වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
Doctor Door
උදෑසනට ඔළුව බරයි
ප්‍රශ්නය
මා දෙදරු මවක්. උදෑසනට ඔළුවේ බර ගතියක් පවතී. නිතර කිඹුහුම් යයි. නහයේද බර ගතියක් ඇත. දහවල් වන විට මේ තත්ත්වය සුවයට හැරෙයි. නමුත් උදෑසන ඉවුම් පිහුම් කටයුතු දරුවන්ගේ වැඩ කටයුතු නිසා මා ඉතාම කාර්යබහුලය. මේ නිසා සියලු කටයුතු ඉටු කරන්නේ ඉතාම අපහසුවෙනි. මෙය පීනස තත්ත්වයක් කියා සිතමි. එයට නිවෙසේදී කළ හැකි ප්‍රතිකර්ම තිබේද?
පිළිතුර
මෙය පීනස් රෝගයයි. උදේ පාන්දර අවදි වී කාමරයෙන් එළියට ආ විට දේශගුණික වෙනස්වීම නිසාත් මේ පීනස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන පාර අයිනේම තිබෙන නිවෙස්වල නිතර දූවිලි ස්වභාවයක් සහිතය. මේ නිසාත් මකුළු දැල් කැඩීම වාගේ දේවල් නිසාත් මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. පීනස රෝග තත්ත්වයෙන් පීඩා විඳින අය උදෑසනට එළියට යාම එතරම් සුදුසු නොවේ.
පීනස තත්ත්වයේදී නාසය අවහිරවීම අවම කරන එනම් නාසයට දමන බෙහෙත් වර්ග කිහිපයක්ම ඇත. එයින් නාසයේ සංකූලතා අඩු කරයි. පීනස රෝගයට ඇති ඖෂධ ශරීරයට අහිතකර නොවේ. පීනස් ප්‍රතිකාර නිසියාකාරව ලබා ගැනීමෙන් සුව කර ගත හැකිය.
ගෙලෙහි අස්වාභාවික නෙරුමක්
ප්‍රශ්නය
මම අවුරුදු 20ක් වයසැති තරුණියක්මි. මාගේ ගෙල ප්‍රදේශය ඉදිරියට තරමක් නෙරා ඇත. එය පිරිමි ළමුන්ගේ උගුරු දණ්ඩ ඉදිරියට නෙරා ආ ස්වභාවයට සමානය. මේ ස්වභාවය නිසා මා නිතර අන් අයගේ විහිළුවට ද ලක් වෙමි. මා හට වෙනත් කිසිදු අපහසුතාවක් නොමැත. මෙය කුමන තත්ත්වයක්ද? සැත්කමකින් සුව කර ගත හැකිද?
පිළිතුර
මෙලෙස ගෙල ඉදිරියට නෙරා ඒම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගී තත්ත්වයකි. ඒ වගේම කලාතුරකින් බෙල්ලේ උඩ හරියේ ඇතිවන ගැටිති නිසාත් නිකටට පහළින් ඉදිරියට නෙරා ඒමක් විදිහට පෙනෙන්නට පුළුවන්. මෙහිදී ස්කෑන් පරීක්ෂණයකින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ස්වභාවය නිරීක්ෂණය කළ හැකිය. එහිදී තයිරොයිඩ් ග්‍රන්ථියේ සංකූලතාවක් තියෙනවාද කියා දැන ගත හැකිය. ඒ වගේම අයඩින් ඌණතාවක් ඇතිවිටත් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමෙන්න පුළුවන්. ලේවල TSH පරීක්ෂණය කිරීමෙන් අයඩින් උෟණතාවක් තිබෙනවාද කියා හඳුනාගන්න පුළුවන්. මේ තත්ත්වයේදී තයිරොක්සීන් නම් හෝමෝනයක් මාස 6කට වරක් ලබා දීම සිදු කරනවා. එයින් මේ තත්ත්වය අඩු කර ගන්න පුළුවන්.
දකුණු අතේ කැක්කුමක්
ප්‍රශ්නය
19 හැවිරිදි මා ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ හදාරන සිසුවියක්මි. මාගේ දකුණු අතේ මැණික් කටුව ප්‍රදේශයේ නිතර කැක්කුමක් හට ගනියි. මේ තත්ත්වය මාස දෙක තුනක සිට නිතර නිතර ඇති වේ. මේ නිසා එක දිගට ලිවීෙම් කටයුතු කරගෙන යෑමද අපහසුය. මෙය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්ත්වයක්ද?
