අඩු වියදම් විවාහ මංගල්‍යයක් සඳහා මඟ පෙන්වීමක්..

මැයි 9, 2022

 

ජීවිතයේ සොඳුරුතම දිනය මංගල දිනයයි. ඒ නිසා මංගල දිනය ඉතාමත් අලංකාරවත්ව පැවැත්වීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වයි. එය කොතරම් විසල් කැමැත්තක් ද කිවහොත් තමා ජීවිතකාලය පුරා එකතු කරගත් මුදල් වියපැහැදම්කර හෝ ණය වී මංගල උත්සවය පැවැත්වීමට කටයුතු කරයි.

 

එහෙත් ජීවිතයේ ලස්සනම දිනය පසුකාලීනව ජීවිතයේ වේදනාවට පාර කැපූ දිනය කරනොගැනීමට තරම් ඔබ බුද්ධමත් විය යුතුය.. තමා ජීවිත කාලයක් පුරා අරපිරිමැස්මෙන් එකතු කළ සියලු මුදල් එක් දිනයකදී වියදම් නොකර, ණය ගෙන ජීවිතයේ හොඳම කාලයේ ණය ගෙවමින් දුක් නොවිඳීමට නම් මංගල දිනය හොඳින් සැලසුම් කරගන්න.

මේ වන විට සෑම දෙයක් ම අධික ලෙස මිල ඉහළ ගොස් ඇති බැවින් මංගල උත්සවයක් පැවැත්වීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුත් සකසුරුවමින් හොඳින් හිතා බලා අවම වියදමින් සොඳුරු මංගල උත්සවයක් පැවැත්විය හැකියි.

මංගල උත්සවයට දින තීරණය කරගත් පසුව තමාගේ වැඩිහිටියන්, මිතුරන් සමඟින් මංගල උළෙල සැලසුම් කරන්න. මිතුරු මිතුරියන්ගෙන් ඔවුනගේ අත්දැකීම් ආදිය ඔබේ මංගල උත්සවය සැලසුම් කිරීමේ දී යොදා ගත හැකියි. මේ වන විට මංගල උත්සවය දින දෙකකට නැතිව එක් දිනක පමණක් පැවැත්වීම බොහෝ වටිනා ප්‍රවණතාවකි. ඉන් ඔබට වැඩි මුදලක් ඉතිරි කරගැනීමට පුළුවන්.

ඔබේ විවාහයට ඇරැයුම් කළ යුත්තේ අත්‍යවශ්‍යම වූ සුළු පිරිසකට පමණයි. ළඟම ඥාතීන්, ළඟින් ම ඇසුරු කරන මිතුරන් කිහිප දෙනෙක් ආදී ලෙසින් ඉතාම

හිතවත් කිහිප දෙනකුට ඇරැයුම්කර සහභාගී වන පිරිස හැකි තරම් අවමකර ගැනීම ඔබට පහසුවක්.

ආරාධනා පත්‍ර සැකසීමේ දී අඩුම වියදමකින් ලස්සනට මංගල ආරාධනා පත්‍රයක් ඔබටම සැලසුම් කළ හැකියි. පිටකොටුවේ මැලිබන් වීදියේ ඇති මංගල ආරාධනා පත්‍ර සකසන කඩවලට ගොස් ඔබේ වියදමට ගැළපෙන ආරාධනා පත්‍රයක් සපයා ගත හැකියි. එමෙන්ම අද සෑම දෙනකුම පාහේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන බැවින් ඔබට ඊ කාඩ් එකක්, ඩිජිටල් මංගල ඇරියුම් පතක් සකසා එය වට්ස්ඇප්, වයිබර් වැනි අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ බෙදා හැරිය හැකියි. වැඩිහිටි ඥාතීන් හෝ සාමාන්‍ය ඇරියුම් පතක් ලබා දිය යුතු අත්‍යවශ්‍යම කිහිපදෙනකුට පමණක් එවැනි ආරාධනා පත් සීමිත සංඛ්‍යාවක් ඔබට සකසා ගැනීමෙන් වියදම අඩුකර ගත හැකියි.

