම් දැක්වූවා කියලත් ආරංචියි.

"මම කිව්වනේ මම හැමදේම උපරිම හොඳට කරන්න උත්සාහ දරන කෙනෙක් කියලා. ඉතින් පුහුණු කාලසීමාවේදීත් හැමදේම හරියටම කරන්නයි උත්සාහ කළේ. ඒ නිසා පුහුණුව අවසානයේ සෑම අතින්ම දක්ෂ ආධුනික උප පොලිස් පරීක්ෂකවරිය විදිහට විතරක් නෙමේ හොඳම පෙළපාලි අණදෙන්නිය සහ හොඳම වෙඩික්කාරියන් පස්දෙනා අතරටත් ඇතුළු වන්නටත් මට හැකියාව ලැබුණා."

ඊට පස්සෙ...

"මූලික පත්වීම විදිහට ලැබුණු වව්නියාවේ ගතකළ කාලයත් අපේ ජීවිතවලට හොඳ අභියෝග වුණා. අඩු පහසුකම්, පළාතේ දුෂ්කරතා නිසා ලැබුණු පන්නරය මේ ජීවිත කාලයටම හරි වටිනවා. වව්නියාවේ හිටපු අපි විසිපස් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තේරුණා. මාත් ඒ අතරින් එක්කෙනෙක්. එහිදී මට හමුවුණු ඉහළ නිලධාරින්ගේ ගුරුහරුකම්, පුහුණුවීම්, අවවාද, අනුශාසනා තමයි අද මෙවැනි තැනකට එන්න මඟ පෙන්නුවේ."

ඔබට ජාත්‍යන්තර පොලීසියටත් සම්බන්ධ වෙන්න අවස්ථාව උදාවුණා.

"ඔව්. ජාත්‍යන්තර පොලිසියේ කොළඹ ශාඛාවේ මම වසර හයක් වැඩ කළා. ඒ හරහා අපේ රටේ ඉතාමත් සංවේදී යුදමය සිද්ධි කිහිපයකම විමර්ශන කණ්ඩායම් සමඟ වැඩ කරන්නමට හැකිවුණා. ඒ අත්දැකීම් සහ පුහුණුව මා තුළ හොඳ විමර්ශකයෙක් ගොඩ නැගෙන්න බලපෑවා.

ඒ විතරක් නෙවෙයි මේ ජාත්‍යන්තර පොලීසියේ කටයුතු වලට සම්බන්ධවීම නිසා මට විදෙස් රටවල්වල විමර්ශනවලට සම්බන්ධ වෙන්නත්, ඔවුන් සමඟ වැඩ කරන්නත් හැකියාව ලැබුණා. ඒ අත්දැකීම් හරිම වැදගත්. ඊට පස්සෙ මම ළමා හා කාන්තා කාර්යාංශයේ කටයුතු කරන කාලයෙත් විවිධාකාරයේ වැටලීම් ආදියට සහභාගි වෙමින් ක්ෂේත්‍ර කටයුතුවල නියැලුණා. ඉතින් මේ හැම අත්දැකීමක් හරහාම මගේ වෘත්තීය ජීවිතය හොඳින් මුවහත් වුණා කිව්වොත් නිවැරැදියි."

ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් කියමුකෝ.

"මගේ මහත්තයා නාලක ගුණසේකර. ඔහු කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හැටියට කටයුතු කරනවා. මගේ ලොකු දුව රුවන්දි නීති ශිෂ්‍යාවක්. පොඩි දුව තාම පාසල් අධ්‍යාපනය ලබනවා.

සැමියා සහ ඔබ දෙදෙනාම එකම වෘත්තියේ සේවයේ යෙදෙන්නෙ. ජීවිතයේ යම් යම් කටයුතුවලදී එය ගැටලුවක් වුණේ නැතිද?

"ඇත්තටම කිව්වොත් දෙන්නම එකම ක්ෂේත්‍රයේ වුණහම හරිම පහසුයි. මොකද එකිනෙකාගේ රැකියාවේ ස්වභාවය, වගකීම් දෙන්නම දන්නවා. ඒ වෙනුවෙන් ඉඩකඩ, කාලය වෙන් කරගන්න ඔවුන්ට පුළුවනි. අපි දෙන්නා කවදත් වැඩ බෙදා හදාගෙන කරන්නෙ. මට හදිසි කටයුත්තක් යෙදුණාම ගෙදර දොරේ, දරුවන්ගෙ කටයුතු ඔහු බලාගන්නවා. ඔහු රාජකාරි කටයුතු තුළ කාර්ය බහුල වුණහම මම ඒ දේවල් සියල්ල සොයා බලා කරනවා. දැන් ඉතින් අපේ දූලා දෙන්නත් ඉවුම් පිහුම් වැඩ, ගෙදර දොර වැඩ කටයුතු කරන නිසා හරිම පහසුයි."

