Monday, December 8, 2025
Epaper
Home Highlightsපිරිමි ලෝකයෙන් ඔබ්බට කාන්තාව

පිරිමි ලෝකයෙන් ඔබ්බට කාන්තාව

by Shanaka Lakehouse

“පිරිමි ලෝකයෙන් ඔබ්බට කාන්තා ලෝකය හඳුනා ගනිමු” යන මැයෙන් එක්දින වැඩමුළුවක් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පසුගියදා පැවැත්විණ. කාන්තාවන් හා සම්බන්ධ සමාජීය කතිකාවන් පිළිබඳ පවත්නා තත්ත්වය විග්‍රහ කර ගැනීමට එහිදී ජෙන්ඩර් සහ සංවර්ධනය පිළිබඳ විශේෂඥ ආචාර්ය නිශාදි සෝමරත්න පැවසූ අදහස්වලින් මෙම ලිපිය සකස් වී ඇත.

පිරිමි ලෝකයෙන් ඔබ්බට කාන්තාව රැගෙන යෑමට කළ යුත්තේ කුමක්ද?

පිරිමින් මූලික කරගත් සංස්කෘතියක් සමාජයේ හැදුණේ කොහොමද කියන එක මුලින් අපි දැනගන්න ඕනෑ. කාන්තාවන් ඉන් ඔබ්බට ගෙනියන්න නම් ලෝකයේ පිරිමි සංස්කෘතියක් ඇති වුණේ කොහොමද කියන කාරණය ගැන වැඩියෙන්ම කියලා තියෙන්නේ ඒංගල්ස් විසින්. ඔහු කියන පරිදි මෙය‍ මානව පරිණාමය සමඟ සිදුවූ සමාජ ආර්ථික වෙනස්කම්වල ප්‍රතිඵලයක්. කෙටියෙන් කිවුවොත් එඬේර යුගයේ පිරිමින් සතුන් රංචු ඇති කිරීමට යොමුවීම සමඟ වැඩියෙන් සතුන් එක්රැස් කිරීමට පුළුවන් පිරිමියා බලවත් වීමේ ප්‍රතිඵලයක්. මේ ගැන ලියවුණු ඒංගල්ගේ රචනාව ‘ප්‍රාග්ධනය කෙරෙහි පුද්ගල අයිතිය පවුල හා රාජ්‍යය ඇතිවීම’ තුළ හොඳින් විග්‍රහ කරනවා. ලෝකය දියුණු වුණාට සංස්කෘතික වශයෙන් අපි තවම එඬේර යුගයෙන් එහාට ගිහින් නැහැ. අතීතයේ ඉඳලම ප්‍රාග්ධනය අයිති පිරිමින්ට. මුළු මහත් සංස්කෘතියම ගොඩනැඟිලා තියෙන්නෙ මෙන්න මේ පිරිමින්ගේ ප්‍රාග්ධනය ඉපයීමේ කාර්යය වටා.

ගැහැනුන් විවාහ වීමේදී පිරිමින්ට අයිති බූදලයක් බවට පත්වෙනවා. ඒක ඉඩමක්, ගෙයක්, වාහනයක් අරගෙන අභව්‍ය අප්‍රාණික දෙයක් පරිහරණය කරනවා වගේ තත්ත්වයක්. සංස්කෘතිය එක පැත්තකින් පිරිමින්වත් ගැහැනුන්වත් අන්ධ කරලා. ගැහැනුන්ට උගන්නන්නේ පිරිමින්ට ඕනෑ විදිහට ඉන්න කියලා. ඒ නිසානේ පිරිමි කියන්නේ “තමුසෙ මගේ ගෑනි මට ඕ‍ෙන විදිහට ඉන්න ඕනේ” කියලා. නමුත් ගැහැනියෙකුට පිරිමියකුට එහෙම කියන්න බලයක් තියෙනවද? ගැහැනුු ළමයකුගේ උත්පත්තියේ ඉඳලම පිරිමියා පිනවීමට, පිරිමියාට සේවය කිරීමට කැපවෙන්න ඕනෑ කියන සංකල්පය මුල් බැසගෙන තියෙනවා. ගැහැනුන් ලස්සනට සැරසෙන්නේ, ආභරණ පලඳින්නෙත් පිරිමියා වෙනුවෙන්මයි. විවාහයේදී සංස්කෘතික පුරුද්දක් ලෙස පිරිමියාගේ වාසගම ගැහැනිය අරගන්නවා. ගැහැනියත් දරුවත් අයිති පිරිමියාට. මේවා සැලකිල්ලට ගත යුතු කාරණා.

