Thursday, June 11, 2026
Epaper
Home විශේෂාංගහම්බ කරලා ගෙදරට ගේන මුදල් වාෂ්ප වෙනව ද?

හම්බ කරලා ගෙදරට ගේන මුදල් වාෂ්ප වෙනව ද?

by Shanaka Lakehouse

නි‍ෙවසක – සතුට, සමගිය, ධනය රැකගැනීමට මිනිසුන් නොකරන දෙයක් නැති තරම්. නි‍ෙවසක මුළුතැන්ගෙය හා එහි පිහිටීම එම නි‍ෙවසේ දියුණුවට මෙන්ම එහි වෙසෙන නිවැසියන්ගේ සමගිය, සමාදානය, නීරෝගිභාවය යන කරුණුවලට හේතුසාධක වේ. මේ කතාව ධනය, සතුට රකින ඔබේ මුළුතැන්ගෙයි වාස්තු රහස් පිළිබඳවයි.

අග්නි දේවතාවාට අයිති දිශාව ගිනිකොන දිශාව බැවින් මුළුතැන්ගෙය සෑදිය යුත්තේ නි‍ෙවසක ගිනිකොන දිශාවේය. මෙම දිශාවේ කුස්සිය ඉදිකිරීම තුළින් ගෙහිමියන්ට සැප සම්පත් නොඅඩුව ලැබෙන බව වාස්තු විද්‍යානුකූලව පිළිගැනෙයි. කුස්සියට වඩා උචිත දිශාව ලෙස ගණන් ගැනෙන්නේ ද ගිනිකොන දිශාව වුවත්, ගිනිකොන ගැනීමට නොහැකි නම් ඊසාන සහ නිරිත යන දිශාවන් හැරෙන්නට අනෙකුත් ඕනෑම දිශාවකට මුළුතැන්ගෙය ස්ථාන කළ හැකිය. මොඩර්න් විලාසිතා අනුව මේ වෙනකොට බොහෝ නිවෙස්වල ආලින්දයට පිවිසෙනවාත් එක්ක දක්නට ලැබෙන්නේ මුළුතැන්ගෙයයි. මෙය ඉතාම අසුබ පිහිටීමක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඒ වගේම තමයි මුළුතැන්ගෙයි ළිප ස්ථානගත කිරිමේ දී ගින්දර පත්තු කිරිමේ ළිපත් ගිනිකොන දිශාවට ගැනීම ඉතාම සුබ වේ. ඒ වගේම මුළුතැන්ගෙයි ළිප සහ වතුර කරාමය අතරේ පැහැදිලි පරතරයක් තිබිය යුතුය.

නි‍ෙවසක ලුණු පොල්කට්ට හිස් වෙනවාය කියන්නේ ඉතාම අසුබ දෙයකි. යම් ලෙසකින් නි‍ෙවසක ඇති ලුණු පොල්කට්ට හිස් වුණොත් ධන විනාශයක් අනිවාර්යයෙන්ම ඇතිවෙන බව පුරාණයේ සිට පැවැත එන විශ්වාසයක්. ඒ වගේම මුළුතැන්ගෙයි වතුර කළයක් නැත්නම් වතුර ජෝග්ගුවක් තිබේ නම් කිසිම විටෙක හිස් නොකළ යුතුය. එමඟිින් ආර්ථික අපහසුතා ඇතිවීම එසේත් නොමැති නම් නිස්කාරණයේ මුදල් වියදම්වීමක් සිදුවන බව පැවසේ. අනෙක් කාරණය තමයි ඔබේ නි‍ෙවසේ වංගෙඩියක් තිබේ නම් කිසිම වෙලාවක වංගෙඩිය උඩ ඉඳගැනීම නොකළ යුතුය.මුළුතැන්ගෙයි උපකරණයක් වන පිටි කොටන වංගෙඩිය මත ඉඳගැනීම සුබදායක නොවේ. මුළුතැන්ගෙට අදාළ නැති කිසිවක් මුළුතැන්ගෙයි නොතිබිය යුතුයි. විශේෂයෙන් නිවසේ පිරිසුදු කරන උපකරණ, වැඩකට නැති බඩු, සියල්ල මුළුතැන්ගෙට ගොඩ ගහන නිවෙස් අප දැක තිබේ. මේවා ඉතාම අසුබ දෙයකි. නි‍ෙවසක ආලින්දයට වඩා වඩාත්ම පිරිසුදුව මනස්කාන්තව තබාගත යුත්තේ මුළුතැන්ගෙයයි. ඒ වගේම තමයි මුළුතැන්ගෙයි කුණුකසළ භාජනය, ඉඳුල් තැබිය යුත්තේ මුළුතැන්ගෙයින් පිටතයි.

වතුර කරාමයකින් වතුර කාන්දු වීම මුදල් නාස්තියිට හේතුවක්. මේක ඉතාම දරුණු ධන හානියක පෙරනිමිත්තක්. තමන්ගේ ඇසට පෙනෙන හෝ නොපෙනෙන ජල කරාමයකින් වතුර බට දෙකක් එකට සම්බන්ධ වෙන ස්ථානයකින් වතුර බිංදුවක් හෝ වැටෙනවා නම් හැකි ඉක්මනින් ඒ කාන්දුව සෑදිය යුතුයි.වතුර කාන්දු වෙනවා කියන්නේ ඒ ගෙදර විශාල ධන හානියකට හේතුවක් වෙන බවට පෙරනිමිත්තකි. කාන්දු වන ජල බිංදුව ඔබ නොදැනුවත්ව හූනියමක් බවට පත්වෙන්න පුළුවනි. ගෙදරක ඊසාන පැත්ත අවහිර වුණොත් මොකද වෙන්නේ? ගෙදරක මුලින්ම වැදගත් වෙන්නේ ඊසාන දිශාවයි. ගෙදරක සතුට නැති කරන ප්‍රධානම දේ වෙන්නෙත් ඊසාන පැත්ත අවහිර වීමයි. මොකද ඒකට හේතුව නීරෝගි පවුලක් ඉන්න ගෙදරකට ශක්තිය ගලාගෙන එන්නේ ඊසාන දිශාවෙන් නිසාය. අපි ගෙදරක ඊසාන පැත්ත අවහිර වෙන්නේ නැති විදිහට, අපවිත්‍ර වෙන්නේ නැති විදිහට, අවලස්සන වෙන්නේ නැති විදිහට නිදහසේ ශක්තිය ගලාගෙන එන විදිහට සුදුසු පරිදි ගෙදර සහ ගෙවත්ත සකස් කරලා තියෙනව නම් ඒ ගෙදර ධන වාසනාව ඉහළය. කවදාවත් නිදන කාමරයක්, මුළුතැන්ගෙයක්, නාන කාමරයක්, ගරාජයක්, නැත්නම් ගබඩා කාමරයක් වගේ දෙයක් ඊසාන පැත්තට සුදුසු නොවේ. මන්දයත් ඒ නි‍ෙවසට ගලාගෙන එන ශක්තිය අවහිර වෙන නිසාය. එබැවින් වාස්තු විද්‍යා මූලධර්මයක් හැටියට ඕනෙම ගෙදරක ඊසාන පැත්ත තමයි විසිත්ත කාමරය විදිහට ගනු ලබනුයේ. නිදහස් අවකාශය වැඩිපුරම තියෙන්නේ ඊසාන පැත්තේ නිසා වීම ඊට හේතුවයි. විශේෂයෙන් ගෙදරක ඊසාන පැත්තට බර ගෘහ භාණ්ඩ තැන්පත් කරන්න සුදුසු නැත. ඊසාන පැත්ත පවත්වාගත යුතු ක්‍රමය වන්නේ ගෘහභාණ්ඩ අඩු අවකාශ වැඩි විදිහටයි.

ඒ වගේම ඊසාන පැත්තේ වැසිකිළියක්, වැසිකිළි වළක්, මුළුතැන්ගෙයින් බැහැර කරන අප ජලය, නානකාමරයක්, කුණු රැස්කරන වළවල් මේ ඊසාන පැත්තේ ස්ථාන ගත කරන්නේ නැත. එලෙස ගබඩා කර ඇත්නම් නම් ඒ ගෙදර ගෘහ මූලිකයාගේ සිට බාලම සාමාජිකයා දක්වා වූ සියලු දෙනාම ග්‍රහචාරය කොච්චර බලවත් වුණත් ඒ ගෙදර ඇතුළේ ජීවත් වෙන්නේ අසතුටෙනි.එකිනෙකාට එකිනෙකා රුස්සන්නේ නැත.ලෙඩ වීමේ සීමාවක් නැත. අඹු සැමියන් අතර අඬදබර ඇතිවීම් සීමාවක් නැත. බටහිර දිශාව කියන්නේ අසුබ දිශාවක් නොවේ. ශක්තිය පිරුණ බලවත් දිශාවකි. නිදන කාමරවලට කෑම කාමරවලට ඉතාම සුබ දිශාවකි. නමුත් සංස්කෘතිමය කාරණාවක් නිසා කෙනෙක් මිය ගිය පසු මියගිය පුද්ගලයාගේ හිස බටහිරට තැබීමේ සංස්කෘතිමය, චාරිත්‍රමය හේතුවක් නිසාවෙන් බටහිර අසුබ දිශාවක් ලෙස මතයක් ඇත. ශක්ති ගලන නීති අනුව බටහිර ප්‍රබල දිශාවක් හැටියට පිළිගන්න පුළුවනි. එනමුත් ගෙදරක මුළුතැන්ගෙය ස්ථානගත කරන්න හොඳම පැත්ත වෙන්නේ ගිනිකොන දිශාවයි.මුළුතැන්ගෙයක් ගන්න බැරි දිශාවන් දෙකකි. ඊසාන සහ නිරිත යනු එම දිශාවනුයි. ගෙදරක මීළඟට වැදගත් දේ තමයි නාන කාමරය. නාන කාමරයකට, අපජලය ගලායන්නට, වැසිකිළි වළවල්වලට සුදුසුම දිශාව වෙන්නේ වයඹ දිශාව.