පිළිතුර
ඔබ උසස් පෙළ හදාරන සිසුවියක් නිසා ලීවීම් කටයුතු, පරිගණකය නිසා නිතර දකුණු අත පාවිච්චි කිරීමට සිදු වේ. මෙවැනි කැක්කුමක් ඇති වීමට එයත් හේතුවක් විය හැකිය. කලාතුරකින් ආතරයිටිස් තත්ත්වයට හේතුවක් වන අතෙහි නහරයක් තඩිස්සිවීමෙන් ද මෙවැනි කැක්කුමක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. මෙවනි කැක්කුමක් තිබෙන විට එක දිගට ලියන අවස්ථාවකදී කඩින් කඩ තත්ත්පර කිහිපයකවත් පුංචි විවේකයක් අතට ලබා දෙන්න. ඒ වගේම ෆාමසිවලින් ලබා ගන්න පුළුවන් Wrist splint කියලා උපකරණයක් තියෙනවා. ඒක අතට දැමීමෙන් අතට සනීපයක් සුවගතියක් ළඟා කරගන්න පුළුවන්.
ඒ වගේම අයිස් තැවීමෙන්ද සුවයක් ලබා ගන්න පුළුවන්. අද කාලේ දරුවන් ක්‍රීඩා කිරීම සහ ව්‍යායාම කරනවා හරි අඩුයි. ඉතින් අතට සරල ව්‍යායාම කිහිපයක් කරන්න. අනෙක් කාරණය තමයි වැඩ කරන වෙලාවේදී නිවැරැදි ඉරියව්වෙන් නොසිටීම. අපි වාඩිවෙලා ඉන්නවානම් කකුල් දෙකේ යටි පතුල් දෙක පොළව මත තිබෙන්න ඕනේ. දණිස් දෙක අංශක 90ක් නැවිලා තියෙන්න ඕනේ. අත්දෙක මේසය මත පහසුවෙන් තියෙන්න ඕනේ. මේ ක්‍රමවලින් සුවයක් නොමැති නම් ශල්‍ය වෛද්‍යවරයකු හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් පරීක්ෂා කර ගන්න.
චර්ම රෝගයක්
ප්‍රශ්නය
මෙය චර්ම රෝගයක් සම්බන්ධ ගැටලුවකි. මාගේ වයස 28කි. දවසට අවම වශයෙන් දෙපාරක්වත් මාගේ ශරීරයේ පලු දැමීමකට සමාන ගෙඩි හට ගනියි. එක් එක් අවස්ථාවලදී එසේ පලු දමන ස්ථාන වෙනස් වේ. උදෑසන පිට ප්‍රදේශයේ පලු දැමුවොත් හවස් වන විට කකුල් ප්‍රදේශවල පලු දමයි. මේ තත්ත්වය අසාත්මිකතාවකට සමාන වුණත් මෙය නිතර නිතර ඇතිවන නිසා අසාත්මිකතාවක් නොවන බව සිතෙයි. එම අවස්ථාවේදී බේබි ක්‍රීම් ආලේප කිරීමෙන් මා තාවකාලික සුවයක් ලබා ගනිමි. මේ තත්ත්වය කුමක් විය හැකිද?
පිළිතුර
මෙම තත්ත්වය කරප්පන් විශේෂයකි. මේ නිසා සම කැසීම සහ සමෙහි වේදනාවක් ඇති විය හැකිය. රෝගය ඇතිවීමට හේතුව සොයා ගැනීම තරමක් අපහසුයි. මෙයට පිරිටන් වැනි ෆාමසියෙන් ලබා ගත හැකි බෙහෙත් වර්ග තිබෙනවා. රෝගය ඇති වෙන්න පටන් ගන්නකොටම මෙවැනි බෙහෙත් වර්ගයක් ගැනීමෙනුත් සුවයක් ලබාගත හැකිය. සමහර අයට කෑම වර්ගවලිනුත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එලෙස තමන්ට අසාත්මිකතා ඇතිවන ආහාර ගැනීමෙන් වළකින්න. ඒ වගේම නිතර ඇඟට අපහසු ඇඳුම් ඇඳීමෙන් වළකින්න. කපු ඇඳුම් ඇඳීම වඩාත් සුදුසුයි. ආතතියත් මෙයට හේතුවක් වෙන්න පුළුවන්. දිනකට විනාඩි 20ක් ප්‍රමාණවත් භාවනාවක යෙදෙන්න.
ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර වූ රෝගවලට මුහුණ පාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්,
කොළඹ - 10. එසේත් නැත්නම් ඔබගේ ගැටලුව
0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