අපිට අලුත් සංස්කෘතියක් අවශ්‍යයි. කාන්තාවන්ට, පිරිමින්ට හා ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව ආදී හැම කෙනකුටම තම ජීවිතයේ නිදහස්ව හා ගෞරවනීය ලෙස ගෙනයා හැකි ආකාරයට සිතිවිලි හා සම්ප්‍රදායන් වෙනස් විය යුතුයි. පිරිමින්, ගැහැනුන්ට හෝ ලිංගික සංක්‍රාන්තිකයන්ට වඩා බලවත්ය කියන ජීව විද්‍යාත්මක හෝ ස්වාභාවික බල වෙනස සමාජය විසින් අප මුලින් සඳහන් කළ ප්‍රාග්ධනය අරබයා ගොඩනඟාගත් එකක්. කාලයෙන් කාලයට, සමාජයෙන් සමාජයට පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය වෙනස් වෙනවා. කාන්තාවන් පිරිමින් අබිබවා බලවත් තනතුරු දරනවා, තීරණ ගන්නවා. නපුංසක පුද්ගලයිනුත් එහෙමයි. අවශ්‍ය වෙන්නේ සියලු දෙනාටම සතුටින් නිදහසේ ජීවත් වීමට අවස්ථාවන් සමාජයේ තිබීමයි. එයට කෙනකුගේ ලිංගික පද්ධතියේ අනන්‍යතාව මොනයම් හෝ සමාජයක්, සංස්කෘතියක් හෝ පුද්ගලයෙක් නොතැකිය යුතු දෙයක්. මිනිසුන් උස් පහත් කරන්න අපි ඉගෙන ගත්තේ යල් පැනගිය පඩංගු වුණ කිලිටි සංස්කෘතියක් නිසා.. ඒ පඩංගුව ඉවතට දාලා සමානාත්මතාවයෙන් යුතු පිරිසුදු සංස්කෘතියක් අපට අවශ්‍යයි. එවිට අප දියුණු ජාතියක් සමාජයක් හා දියුණු පුද්ගලයින් බවට පත් වේවි.

පුරුෂ මූලික සමාජය තුළ පිරිමින් අසරණ වන හා පීඩනයට පත් වන ආකාරය අතිශය කනගාටුදායකයි. ඔවුන්ට තමන්ගේ හැඟීම් නිර්ව්‍යජව ප්‍රකාශ කිරීමේ අවස්ථාව නැහැ. පිරිමි හඬන එක හරි නැහැ කියනවා. පිරිමියා අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න ඕනෑ කියනවා. පිරිමින් අසාර්ථක වුණොත් සමාජයට ඒක ප්‍රශ්නයක්. ලෝකය තුළ සියදිවි හානිකර ගැනීමේ දත්ත විශ්ලේෂණය කර බැලුවොත් පිරිමින් ගැහැනුන්ට වඩා හතර ගුණයක් සිය දිවි නසා ගන්නවා. ලංකාවේ එය පස් ගුණයකට ආසන්නයි. පුරුෂ මූලික සමාජය තුළ පිරිමියාට ද යහපතක් නැති බව තේරුම් ගැනීමට මෙය හොඳ උදාහරණයක්. මිනිස් ජීවිත තුළ සාර්ථක අසාර්ථක භාවයන් තියෙන්න පුළුවන්. නමුත් සමාජයේ හිතන විදිහ, අපිට උගන්වන විදිහ වැරදියි. මේවාට ලිංග භේදය බලපාන්නේ නැහැ.

විවිධ මතිමතාන්තර සමාජගතව තිබුණද ලිංගිකත්ව ක්‍රියාවලිය සාමාන්‍ය මානව අවශ්‍යතාවකි. ඒ පිළිබඳව ඔබට ඇත්තේ කෙබඳු අදහසක්ද?

