ගැහැනු දරුවන්ට යට ඇඳුම් අන්දවන හැටි දන්නවාද?

ඔක්තෝබර් 20, 2021

 

පුංචි දරුවකුගේ යට ඇඳුම් පිළිබඳව අම්මලාගේ සොයා බැලීම කොහොමද? අපේ රටේ දිළිඳු ම පවුලක මහමඟ සිටින දරුවන්ගේ හැරුණු කොට අනෙක් හැම දරුවකුම හැකි උපරිමයෙන් පිරිසුදු යට ඇඳුම් අන්දවා තබන්න කොයි අම්මත් වෙහෙසෙනවා.

 

හිරණ්‍යා දෝණිට නැප්කින් ඇන්දුවේ ළදරු රෙදි සෝදන කුඩු වර්ගයක පෙඟෙන්න තබා. එහෙමත් නැත්නම් ළදරු සබන් වර්ගයක් අලේප කොට, විසබීජ නාශක දියරයක් වතුරට මිශ්‍රකොට එයිනුත් සෝදා හොඳින් ගසා අව්වේ වේළුවා. මේවා අනිවාර්යයෙන් ම හොඳින් අයන් කරලයි ඇන්දුවේ. නැප්කින් විතරක් නෙවෙයි, පුංචි ගවුම් පොඩි, එළන රෙදි, පෙරවන රෙදි... මේ හැම දේමත් සේදුවේ ඒ විදිහට.

ඒත් චූටි බබාලගේ අම්මලා වුණු ඔයාලා දන්නවාද පුංචි දරුවන්ගේ පිරිසුදුකම පිළිබඳ ඕනෑවටත් වඩා හිතන්න ගියොත් මොකක්ද වෙන්නේ කියලා.

ඉතිං අපි අද කතා කරන්න හිතුවේ දරුවන් ගේ යට ඇඳුම් කොයි විදිහට ද එයාලට අන්දවන්න ඕන කියලා.

 

ලිංගේන්ද්‍රය අවට හිතවත් බැක්ටීරියා

ගැහැනු දරුවකුගේ නම් යෝනි මාර්ගය අවට දරුවාට හිතවත් බැක්ටීරියා වර්ග ස්වභාවයෙන් ම තිබේ. මහමඟ දරුවන් යට ඇඳුම් නැතිව පාරේ වාඩිවී සිටිනු කොතෙකුත් ඔබේ ඇස ගැසී ඇති. ඔබට හිතේවි "අනේ මේ දරුවන් ඉන්නේ තනිකරම විසබීජ ගොඩකනේ" කියා. ඒත් එම දරුවන් නිතර නිතර විසබීජ ශරීරගත වී රෝහල් ගත වේ යැයි ඔබ සිතනවාද? මුත්‍රා ආසාදන ඇතිවනවා දැයි සිතනවාද? කොහෙත්ම නැත.

ඇත්තටම මෙවන් හිතවත් බැක්ටීරියා වර්ගවලින් ප්‍රයෝජන ලබන්නේ දුගී දුප්පත් ළමයින් පමණි.

 

සබන් යොදා රහස් ප්‍රදේශය සේදීම උදේට රෑට

ලොකු පොඩි සියලු දෙනාමත් ගැහැනු, පිරිමි හැමදෙනාමත් ලිංගික අවයව ආශ්‍රිත මේ ප්‍රදේශ උදේ සහ රාත්‍රියේ දී පමණක් එනම් දිනකට දෙවතාවක් මේ ප්‍රදේශයේ සබන් ගා සේදීම ප්‍රමාණවත්. නිතර නිතර සබන් ගෑමෙන් ඒ ආශ්‍රිත හිතකර බැක්ටීරියා සියල්ල විනාශ වී යයි. සබන් යොදා සාමාන්‍ය වතුරින් දවසේ අනෙකුත් වෙලාවන් හි සේදීමට පුළුවන. විසබීජ නාශක දියර යොදා මේ ආශ්‍රිත ප්‍රදේශය සේදීම නම් සුදුසු ම නැහැ. වැඩි ආරක්ෂාව ශරීරයට අහිතකරයි.

 

ළදරු පුතා මුත්‍රා පිටකරන අන්දම අසාමාන්‍යද?

කිරිකැටි දරුවා පුතෙක් නම් බාධා ගොඩක් අඩුයි. නමුත් ඔහුගේ ලිංගේන්ද්‍රය ඉදිරිපිට පිම්බේ නම් දරුවා සෝදන විට පුළුන් කැබැල්ලක් තෙමා ලිංගේන්ද්‍රය මත තබා බත් ඇටයක් ඇඟිලි තුඩින් පොඩිකරනවා සේ පොඩිකර හෙමිහිට පෙර සම පසුපසට අදින්න. ක්‍රමයෙන් පිම්බෙන ප්‍රමාණය අඩුවේවි. එහිදීත් ලිංගේන්ද්‍රය පිම්බෙන ප්‍රමාණය එලෙසම පවතී නම් දරුවා අපහසුවෙන් මුත්‍රා කරයි නම් සුළු සැත්කමකට යන්නට වේවි. (Circumcision surgery) එසේ නොකිරීම පුතු තරුණවියට පා තබා ලිංගික ජීවිතයක් අරඹද්දී ගැටලුකාරී තත්ත්වවලට මුහුණපාන්නට වේවි.

