වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මනාල යුවළට ආශීර්වාද ලැබෙන පෝරුවේ චාරිත්‍රවල වැදගත්කම
ආසන්න වශයෙන් හෝරාවක පමණ හෝ කාලයක් පෝරුවේ චාරිත්‍ර සඳහා ගත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නම් එය ඉතාම චමත්කාරජනක අන්දමින්, වඩාත් අර්ථාන්විතව කළ හැකි වේ.
සිංහල සංස්කෘතිය හා බැඳුණු විවාහ චාරිත්‍ර අතුරින් පෝරුවේ චාරිත්‍ර සඳහා වැඩි ඉඩකඩක් වෙන්වේ. හෙල කුලසිරිතට අනුව අතගන්නා මනාලිය පෝරු මස්තකාරූඪ වන දිනය පිළිබඳ සිහින සිතුවිලි අතර නිමග්නව සිටියි.
අතීතයේ එක් යුවළක් සඳහා නිර්මාණය කරන ලද පෝරුවක් තවත් යුවළකගේ පරිහරණයට නොගැනීම සම්ප්රදායයි. අදවන විට ඒ සියල්ල කණපිට හැරී පෝරුව හා පෝරුවේ චාරිත්‍ර කාලයේ තාලයට අනුව අලුත් වෙමින් පවතී. එසේ නොවුණි නම් ඇතැම් විට 'පෝරුව' යන සංකල්පය අපෙන් ඈතට දිව ගිය එකක් වේවි.
විවාහ මංගල්‍යය යනු පෝරුවේ චාරිත්‍ර යැයි කීම වඩාත් නිවැරැදියි. අද වනවිට ඇතැම් යුවළ අතින් එතරම් ගණන් නොගන්නා තැනට පත්ව ඇත්තේත් පෝරුව චාරිත්‍රයි.
අඩු වටිනාකමක්
පෝරුවේ චාරිත්‍ර එළිමහනේ සිදු කිරීම පවා අනුමත කළ නොහැකි දෙයකි. මේ යුගයේ විවාහපත්වන යුවළ පෝරුවේ චාරිත්‍ර නොකරාම බැරි නිසා සුළු වේලාවක් ඒ සඳහා වැය කොට කරන්නට සිතයි. එහෙත් ෆොටෝ ෂූට් සඳහා, Dancing Floor යනාදියට වැඩි වේලාවක් යොදවන්නට කිසිම මැලිකමක් නොදක්වයි.
පෝරුවේ චාරිත්‍ර සිදු කිරීමෙන් අලුත විවාහපත්වන යුවළ නෑ හිතවතුන්ගෙන් ලබන ආශීර්වාදය, මනා උපදේශනය අතිශය වැදගත් එකකි. අවාසනාවකට එය අවබෝධ කරගත් පිරිස් සිටිනුයේ අල්ප වශයෙනි. ඔවුන් ඡායාරුප ඇල්බමයට යෙදීමට, මාපියන්ගේ පෙරැත්තය නිසාම පෝරුවේ චාරිත්‍ර කරන්නට සිතයි.
පෝරුවේ චාරිත්රවේදීන්ගෙන් ඇතැමුන් අද වනවිට තමාට ලැබෙන මුදල පමණක් පිළිබඳ සිතා මනාල යුවළගේ ඕනෑකමට උඩින් පල්ලෙන් චාරිත්‍ර සිදු කිරීම අනුමත කළ නොහැකි දෙයකි.
පෝරුවේ චාරිත්‍ර සිදු කරද්දී ඊට අවශ්‍ය අඩුම කුඩුම මනාල යුවළ විසින් ම සපයාදීම වඩාත් වටී. එහිදී අඩුම තරමේ ඒ සඳහා යොදා ගත්තේ මොනවාදැයි යන්න පිළිබඳව හෝ නව යුවළට වැටහීමක් ඇතිවේවි. අෂ්ටකධාරියා විසින් මේවා සපයාදීමට වඩා එය වඩාත් සාර්ථක වූවකි. මෙහිදී පිරිත් නූල්, පිරිත් පැන් පවා නියමම අන්දමින් සපයා ගනීවි.
පෝරුවේ චාරිත්‍ර සිදු කරද්දී නව යුවළ සිටිනුයේ මංගල සභාවේ සිටින අනෙක් සෑම අයකුටම වඩා ඉහළිනි. පූජ්‍ය පක්ෂයේ කෙනකු වැඩ සිටියත් මනාල යුවළ සිටිනුයේ ඉහළිනි. මංගල උළෙලක දී මෙලෙස ඉහළට ඔසවා තබා ඔවුන්ට සියලුම ආශිර්වාදයන්, උපදේශනයන් චාරිත්‍ර ලෙසින් සිදු කොට පෝරුවෙන් බස්සවයි. එනම් මංගල සභාවේ සෙසු අයගේ තැනට ගනියි. දෙවියන්ට, බුදුන්ට දල්වන පහන්, සශ්‍රීකත්වයේ සංකේතය බඳු පුන්කලස් මේ සියල්ල ඇත්තේ පය පාමුලයි. පෝරුවේදී නව යුවළ සහල් වර්ග, ධාන්‍ය වර්ග ආදිය පෑගීමට පවා සිදුවේ.