 

පොලිස් ක්ෂේත්‍රයට පියනඟන්න හිතන අපේ තරුණ දියණිවරුන්ට වගේම කාන්තාවන්ට ඔබට මොනවද කියන්න තියෙන්නෙ.

"කාන්තාවක් වීම අඩු තක්සේරුවක් කියල කවදාවත් හිතන්න එපා. කාන්තාවක් තුළ සැඟවුණු දක්ෂතා බොහෝමයි. ඒවාට එළියට එන්න ඉඩ දෙන්න. ඔබ මලකට උපමා වුණත් ඒ මල කාටවත් තළලා පොඩි කරන්න ඉඩ දෙන්නෙපා. ලෝකය පුරාම සුවඳ පතුරවන මලක් වෙන්න.

ඒ වගේම තමයි පොලීසිය කියන ක්ෂේත්‍රය තෝරාගන්න ඔබ කිසිවිට පැකිලෙන්න එපා. ඒ තුළ ඔබට ඉහළට යන්න පුළුවනි. අධ්‍යාපනය, ක්‍රීඩාව, දෙස් විදෙස් පුහුණු මේ හැමදේම ලැබෙනවා. හැබැයි කැපවීම, උත්සාහය අවංකකම ඕනෙමයි. ලංකා පොලීසිය කාන්තාවට සම තැන ලබා දෙනවා කියනදේ කතාවට සීමා කළේ නෑ. එය ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. එහි ප්‍රතිඵල තමයි අද අපි මේ විදිහට භුක්ති විඳින්නේ."

 

 

 

****************************

මගේ වෘත්තියෙන් ඉදිරියට යන්න ලැබුණේ සැමියාගෙන් ලැබෙන සහයෝගය නිසයි

පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනිය

* උපන් ගම - මාලඹේ

* පාසල - ආනන්ද බාලිකාව, කොළඹ - 10

* සේවයට බැඳුණේ - 1988.12.26 කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුර

- 1995 වසරේ කාන්තා පොලිස් පරීක්ෂක

- 2003 වසරේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක

- 2008 කාන්තා සහකාර පොලිස් අධිකාරී

- 2021 කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය

සැමියා - මහින්ද ගුණරත්න කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති

දරුවන් - පමති ගුණරත්න, ජනිති ගුණරත්න

 

හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී. සෙනෙවිරත්න සහ නන්දා සෙනෙවිරත්න යුවළට දියණියන් පස්දෙනෙකි. ඒ අතරින් දෙවැන්නී සහ තෙවැන්නී නිවුන් දියණියන් වන අතර අද අපේ කතා නායිකාව නිශානි සෙනෙවිරත්න මේ තෙවැන්නී වූ නිවුන් දියණියයි.

ශ්‍රී ලංකා කාන්තා පරපුරටම මහත් අභිමානයක් එක් කරමින් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙසින් පිදුම් ලැබූ එතුමිය සිය කටහඬ මෙ‍ලෙස අවදි කළාය.

"ඇත්තටම මේ නිල ඇඳුම මට නුහුරු නුපුරුදු එක්ක නෙවෙයි. අම්මයි, තාත්තයි නිල ඇඳුමෙන් සැරසිලා රාජකාරියට පිටත් වෙනකොට ඒ ගාම්භීර නිල අඳුමට අපි හරිම ආසා කළා. ඒ නිසාමදෝ මන්දා මම වාගේම මට බාල නැගණියත් පොලිස් සේවයට එකතු වුණේ හරිම කැමැත්තෙන්.

බොරැල්ල පොලිස් නිල නිවාසයේ පදිංචිවෙලා හිටිය අපි පාසල් ගියේ ආනන්ද බාලිකාවට. මම උසස් පෙළට මුහුණ දුන්නේ ජීව විද්‍යා අංශයෙන්. විභාගය ලියලා ගෙදර ඉන්න කාලේ ඩිප්ලෝමා කිහිපයක්ම හැදෑරුවා. ඔය අතරතුරේ ලංකාවේ ප්‍රථම වතාවට පොලිස් සේවයේ බුද්ධි සේවාවට කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් බඳවා ගන්නට පරීක්ෂණයක් තිබ්බා. දැන් රාජ්‍ය බුද්ධි සේවාව නමින් මෙය හැඳින්වුණත් ඒ කාලේ කිව්වේ ජාතික තොරතුරු කාර්යාංශය කියලයි."

