මල් මංගල්ලය වර්ණවත් කරන සුන්දර කේක් නිර්මාණ

මැයි 15, 2023

කේක් නිර්මාණයක් වඩාත් අලංකාර වන්නේ ඊට එකතු කරගන්නා මල්,කොළ, පබලු, රිබන් ආදියෙනි. සකසා ගත් අයිසිං භාවිතයෙන් මේ මල්,කොළ ආදිය තනා ගැනෙන අතර, වර්තමානයේ දී බොහෝ විට ස්වභාවික මල්, කොළ මේ සඳහා භාවිත කරනු දැකිය හැකිය. වඩාත් සොඳුරු නෙත පිනවන රෝස, ඩේසි,කපුරු, ජර්බරා,ඕකිඩ් වැනි මල් වර්ග ඒ සඳහා යොදා ගැනේ. ඇතැම් විටෙක මේ මල්වලට වර්ණ ස්ෙප්‍ර් කිරීම හරහා නිර්මාණයට අවශ්‍ය වර්ණැති මල් සකසා ගත හැකිය.

ආදරණීය දෙහදක් සෙනෙහසින් බැඳුණු දිනයේ පටන් ඇඟිලි ගණින්නේ සුබ මොහොතින් පතිකුලයට පිය නඟන්නටයි. ජීවිතයේ සුබ සිහින ඉටු කරගන්නා ඒ සොඳුරු දිනය සදා නොමැකෙන මතක සටහනකි.

ඉතින් ඒ වෙනුවෙන් ඔබ ලක ලැහැස්ති වන්නේ මාස ගණනාවකට පෙර සිටමයි. සොඳුරු මනාලියක, මනාලයකු ලෙසින් හැඩ වැඩ වෙන්නට අමතරව හරි අපූරු මංගල කේක් එකක් නිර්මාණය කරගන්නටත් මෙහිදී ඔබ අමතක කරන්නේ නැහැ. මන්ද මංගල උත්සවයක මනාලියට දක්වන අවධානයම බොහෝ විට මේ කේක් නිර්මාණය වෙතට ද ලැබෙනවා. ඉතින් ඒ නිසාම මල් මංගල්ලයක කේක් නිර්මාණයක් කියන්නෙත් හරිම වැදගත්.

මේ වනවිට බොහෝ මංගල උත්සව තේමාවකට අනුව සැලසුම් කෙරෙන අතර කේක් ආකෘතිය ද ඊට ගැළපෙන ආකාරයට සකසා ගැනේ. මෙහිදී බොහෝ දෙනකු රිජිෆෝම් ඩමි යොදාගෙන තට්ටු කිහිපයකින් යුත් සොඳුරු පෙනුමැති කේක් සකසා ගන්නා අතර, ඔබ කැමති නම් එය සම්පූර්ණයෙන්ම කේක්වලින් ද නිර්මාණය කරගත හැකියි. සාමාන්‍යයෙන් උත්සවයට සහභාගි වෙන අමුත්තන් වෙත අලංකාරව ඇසුරුම් කළ කේක් කැබලි පිළිගැන්වෙන බැවින් කේක් වෙනුවට ඩමි යොදා ගැනීම ගැටලුවක් නොවෙයි. මෙහිදී මනාල යුවළට කැපීම සඳහා වෙනම කොටසක් ඩමියට හෝ කේක් නිර්මාණයේ තැනකට ඇතුළු කෙරෙන අතර, ඔබ කැමති නම් ආකෘතියේ එක් තට්ටුවක් කේක්වලින්ම සකසා ගත හැකිය. එය නිර්මාණය අනුව වාගේම ඔබට වැය කළ හැකි මුදල මත තීරණය වේ.

මංගල කේක් නිර්මාණයට බොහෝ විට වර්ණ කීපයක්ම යොදා ගැනෙනවා. මෙහිදී දෙවැනි මනාලියන්ගේ සහ මල් කුමාරියන්ගේ ඇඳුමේ වර්ණය අනුව කේක් නිර්මාණයට වර්ණ තෝරා ගැනෙන අතර, විශේෂයෙන් ඇඳුම්වල පැහැයට ගැළපෙන පැහැයෙන් මල්, පබලු, රිබන් ආදිය යොදා ගැනේ. ඊට අමතරව මනාලියගේ කොණ්ඩා සැරසිල්ලට, මල් කළඹට යොදා ගන්නා මල් හෝ එම මල්වලට ගැළපෙන මල් කේක් නිර්මාණයට ද තෝරා ගැනීමත් දැකිය හැකියි.

*******************

වර්තමානයෙහි දෙවැනි ගමනට සකසා ගන්නේ ද තරමක් කුඩා කේක් නිර්මාණයකි. බොහෝ විට උත්සවය පැවැත්වෙන ස්ථානය අනුව කේක් එකේ ප්‍රමාණය තීරණයවන අතර, නිවෙසක පැවැත්වෙන උත්සවයකට ගැළපෙන්නේ කේක්වලින්ම සකසා ගත් තනි තට්ටුවක හෝ තට්ටු දෙකක කුඩා කේක් එකකි. නමුත් උත්සව ශාලාවක අමුත්තන් වැඩි පිරිසක් සහභාගිවන දෙවැනි ගමනක් සඳහා ඔබට තට්ටු කිහිපයක කේක් ආකෘතියක් සකසා ගත හැකිය.

 

දෙවැනි ගමනේ කේක් නිර්මාණය සඳහා බොහෝ විට රතු පැහැ වර්ණය භාවිත කෙරේ. රත් පැහැති මල්, මල් පොහොට්ටු, පබලු, රිබන් ආදියෙන් එය හැඩ වැඩ කෙරෙනු ඇත.

 

*******************

මංගල කේක් ආකෘති තට්ටු කිහිපයකින් සමන්විත වුවද විවාහ ගිවිස ගැනීම සඳහා සැකසෙන්නේ බොහෝවිට තනි තට්ටුවක හෝ තට්ටු දෙකක තරමක කුඩා කේක් නිර්මාණයකි. මෙම විවාහ ගිවිසුම් කේක් නිර්මාණය මනාලියගේ සාරියට, ආභරණවලට මෙන්ම මල් කළඹ ගැළපෙන අන්දමට සකසා ගැනේ.

මෙහිදී නිර්මාණය තරමක් කුඩා බැවින් රිජිෆෝම් ඩමි වෙනුවට කේක්වලින්ම නිර්මාණය සකසා ගැනේ. එහිදී තනි තට්ටුවක් නම් කිලෝ 2ක් ප්‍රමාණවත්වන අතර, තට්ටු දෙකක නිර්මාණයකට කේක් කිලෝ 4 ක් පමණ යොදා ගත හැකිය.

 

උපදෙස් -

අප්ලන්ඩ් කේක් ඇන්ඩ් ඇකඩමිහි

කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක

 

පිටු සැකසුම -මධුර ප්‍රභාත් ගමගේ