ඒ චාරිත්‍ර කරන අවස්ථාවේදී ඔවුන් උසස් ලෙස සැලකෙන නිසායි.
මෙම චාරිත්‍ර ඉටු කිරීම සඳහා ගන්න බඩු ලැයිස්තුව අෂ්ටකවේදීන්ගෙන් වේදීන්ට වෙනස්වන අවස්ථාත් දක්නට ලැබේවි. එහෙත් බුලත්, සහල්, ලදපස්මල් පමණක් කිරීම පවා සෑහේවි.
ගතකරන කාලය
නැකැත් සාදද්දී මනාල යුවළට ආසන්න වශයෙන් හෝරාවක පමණ හෝ කාලයක් පෝරුවේ චාරිත්‍ර සඳහා ගත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නම් එය ඉතාම චමත්කාරජනක අන්දමින්, වඩාත් අර්ථාන්විතව කළ හැකිවේ. පෝරුවේ චාරිත්‍රවල නියමම ආශිර්වාදය ගැබ්ව ඇත්තේ අෂ්ටක, කවි වලයි. චාරිත්‍ර ටික පමණක් කිරීමෙන් මෙම කර්තව්‍යය ඉටු නොවේවි. අපේ සංස්කෘතියට අනුව විවාහය යනු දෙවැනි උත්පත්තියයි. එමනිසා පෝරුවේ චාරිත්‍රවලින් ලබන ආශිර්වාදය මුළු විවාහ දිවියට සෙතක්ම වේවි.
පෝරුවේ චාරිත්‍ර කිරීමට නිශ්චිත වේලාවක් නොමැත. එහෙත් සාමාන්‍යයෙන් දිවෙන රටාවක් තිබේ.
පෝරුවට නැග්ගවීම
මෙය මනාල යුවළගේ පියා ජීවතුන් අතර සිටී නම් පියා අතින් සිදුවිය යුතු දෙයකි.
හුරුලු පිදීම
හත්මුතු පරම්පරාව සිහිකරමින් බුලත් වෙන් කිරීම මේ චාරිත්‍රයෙන් ඉටුවේ. පෝරුවේ චාරිතුවලදී බුලත් 2 සිට 40 දක්වා ප්‍රමාණයක් බුලත් උරුල්ලක් ලෙස හඳුන්වයි. ඒ සඳහා නියමයක් නැත. මෙය තරමක් උසකින් තබයි.
මංගල මුදු පැලඳීම
මුද්දේ තිබෙන රවුම මෙන් නව යුවළ සංසාරය පුරාවට එකට එක්ව සිටියි. එය රත්තරන් මෙන් වටිනා ආදරයකි. වෙදැඟිල්ලේ මුදු පලඳින්නේ එය හෘදයවස්තුව හා සෘජුවම සම්බන්ධවන නිසායි.
මේ මොහොතේ වඩාත් වටිනා ආභරණවලින් මම ඔබව සරසමි.
දෙවැනි ගමන සඳහා වන සාරිය ලබාදීමෙන් මම ඔබව රෙදිපිළිවලින් ද සරසමි. යන්න අර්ථවත් කරයි.
සුදු පිරුවට නිවැරැදිව නම් මනාල යුවළටම ඇන්දවිය යුතුයි. ඒ පිරිසුදුකම දෙදෙනාම සතු දෙයක් විය යුතු නිසාවෙනි.
කිරිබත් ඇතුළු කැවිලි පිඟානක, කිරි වීදුරුවක්
පෝරුවේදී කැවිලි පිඟානෙන් සංකේතාත්මකව කිරිබත් කෑල්ලක් දෙදෙනාම කවා ගනිමින්, කිරි වීදුරුවක් බීමෙන් අදහස් වන්නේ 'දිවි ඇති තුරාවට කෑමෙන් බීමෙන් මම ඔබට සංග්‍රහ කරමි' යන්නයි.
ගෝලීයකරණයත් සමඟින් අද වනවිට කාන්තාවගේ අවශ්‍යතාවන් වැඩිවිය යුතු වුවත් කෑමෙන්, බීමෙන්, සළුපිළිවලින් ආභරණවලින්, ආදරයෙන් සංග්‍රහ කරමි යන්න මූලික වශයෙන් අදහස් වේ.
අතපැන් වත්කිරීම
මනාල යුවළ නීත්‍යානුකූලව විවාහ වූ බව කසාද සහතිකයෙන් පෙන්වද්දී චාරිත්‍රානුකූලව විවාහ වූ බව නිරූපණය වන්නේ අතපැන් වත්කිරීමෙනි. මෙය පෝරුවේ ප්‍රධානම චාරිත්‍රයයි. මේ සඳහා සුළැඟිල්ල හෝ මහපටැඟිල්ල යොදා ගනියි. මනාල යුවළගේ පියවරුන් මේ සඳහා සහසම්බන්ධ වෙයි.