අවාසනාවකට ලිංගිකත්වය පිළිබඳ පුදුමාකාර ආතතියක් තියෙනවා. කෙනකුගේ ලිංගිකත්වය ඒ කෙනාගේ පෞද්ගලික දෙයක් සහ ස්වභාවධර්මයෙන් තීරණය වන තත්ත්වයක්. ලිංගික අවශ්‍යතාව මානව අවශ්‍යතාවල මූලික අවශ්‍යතා ගණයට වැටෙන තරම් සාමාන්‍ය දෙයක්. එහෙත් අපේ සමාජය තුළ ඒක මහා මැජික් එකක් බවට පත්වෙලා. ආහාර, ජලය, වාතය ආදිය පිළිබඳ බය නැතිව කතා කරන්න පුළුවන්නම් ලිංගික කාරණා ගැන කතා කරන්න බය ඇයි? නීරෝගි ජීවිතයක් සඳහා ආහාරවල අවශ්‍යතාව ගැන කතා කරනවා නම් නීරෝගි ජීවිතයකට අවශ්‍ය ලිංගික චර්යාවන්, එහි විවිධත්වයන්, ආචාර සමාචාර විධි, ගෞරවනීය සහ ආනන්දනීය ලිංගික සබඳතාවක් පවත්වා ගැනීම ආදිය පිළිබඳ කතා කරන්න බොහෝ දෙනා තුළ පෞරුෂයක් නැත්තේ ඇයි? විශේෂයෙන්ම ඒ ගැන කතා කළ යුතු ගුරුවරුන් හා සෞඛ්‍ය අංශවල පුද්ගලයින් මේ ගැන විවෘතව කතා කරන්න බයක් හා පසුගාමී බවක් දක්වනවා. එවැනි තත්ත්වයක් ඇතිකරලා තියෙන්නේ ආගම් විසින්. සංස්කෘතියත් ඒකට බලපානවා.

දෙයක් වෙනස් කරන්න නම් අපි ඒ මතවාදයේ ඉන්න ඕනෑ. පවුල් කඩාකප්පල් වෙන්නත්, ලිංගික රෝගවලටත් මේ නොදැනුවත්කම බලපානවා. අවුරුදු දාසයට අඩු ළමා ගර්භිණීභාවයටත් හේතුවක් වෙනවා. මිනිස්සු හදාගත්තු දේවල් සහ සාමාන්‍ය ස්වභාවය අතර විශාල වෙනසක් තියෙනවා. නීති පද්ධතිවලට අනුව, ව්‍යවස්ථාවට අනුව ශරීරයේ හෝමෝන ශ්‍රාවය වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු හදාගත්තු නීති සංස්කෘතික කාරණා ආදිය සහ අධ්‍යාපනයේ වැරදි තැන් නිවැරදි කළ යුතුයි. අපේ මිනිස්සුන්ට ශරීරය බලන්නේ නැතිව ඇඳුමේ සුන්දරත්වය බලන්න දන්නේ නැහැ. කාන්තාව කියන්නේ බඩුව, කෑල්ල ආදී වශයෙන් එහෙ මෙහෙ ගෙනියන්න, නමන්න උඩ දාන්න පුළුවන් වස්තුවක්ද?