මේ දරුවන්ගේ මුත්‍රා තුළ පසු මුත්‍රා සුළු ප්‍රමාණයක් අදාළ මාර්ගය අසල රැඳී තිබේවි. එය විසබීජ ඇතුළුවිය හැකි ක්‍රමයකි. මෙවැනි දරුවන්ගේ බොහෝවිට බරත් අඩුවේවි.

ගැහැනු දරුවන්ට යට ඇඳුම් අන්දවන්නේ මෙහෙමයි.

ගැහැනු දරුවන්ගේ යට ඇඳුම් පිළිබඳ විශේෂයෙන් කතාකළ යුතුයි. කපු යට ඇඳුම් අන්දවන්න. යට ඇඳුම නොඅන්දවා බිම තබන්න එපා. ඇඳ උඩ අත්‍යවශ්‍ය කාරණයක දී පමණක් යට ඇඳුම් නො අන්දවා තැබිය හැකියි. කිරිකැටියා පැයක් දෙකක් නැප්කින් එක හෝ කලිසම ගලවා තබන්න. පැය විසිහතර මුළුල්ලේම සුළං නොවදින පරිදි වසා තැබීමෙන් ඉකිලි පෙදෙස ආදිය හම යනවා මෙන් දකින්න ලැබේවි.

විසබීජ නාශක දියර දමා ළදරු ඇඳුම් සේදීමෙන්, අයන් කර ඇඳුම් ඇන්දවීමෙන් විසබීජ මරා දමයි. මේ සියල්ලකින් ම සිදුවන්නේ දරුවාගේ සිරුරේ නිසි ප්‍රතිශක්තිකරණයක් ඇති නොවීමයි.

 

සිරුරෙන්ම ප්‍රතිශක්තිකරණය

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය හොඳම උදාහරණයක්. මෙහිදී වැඩි වැඩියෙන් අවශ්‍ය වුණේ ප්‍රතිශක්තිකරණය.

නිවෙසේ සිටින ආරක්ෂකයා පලවා හැර මුදලට ආරක්ෂකයෙක් තබා ගන්නවා වැනි සිද්ධියකුයි මෙහිදී සිදුව ඇත්තේ.

කුඩා දරුවාට නිතරම පැම්පර්ස් අන්දවන්න එපා. උදේ වරුවට ඇන්දුවේ නම් රාත්‍රියට අන්දවන්න එපා. රාත්‍රියට අන්දවන්නේ නම් උදේ වරුවට අන්දවන්න එපා.

ගැහැනු දරුවාගේ යට ඇඳුම උඩට අදින්න එපා. යට ඇඳුමේ යට කොටස මහතට ඇති ඒවා පාවිච්චි කරන්න. ඇඳුම අන්දවා තරමක් පහළට අදින්න. යට ඇඳුමේ යට කොටස අපිරිසුදු ම තැනයි. මෙය ලිංගේන්ද්‍රයේ ඇතිල්ලී ඇතිල්ලී තිබීම සුදුසු නැහැ. මේ කොටස් කුඩා ගැහැනු දරුවාගේ ගර්භාෂය දක්වාම යයි. දරුවා ලොකු වද්දි ගර්භාෂ බිත්තිය හෙවත් එන්ඩොමෙට්‍රියම දිගේ දිලීරයක් වර්ධනය වේවි. විවාහ වී දරුවන් බලාපොරොත්තුවන කාලයට එන්ඩොමෙට්‍රියෝසිස්, සුදයෑම (දුර්ගන්ධයක් සහිතව) වැනි තත්ත්ව ඇති වේවි. සංසේචන වූ යුක්තාණුව ගර්භාෂය කරා පැමිණි විට දී එහි බිත්ති දිලීරවලින් පිරී තිබේවි. යුක්තාණුව කුඩා පැළයක් යයි සිතුවොත් එය වැඩීමට සරු පසක් අපට නැත. මෙහිදී ද කලලය සඳහා හොඳ වටපිටාවක් නොතිබීමෙන් නිතර නිතර ගබ්සාවීම් සිදුවේවි.

එසේ නම් දැන් ඔබටම වැටහේවි, ප්‍රතිශක්තිකරණය ඇති විය යුත්තේ තමන්ගේ සිරුරෙන් ම යි. ඒ සඳහා ඇති හිතකර බැක්ටීරියාවන් විනාශ නොකළ යුතුයි.

 

 

උපදෙස් -

ආයුර්වේද විශාරද පණ්ඩිත විශේෂඥ වෛද්‍ය

මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක