Thursday, June 11, 2026
Epaper
Home විශේෂාංගතාක්ෂණික නරුමත්වය සහ මානසිකත්වය

තාක්ෂණික නරුමත්වය සහ මානසිකත්වය

by Shanaka Lakehouse

කොළඹ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යයකු සහ ගුරුවරියන් පිරිසක් සම්බන්ධ වීඩියෝ පෙළක් පසුගියදා සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය. මෙය හුදු ඕපාදූපයක් නොවේ. මෙය මෙරට අධ්‍යාපන පද්ධතියම මවිත කළ ඛේදවාචකයකි. මෙම සිදුවීමට මැදිව ඇත්තේ දහනව හැවිරිදි ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකි. අනෙක් පසින් ගුරුවරියන් සිවුදෙනෙකි.

මෙම සිදුවීම මතුපිටින් බලන්නෙකුට හුදු ලිංගික ආසාවන් ඉටුකර ගැනීමේ ක්‍රියාවක් ලෙස පෙනෙන්නට පුළුවන. එහෙත් මෙහි යටින් දිවෙන අර්ථකථනය ඊට වඩා ගැඹුරුය. මෙය මුදල් බලය, නොමේරූකම සහ ඩිජිටල් යුගයේ අනුකම්පා විරහිත බව එකට කැටි වූ විෂකුරු ජාලයකි. මෙය හුදෙක් කායික බැඳීමක් නොව සබඳතා ව්‍යාපාරයක් කරගත් නූතන සමාජ කුහකත්වයේ නිරුවතයි. තාක්ෂණය අවියක් කරගනිමින් ගෞරවනීය වෘත්තියක සදාචාරාත්මක පදනම දියකර හැරීම මෙහි ඇති සැබෑ ඛේදවාචකයයි.

අතීතයේදී ගුරුවරයා යනු මවුපියන්ට පසු සිටින උතුම් මඟපෙන්වන්නාය. අද වන විට එම “ගුරු දේවතාවා” යන සංකල්පය දරුණු ලෙස බිඳ වැටී ඇත. ගුරුවරයකුට පුද්ගලික ජීවිතයේ ආර්ථික හෝ සමාජීය පීඩනයන් තිබිය හැකිය. එහෙත් එම ගැටලු හමුවේ තම හැඟීම්වලට වහල් වීම අනුමත කළ නොහැකිය. තමන්ගේම පාසලේ සිසුවකුගේ උගුලකට හසුවීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ බුද්ධිමය පිරිහීමයි. මෙය සමස්ත ගුරු පරපුරටම රතු එළියක් දල්වා තිබේ .

මෙහි අනෙක් පාර්ශ්වය වන්නේ තාක්ෂණය ආයුධයක් කරගත් දහනව හැවිරිදි තරුණයායි. ඔහු මෙම ගුරුවරියන් ගොදුරු කරගෙන ඇත්තේ ඉතා සැලසුම්සහගතවය. “හස්බන්ඩ් ගෙදර ඉන්නවාද?” වැනි ප්‍රශ්න අසමින් ඔහු මෙම සංවාද අරඹා ඇත. ඔහු මෙවැනි ක්‍රියාවකට යොමු වී ඇත්තේ “පොරක්” වීමේ නින්දිත අභිලාෂයෙන් විය හැකිය. මෙම වීඩියෝ නිසා අදාළ පවුල්වල අනාගතය දැනටමත් අඳුරු වී හමාරය. සමාජයක් ලෙස අප මෙම සිදුවීම දෙස බැලිය යුත්තේ මානුෂීය කෝණයකිනි. මෙවැනි අපකීර්තියක් හමුවේ ඕනෑම පුද්ගලයකු සියදිවි නසා ගැනීමට පවා පෙලඹිය හැකිය. සමාජය මෙම වීඩියෝ නරඹමින් වින්දනයක් ලබන අතරතුර එම පුද්ගලයන්ගේ ජීවිත විනාශ වෙමින් පවතී. අප පුද්ගලයන්ට ගල් ගැසීමට පෙර මෙවැනි විනාශයන් වැළැක්වීමට මවුපියන් සහ සමාජය අසමත් වූයේ මන්දැයි ප්‍රශ්න කළ යුතුය.

මෙම සංකීර්ණ සමාජ ක්‍රියාවලිය නිවැරදි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අදාළ ආයතන වහාම මැදිහත් වී ගුරුවරුන් සඳහා පුළුල් උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. හුදු විෂය නිර්දේශයට පමණක් සීමා නොවී ගුරු වෘත්තියේ ඇති වටිනාකම, එහි ඇති සදාචාරාත්මක ගැඹුර සහ සමාජීය වගකීම පිළිබඳව ඔවුන්ට නිරන්තර අවබෝධයක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ආර්ථික සහ සමාජීය ගැටලු හමුවේ වුවද තමන්ගේ වෘත්තීය අභිමානය ආරක්ෂා කරගනිමින් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ගුරුවරුන් දැනුවත් කිරීමේ සැසිවාර අඛණ්ඩව පැවැත්විය යුතුය.

එසේම සමස්ත පාසල් පද්ධතිය තුළම විශාල පරිවර්තනයක් සිදු විය යුතු බව මෙම සිදුවීම මඟින් අවධාරණය කෙරේ. තාක්ෂණය සහ ඩිජිටල් මාධ්‍ය භාවිත කිරීමේදී සිසුන් අනුගමනය කළ යුතු සදාචාරාත්මක සීමාවන් සහ එහි නීතිමය බරපතළකම පිළිබඳව පාසල් මට්ටමින් දැඩි අවධානයක් යොමු කළ යුතුය. ගුරු-ශිෂ්‍ය සබඳතාවයේ ගෞරවය සුරකින නව ආචාරධර්ම පද්ධතියක් සහ නිරීක්ෂණ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මඟින් මෙවැනි ඛේදවාචකයන් අනාගතයේදී වළක්වා ගැනීමට කටයුතු කළ යුතුව ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?