යම්කිසි කෙනෙක් සමලිංගික ද විෂම ලිංගික ද අලිංගික ද බහුලිංගික ද කියා තීරණය වන්නේ ස්වාභාවිකව. නමුත් සමලිංගිකත්වය උගන්වන්න පුළුවන් කියලා හිතෙන තරම් නූගත් සමාජයක් අපට තියෙන්නෙ. තවදුරටත් කාන්තාවන් ඉන්නේ පිරිමියාගේ ලිංගික අවශ්‍යතා සපුරන්න කියන මතය අපේ සමාජය තුළ බහුලව තිබෙන දෙයක්. සමලිංගිකත්වය කියන්නේ රෝගයක් කියලා කියන වෛද්‍යවරයෙක් මම මුහුණුපොතේ දැක්කා. මම දන්නා යහළුවන් කිහිපදෙනෙක් ඉන්නවා ඔවුන් සමලිංගික වුණත් මවුපියන්ගේ බල කිරීමට විෂම ලිංගික විවාහ සිදු කරගෙන ඉතා ඉක්මනින් එම විවාහ දෙදරා ගොස් තිබෙනවා. ඔබේ හෝ මගේ හෝ දරුවා තරුණ වියේදී සමලිංගික හෝ බහුලිංගික ලක්ෂණ පෙන්වනවා නම් ඒක පිළිගන්න ඕනේ. දරුවාගේ අනාගතය අඳුරට පත් නොවෙන්නට නම් උගත් මවුපියන්ගේ වගකීමක් ඒක. තිබෙන්නා වූ පීඩාකාරී සමාජ වටපිටාව තුළ ඔබට එවැනි දෙයක් පිළිගැනීමට අපහසුතාවක් දැනේ නම් කළ යුතු හොඳම දේ වන්නේ පිළිගත් මනෝ උපදේශකවරයෙක් හෝ පවුල් සෞඛ්‍ය සේවාවන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ සිටින සංවර්ධන නිලධාරිනිය මාර්ගයෙන් උපදෙස් සේවාවන්ට සම්බන්ධ වීමයි.

පවුල පිළිබඳ සංකල්පය වර්තමාන පරපුර වෙතින් ක්‍රමයෙන් ගිලිහී යන ලකුණු පෙනේ. ඔබ එය දකින්නේ කෙසේද?

පීතෘ මූලික සමාජ පරිසරය තුළ පවුල කියන්නේ කාන්තාවන්ට නිදහසක් නැති තැනක් හැටියට ඔවුන් දකිනවා. අපේ සමාජය ගැහැනුන්ට අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් ඔවුන් උගතුන් බවට පත් කළත් ගැහැනුන් සමඟ ජීවත් වෙන්න පිරිමින්ව උගත් නොකළ එක ලොකුම හිඩැසක්. අපේ සමාජයේ පිරිමින් බොහොමයක් බලාපොරොත්තු වෙන්නේ සාම්ප්‍රදායික ගැහැනුන්ව. මෙය ගැහැනුන්ට කරන්න පුළුවන්කමක් නැහැ. මොකද වෙනස්වීමකට පසුව පරණ තත්ත්වය නැති නිසා. මෙවැනි කාරණා නිසා දික්කසාදවල වැඩිවීමක්, දරුවන් හැදීමේ අඩුවීමක්, අවිවාහකව සිටින පිරිස වැඩි වීමකුත් දකින්න ලැබෙනවා. පවුල කියන්නේ ගැහැනියෙක්, පිරිමියෙක් එකට ජීවත් වෙනවා කියන එකම නෙමෙයි. පවුල කියන ඒකකය තුළ තනි ගැහැනියක් හෝ පිරිමියෙක් දරුවන් සමඟ ජීවත් වෙන්න පුළුවන්. පවුලක් කියන්නේ ආදරයෙන් කරුණාවෙන් සමානාත්මතාවයෙන් බෙදා හදා ගැනීමෙන් පිරුණු පෞද්ගලික සම්බන්ධතාවන් ඇති තැනක්. ඒක හදවතේ උපදින දෙයක් මිස කෙනකුගේ ලිංගික පද්ධතිය තුළ උපදින දෙයක් නෙමෙයි. ඒ නිසා ලිංගිකත්වය මත හොඳ පවුල් නරක පවුල් බෙදන්න බැහැ. පවුලක හොඳ නරක තියෙන්නේ ඒ සම්බන්ධතාවන් ක්‍රියාත්මක වන ආකාරය මතයි.

වික්ටෝරියානු සංස්කෘතිය කියන්නේ ධනවාදය තුළ කාර්මික විප්ලවයෙන් පසුව අපේ හැම දෙයක්ම ධනය මත පදනම් වී සමාජ සම්බන්ධතාවන් තීරණය වෙනවා. වික්ටෝරියානු විවාහයේ තියෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පිරිමියාගේ ප්‍රාග්ධනය ගෙන යෑමේ කාර්යයට සමාජ ඒකකයක් සෑදීම මිස එහි සමාජ සම්බන්ධතාවලට වැඩි ඉඩක් නැහැ.