ඔබේ ඉතා ම හිතවත් විවිධ දක්ෂතා ඇති මිතුරු මිතුරියන් සිටී නම් ඔවුනගේ උදවු ලබා ගැනීමට මේ හොඳම මොහොතයි. මනාලියන් හැඩගන්වන රූපලාවණ්‍ය ශිල්පිනියන්, ඩී.ජේ.කරන, මල් සැකසුම් කළ හැකි, ඡායාරූපශිල්පීන් වැනි මිතුරු මිතුරියන් මේ අවස්ථාවේ ඔබට වැදගත් වේ. එවැනි මිතුරන්ට ඔබට දෙන මංගල ත්‍යාගය ලෙස ඔවුන්ගේ දක්ෂතාවෙන් කළ හැකි උදවුව හෝ වට්ටමක් සහිතව ඔවුන්ගේ සැපයුම ලබා දීම ඔබට වියදම අඩුකර ගැනීමට හොඳම දෙයකි.

ඇඳුම් පැලඳුම් තේරීමේ දී ඉතා චාම්, සුන්දර වැඩි මුදලක් වැය නොවන ආකාරයේ ඇඳුම් පැලඳුම් තෝරා ගන්න. මදිපුංචිකමක් ලෙස නොසිතා තමාගේ සොයුරියගේ, මිතුරියකගේ මංගල සාරියක් ඔබට ගැළපේ නම් හෝ එය ගැලපෙන ලෙස සකසා ගත හැකි නම් මංගල සාරිය සඳහා යන ලොකු වියදමක් ඔබට ඉතිරිකර ගැනීමට පුළුවන්. එසේත් නැතිනම් ඇඳුම් නිර්මාණ ශිල්පියකු ලවා තමාට වියදම් කළ හැකි මුදල ගැන පවසා අවශ්‍ය පරිදි ඇඳුමක් සකසා ගත හැකියි. රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය තමා සිටින නගරයේ තමාට ආසන්නයෙන් ම සොයා ගන්න. දුර සිටින අයකුට ගමන් වියදම් හෝ විශාල මුදලක් ලබා දීමට සිදුවන නිසා මෙය ඔබට පහසුවක් වේවි. එසේම එම ස්ථානයට සඳහා යාමට ඉන්ධන සඳහා ද විශාල මුදලක් වැය කළ යුතු වෙයි.

ගොයිං අවේ (Going away) ලෙස සැරසෙන මනාලියට එම ඇඳුම් පැලඳුම් හා හැඩගැන්වීමට යන මුදල ඔබට ඉතාමත් පහසුවෙන් ඉතිරිකර ගැනීමට හැකියි. මංගල දිනයේ මනාලියක් ලෙසම පිටව යාම වඩාත් සොඳුරු දසුනකි. එමනිසා කාලය හා මුදල් නාස්තිවන මේ කොටස මඟහැරීම ඔබට විශාල පහසුවක් සලසාවි.

එමෙන්ම දෙවැනි මනාල, මනාලියන් හා මල් කුමර, කුමරියන් සීමා කරන්න. හැකි නම් එවැන්නන් එක් අයකු බැගින් පමණක් සූදානම් කරගන්න. මෙයින් ද ඔබට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වේ. සෙටි බැක් හා පෝරුව සඳහා බොහෝ දෙනෙක් ස්වභාවික මල් යොදා ගැනීමට කැමැත්තක් දක්වයි. එහෙත් එය මිල අධික දෙයකි. ඔබට ස්වභාවික මල් ලෙසම පෙනෙන කෘත්‍රිම මල් මේ සඳහා යොදා ගත හැකියි. එසේ කෘත්‍රිම මල් පමණක් යොදා ගැනීමට අකැමැති නම් ඔබට මේ සඳහා ස්වභාවික මල් හා කෘත්‍රිම මල් මිශ්‍රකිරීමෙන් මේ සැරසිලි කරගැනීමට පුළුවන්. මේස සැරසිලි සඳහා ද ඉතාම චාම් මෝස්තරයක් යොදා ගන්න. මේ සඳහා තේමාවන් යොදා ගන්නේ නම් බරපතල තේමාවන් යොදා නොගෙන ඉතා සරල තේමාවන් යොදා ගන්න. එය ඔබට පහසුවක් මෙන්ම මුදල්ද ඉතිරි කරන්නකි.