මෙහිදී පිරිත් නූලෙන් බැඳ පිරිත් පැන් වත්කරයි. මින්පසු ඔවුන් සැමියා සහ බිරියයි. මේ නූලේ ගැටය ලිහා ගැනීම මනාල යුවළ විසින්ම කරගත යුතුයි. මින්පසු ජීවිතයට කුමන බාධා ආවත් තමා විසින්ම ඒවා විසඳා ගත යුතු බව එයින් පසක්කරලයි. මේ නූල බුලත් කොළයක ඔතා මනාලයා අතටම දෙයි.
අතපැන් වත්කළ පසු ජයමංගල ගාථා කියයි. පෙරදි නම් මල්වර නොවු දැරියන් මේ සඳහා එක්කර ගනියි.
හඟල හුරුලු පිදීම
බුලත් හුරුලු කාසියක් සමඟ එකිනෙකා හුවමාරු කරගනිමින් පෝරුව මතට හෙළීම ඊළඟට සිදු කෙරේ. මෙහිදි මනාලිය මනාලයාට පොරොන්දු හතරක් ලබා දෙමින් මවක් මෙන් රැකබලා ගනිමි, සොයුරියක් මෙන් රැකබලා ගනිමි, යහපත් බිරියක් ලෙස රැකබලා ගනිමි, දාසියක් මෙන් රැකබලා ගනිමි ලෙස බුලත් ලබා දෙයි.
ඉන්පසු මනාලයා විසින් මනාලියට බුලත් හුරුලු ලබා දේ. මවක් මෙන් රැකබලා ගැනීම පිළිගනිමින් පීතෘ ආරක්ෂාව ලබා දෙන බවට පොරොන්දු වෙයි. සොයුරියක් ලෙසට රැකබලා ගැනීම පිළිගෙන වැඩිමල් සොයුරෙක් ලෙසින් රැකබලා ගන්නා බවට පොරොන්දු වෙයි. දෙවනුව බිරියක් ලෙසට පිළිගෙන යහපත් ස්වාමිපුරුෂයකු ලෙසින් රැකබලා ගන්නා බවට පොරොන්දු වෙයි. අවසානයේ දාසියක් ලෙසට සලකන පොරොන්දුව මනාලයා පිළිනොගනී. මනාලයා බුලත් හුරුලු 3ක් පමණක් ලබා දෙන්නේ ඒ අනුවයි.
කච්චි කිරිකඩ පිදීම
පෝරුවේ ඇති සංවේදිතම අවස්ථාව මෙයයි. මෙහිදී මනාලියට තම මව පෙවූ කිරි රෙද්දක පෙඟවූ පසු එය කෙතරම්දැයි මනාලයා ඇසූවිට රෙදි කච්චියක් යැයි මව කීවේලු. පෝරුවේදී මනාලියගේ මවට රෙදි කච්චියක් ලබා දෙන්නේ ඒ අනුවයි. රෙදි කච්චියක් යනු වර්තමානයේ රෙදි පීස් එකක් යන්නයි. අද වන විට මෙය නවීකරණය වී රෙදි කච්චියක් සඳහා සාරියක් ලබාදෙයි. මනාලියගේ පියාට, මනාලයාගේ මවට, පියාට ද ත්‍යාග ලබා දෙයි.
මවට රෙදි කච්චිය දෙන විට පෙරදී අතපැන් වත්කරන විට ගත් නූල ද ලබාදෙයි. රනින් කිල්ලෝටෙයි, ඇමිණු එරන් කෙන්දයි යනු මේ නූලයි. එදා හුණු කිල්ලෝටය චීත්තයේ එල්ලාගෙන සිටියි. ගිරය, හුණු කිල්ලෝටය යනු එදා වටිනා වස්තූන්ය.
පෝරුවෙන් බැස යෑම
පෝරුවට නැග්ගුවා සේම පෝරුවෙන් බසිද්දී දෙපාර්ශ්වයේ පියවරුන් අතින් අල්ලා නව යුවළ බස්සවයි. මෙහිදී දකුණු කකුල පෙර තබා එක් පියගැට පෙළක් බසිද්දීම පොල්ගෙඩිය බිඳීම සිදු කරයි.
එහිදී පොල් ගෙඩිය හරිමැදින් නොබිඳීම, කෑලිවලට කැඩීම අසුබ නිමිත්තක් නොවේ. ඉන් අදහස් වන්නේ වාතයටවත් නිරාවරණය නොවූ පිරිසුදු වතුර, පොල්ගෙඩියේ සුදු පැහැය යනාදියේ පාරිශුද්ධ බව මංගල වස්තූන් ලෙස දකියි. පොල්ගෙඩියෙන් වස්දොස් නිවාරණය වේ යැයි සිතීම මුලාවකි.
උපදෙස්-
මංගල පෝරු චාරිත්රවේදී
රෙහාන් සේනාධීර