විවාහය පොතේ ලියන්නේ දේපළ උරුමය සඳහායි. ඒ අනුව එක පිරිමියකුට එක ගැහැනියක් සිටිය යුතුයි කියන සංකල්පය ඇති වෙනවා. එංගල්ස්ට අනුව ධනවාදය මත සමාජ සම්බන්ධතා ගැටගහනවා මිස මානව සම්බන්ධතාවන් ඇති වන්නේ නැහැ. විෂම ලිංගික විවාහය හොඳයි කියා පිළිගන්නේ අනාගතයටත් ප්‍රාග්ධන නිෂ්පාදනයට කම්කරුවන් එනම් ශ්‍රමිකයින් සැපයීම කළ හැකි නිසයි. විෂම ලිංගික විවාහයේදී දරුවන් ලැබීම තුළින් ඒ කාර්යය සිදුවෙනවා.

නමුත් පොතේ ලියන එක ආදරය ද? ආදරය කියන්නේ වගකීමක්. තමන්ගේ වගේම අනිකාගේ සතුට වෙනුවෙන් කරනු ලබන බුද්ධිමත් හා හෘදයාංගම බෙදාහදා ගැනීමක්. පරම්පරාවෙන් පරම්පරාවට යන දේවල් යාන්ත්‍රිකව කරන දේවල්වල බුද්ධිමත් ස්වභාවයක් නැහැ. යථාවබෝධයෙන් කටයුතු කිරීමයි සිදුවිය යුත්තේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදිය සකස් කරන විට මානව සම්බන්ධතාවන් හරිහැටි හඳුනාගෙන ඒවා කළ යුතුයි.

දික්කසාදය, ගබ්සා කිරීම, ගණිකා වෘත්තිය වැනි කාරණාවලදී සමාජයක් ලෙස අප සිටිය යුත්තේ කොතැන ද?

දික්කසාදයකදී සාධාරණ තැනක ඉන්න ඕනෑ කළ යුතුම නම් කළ යුතුයි. අපි හිතාගෙන ඉන්නවා ජීවිත කාලය පුරාවටම එකම කෙනා එක්ක ඉන්න ඕනේ කියලා. ඒත් ඒවා එහෙම්මම සිද්ධ වෙන්නේ නැහැ. හැමදේම සාම්ප්‍රදායිකව සිතීම තුළත් ගැටලු ඇතිවෙනවා. ගබ්සා කිරීම හැමවිටම කාන්තාවගේ කැමැත්ත මතම සිදුවිය යුතුයි. ගණිකා වෘත්තිය වුණත් තමන්ට ඕනෑ නම් කරන්න පුළුවන්. කොහොමත් ධනවාදය ඇතුළේ අපි හැමෝම, අපේ ශරීරයේ යම්කිසි කොටසක් විකුණනවා. අපේ බොහොමයක් දේවල්වලට බලපාන්නේ සිතුවිලි සම්බන්ධ කාරණා.

අපි මොළය යොදවා කරන රැකියාවලදී වෙන්නේ මොළයේ ශක්තිය විකිණීම. ගණිකාවක් විකුණන්නේ ඇගේ ලිංගික ශක්තිය. කම්කරුවෙක් විකුණන්නේ ඔහුගේ කායික ශක්තිය. ක්‍රීඩකයෙක් විකුණන්නේ ඔහුගේ ක්‍රීඩා ශක්තිය. සමහර ඒවා හොඳයි. සමහර ඒවා නරකයි. එහෙම වෙන්නේ කොහොමද?

සත්තු හීලෑ කළාම ඔහේ හිතන්නේ නැතුව පුරුද්දට දේවල් කරනවා වගේ අපිවත් සංස්කෘතිකමය කාරණා ඇතුළු විවිධ හේතූන් නිසා අපේ නිදහස් චින්තනය මකා දාලා තියෙනවා.

TEXT – ෂෙරීන් පීරිස්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?