ඔබට වැඩිම වියදම යන්නේ මංගල උත්සව ශාලාව වෙනුවෙනි. මේ සඳහා ගෙවත්ත සහ ඇතුළත ඉඩ කඩ ඇති හොඳ නිවෙසක් තිබේ නම් ඔබට එම නිවෙසේ ම මංගල උත්සවය පැවැත්විය හැකියි. ආහාර කේටරිං එකකට භාරදීමෙන් ඔබට අවශ්‍ය ආකාරයෙන් සකසා ගත හැකියි. ඔබට ඉඩකඩ සහිත නිවෙසක් නැතිනම් පරිසරය ආශ්‍රිතව නේචර් වෙඩිං එකක් කළ හැකියි. මේ සඳහා ඉඩකඩ ඇති උද්‍යානයක්, මුහුදු වෙරළක් තෝරා ගත හැකියි. එළිමහන් උත්සවයක් ලෙස වෙනස්ම ආකාරයේ මංගල උළෙලක් අඩු වියදමින් වැඩි ලස්සනකින් යුතුව සිදු කළ හැකියි.

මෙහිදී ආහාර මෙනුව සඳහා අනවශ්‍ය ලෙස මස් වර්ග කිහිපයක් හෝ එකම ආකාරයේ ආහාර, වැඩි දෙනෙක් නොගන්නා ආහාර ඇති මෙනු අතහැර සරල රසවත් ආහාර මෙනුවක් තෝරා ගන්න. හෝටලයෙන් ඔබට ලබා දෙන මෙනු පමණක් නොවේ, ඔබේ කැමැත්තට අනුව ආහාර තෝරාගත් මෙනුවක් ඔබට ඔවුන්ට ඉදිරිපත්කර එය සකසා දෙන ලෙස ඉල්ලීමක් කළ හැකියි. හෝටල්වල අතුරුපස වර්ග විශාල සංඛ්‍යාවක් ඇති බව මංගල උත්සව සඳහා සහභාගී වූ ඔබ හොඳින් ම දන්නා දෙයක්. නමුත් බොහෝ දෙනෙක් රස විඳින්නේ ඉන් කිහිප වර්ගයක් පමණයි. එමනිසා අතුරුපස වර්ග 4-5ක් පමණ තෝරා ගැනීමෙන් ඔබේ අනවශ්‍ය වියදම් අවම කරගැනීමට පුළුවන්.

වෙඩිං කේ්ක් එක සඳහා වැඩි වියදමක් යන බැවින් ඒ සඳහා කප් කේක්, ජා කේක්, ගෝල්ඩන් වෙඩිං කේක් තෝරා ගත හැකියි. එමෙන්ම වැඩිම මුදලක් වැය වන මත්පැන් ඔබට වියදම් තීරුවෙන් කපා හැරීමට පහසුවෙන් ම හැකියාව තිබේ. ප්‍රී ෂූට් සංස්කෘතිය මෑතක දී ආ දෙයක් නිසා මෙය ඔබට කිසිදු අපහසුවක් නැතිව අතහැරීමට පුළුවන්. එය කළ යුතුම නම් අමතර ඇඳුම් පැලඳුම් සඳහා වැඩි වියදමක් නොකර තමාට තිබෙන දේ භාවිත කරමින් ආසන්නතම ලස්සන ස්ථානයක දී එය අඩු වියදමකින් කළ හැකියි.

මෙතෙක් කතා කළ සියල්ල ඔබට යන වියදම් පමණි. නමුත් මංගල උළෙලේ ඔබ සිදු කරන එක් ආයෝජනයක් ඇත. එය ඔබ දෙදෙනාගේ මංගල මුදු හා කර මාලයයි. මේ සඳහා ඔබ ඉතිරිකරගත් මුදල් වියදම් කළ හැකියි. මේ සඳහා යන ඔබේ මුදල් ඔබට ඉතිරි වේ. මංගල උළෙලේ ඔබ දෙදෙනාට ඇති වටිනාම දේ වන්නේ මෙයයි.

මංගල උත්සවය මේ වන විට ව්‍යාපාරික අවස්ථාවක් වී ඇති බැවින් එම උගුල්වල නොවැටී සාම්ප්‍රදායික සිරිත් විරිත් සිදුකර චාම්, සරල මංගල උත්සවයක් පැවැත්වීම ඔබේ සිතටත් සැනසිල්ලක් ම වේවි.

 

 

උපදෙස්

ඉවෙන්ට් කාසා කළමනාකාර අධ්‍යක්ෂ

අමල් අත්තනායක