ලංකාවෙන්ම කාන්තාවන් තුන්දෙනයි මේ සඳහා තෝරා ගත්තෙ. ඒ තුන්දෙනා අතරට එකතු වෙන්න තරම් ඔබ වාසනාවන්ත වුණා.

"සත්තකින්ම. මම හරිම ආසාවෙන් එහි පරිගණක කොට්ඨාශයෙන් මගේ රාජකාරි ආරම්භ කළා. පරිගණක ඩිප්ලෝමාවක් එහෙම කරලා තිබුණු නිසා අසීරුවක් දැනුණේ නෑ. විශේෂයෙන්ම දැනුමත් එක්ක වැඩකරන තැනක් නිසා මම සතුටු වුණා. තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණ වාර්තා සැකසීම වාගේ දේවල් හොඳින්ම සිදු කළා. විදේශ රටවල් බොහොමයකින් දැනුම වැඩි දියුණු කරගන්න මට හැකියාව ලැබුණා. තරග විභාගවලින් සමත් වුණා. ඊට පස්සෙ කාන්තා පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක, සහකාර පොලිස් අධිකාරි ආදි තනතුරු පසුකරමින් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනි ධූරයට පත් වුණා. මම දැන් පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියයි.

ඔබ වරක් ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙත් කටයුතු කළා.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි කාන්තාවක් එම තනතුරට පත් වුණෙත්. "මම ඉන්දියාවේ චෙන්නායිවල නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කවුන්සලර් (ආරක්ෂක) විදිහට වසරක කාලයක් කටයුතු කළා."

 

ඔබේ ආදරණීය සැමියාත් පොලිස් සේවයේ. ඉතින් දෙන්නාම එකම සේවාවක නියැලී සිටීම ගැටලුවක් වුණු අවස්ථා නැතිද?

"මගේ සමියා මහින්ද ගුණරත්න. ඔහු කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති. මම හිතන්නෙ නම් දෙන්නම එකම වෘත්තියක නියැලීම හරිම පහසුවක් කියලයි. මොකද වෘත්තීය අවබෝධය වාගේම තනතුරේ වගකීම හොඳ හැටි හඳුනනවා. ඔහු කවදාවත් මගෙන් වෙලාවට කලාවට උයා පිහාගෙන ඉන්න සාම්ප්‍රදායික බිරියක් බලාපොරොත්තු වුණේ නෑ. මගේ වැඩවලට අප්‍රමාණව සහයෝගය ලබාදෙනවා. ඇත්තටම කිව්වොත් මේ විදිහට මගේ වෘත්තියෙන් ඉදිරියට යන්න ලැබුණෙත් එයාගෙන් ලැබෙන සහයෝගය සහ නිවැරැදි තේරුම් ගැනීමයි."

ඔබේ දියණියන් දෙදෙනා ගැනත් සඳහන් කරමු නේද?

"මගේ ලොකු දුව පමති ගුනරත්න. එයා මෘදුකාංග ඉංජිනේරුවරියක් විදිහට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරනවා. පොඩි දුව ජනිති ගුණරත්න. ඇය 2023 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නට සූදානම් වෙනවා."

"ඇත්තටම කාන්තාවක් විදිහට මේ ලැබුණු තනතුර පිළිබඳ තියෙන්නෙ ඉතාමත් නිහතමානී සතුටක්. වර්තමාන පොලිස්පතිතුමාට අපි හැමදෙනාම හිස නමා ආචාර කරනවා මේ විදිහට කාන්තාවටත් සම අයිතිය ලබාදීම වෙනුවෙන්. මොකද කාන්තා, පිරිමි කියලා නෑ අපි හැමෝම සේවයේ දී සමානවයි කටයුතු කරන්නෙ. ඉතින් අපි වෙත පවරපු වගකීම හරියාකාරව ඉටු කරන්න උපරිමයෙන්ම කැපවෙන්න බලාපොරොත්තු වෙනවා.

 

 

 

ඡායාරූප - හිරන්ත ගුණතිලක