හම්බ කරලා ගෙදරට ගේන මුදල් වාෂ්ප වෙනව ද? මුදල්, වටිනා රන් අභරණ සේප්පුවක්, අල්මාරියක් කිසිම වෙලාවක වයඹ දිශාවේ තැන්පත් කරන්න එපා. වයඹ පැත්තේ තැන්පත් කරන දේ ඉතාම ඉක්මනින් ක්ෂය වේ. වයඹ සහ ගිනිකොන කියන්නේ එකම අක්ෂයක්.බටහිරට අල්මාරිය තියලා පියන් නැඟෙනහිර දිශාවට අරිනවා නම් ඉතාම සුබයි. අනිත් එක තමන්ගේ ගෙදර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගෘහභාණ්ඩවලින් පුරවන්න එපා. අඩුම තරමේ යම් ගෙදරක වර්ග ප්‍රමාණයෙන් සියයට පනහකට වඩා වැඩි ප්‍රමාණයක් හිස්ව නිදහසේ ගමන් කරන්න ගෘහභාණ්ඩවලින් තොර අවකාශය හැටියට භාවිතයට ගන්න ඕන. එතකොටයි ඒ ගෙදරට එන ධනය, සතුට බවට පත්වෙලා සතුට රැඳෙන්නේ.

අනෙක් ප්‍රධානම කරුණ වන්නේ ගෙවත්තෙන් එළියට යන ගේට්ටුව නිරිත දිශාවට ඉතාම අසුබයි. නිරිත විවෘත වෙලා තිබුණොත් ගෙදරට එන ධනය එනවට වඩා වේගයෙන් ආපසු යනවා. පතොක් වැනි කටු සහිත කිරි සහ මල් හට ගන්නේ නැති විසිතුරු පැළෑටිත් නිවෙස් ඉදිරිපිටට ඉතාම අසුබයි. ඒ වගේම වතුසුද්ද ගස් නි‍ෙවස සමීපයේ සිටුවීම කිසිසේත්ම සුදුසු වෙන්නේ නෑ. අනිත් එක කිසිම වෙලාවක ලස්සනයි කියලා සංචාරක හෝටල්වල තියෙන දේවල් ගෙවල්වල කරන්න යන්න එපා. ඒවා බලන් ඇවිත් ඒ විදිහට නිවාස සැලසුම් කරන්න එපා. හෝටල් කියන්නේ අපි ගිහින් දිනයක් දෙකක් ඉඳලා එන තැනක්. ඒවා නිර්මාණය වෙලා තිබෙන්නේ ඒ විදිහට. ඒ සැලසුම් අපි ජීවිත කාලෙම ජීවත් වෙන්න හදන නිවාසවලට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ.

අනෙක් කාරණය තමයි කවදාවත් ගෙවල් ඇතුළේ කිසිම වෙලාවක පොකුණ හදන්න එපා. හදපු දා ඉඳන් ගෙදර සතුට ධනය නැති වෙනවා. ගෙවල්වලට කරන ලොකුම හූනියම තමයි මාළු ටැංකි, වතුර වලවල්, පොකුණු කියන්නේ. ගෙදරක් සුබ වෙන්න නම් ඊසාන සහ නිරිත පැත්ත පිරිසුදුව නිරවුල්ව තබා ගන්න ඕන. පළමු හිරු රැස් වැටෙන මෙහොතේ සිට උදෑසන 8 පමණ වෙනතුරු සියලුම දොර ජනෙල් විවෘත කර තබන්න ඕන. නැවුම් වාතය, නැවුම් සූර්යාලෝකය ගෙට ගැනීම ඉතාම සුබයි. අනෙක් කාරණය දවසකට එක් වරක් හෝ ගෙදර සෑම තැනක්ම කොසු පාරක් වදින විදිහට අතුගෑම අවශ්‍යයි.

TEXT – සඳලි සත්සරණි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?