මල් මනාලියක වීමට සිහින මවන ඔබට...

මංගල ගමන යන්නට ගැළපෙන සාරි
මැයි 9, 2022

මංගල නැකතින් පතිකුලයට පිවිසීමට පෙරුම්පුරනා ඔබගේ සුබසිහින මල්ඵල ගැන්වෙන කාලය තව නොබෝ දිනකින් උදාවීමට පුළුවන. ඕනෑම යුවතියකගේ ලොකුම සිහිනය වන්නේ එදින මෙලොව සිටින ලස්සනම මනාලිය වනු දැකීමටයි.

සුන්දරම මනාලිය ලෙස හැඩවීමට නම් ඇයටම ගැලපෙන ලෙස මංගල ඇඳුම නිර්මාණය කර තිබීම වැදගත්. එහිදී පළමුව ඔබ සැරසෙන්නේ උඩරට ක්‍රමයටද, පහතරට ක්‍රමයට ද, බටහිර ආකාරයට ද එසේත් නැතිනම් මොඩන් කැන්ඩියන් ක්‍රමයට ද යන්න මුලින්ම තීරණය කරගන්න.

ඒ වගේම සමේ වර්ණය, උස ප්‍රමාණය, මංගල උත්සව පැවැත්වෙන්නේ උදේද, සවසද, රාත්‍රියේද යන වග, තමන්ගේ උස, මහත, එනම් ශරීරයේ ස්වභාවය ගැන සැලකිලිමත් විය යුතුයි.

උඩරට ක්‍රමයට ඔබ අඳිනවා නම් ඔබ ඇඳිය යුත්තේ ඔසරියයි. එහිදී ඔසරිය සිරුරේ හැඩයට ගැළපෙන ලෙස කපා සකස් කර ගන්නවා නම් අලංකාර පෙනුමක් ලබාගත හැකියි. (1) රූපයෙන් පෙන්වා ඇත්තේ එලෙස සකස් කර නිර්මාණය කර ගත් ඔසරියක් හැඳ සිටින මනාලියකි. ඔබ අඳින්නේ පහතරට ක්‍රමයට නම් සාරිය ඊට සුදුසුයි. පහතරට ක්‍රමයේදී වේල් එකක් භාවිත කළ හැකි නිසා (2) රූපයේ දිස්වන මනාලිය සේ වේල් එකක් දමා බටහිර පන්නයේ කොණ්ඩා සැකසුමක් භාවිත කළ හැකියි. බටහිර ක්‍රමයේදී ගවුම හෝ ෆිෂ් ටේල් ආකාරයට සැකසූ සාරිය යොදා ගන්න පුළුවන්. මොඩන් කැන්ඩියන් ක්‍රමයේදි සාම්ප්‍රදායික ඔසරියෙන් තරමක් මිදී එයට වෙනත් දෑ එකතු කරමින් නව නිර්මාණයක් ලෙස සැකසිය හැකියි. එහිදී ඔසරියේ පැහැය පවා වෙනස් කිරීමේ හැකියාව තිබේ. මොඩන් කැන්ඩියන් ක්‍රමයේදි (3) රූපයේ දැක්වෙන පරිදි සාම්ප්‍රදායික ආභරණ කට්ටලයෙන් මිදී වෙනස්ම ආකාරයක ආභරණ කට්ටලයක් තෝරා ගැනීමට වුව ද අවස්ථාව සැලසෙනවා.

ඔබ තරමක් මහත කෙනෙක් නම් ඔබේ සිරුර තවත් පළල කර පෙන්වන සාරියක් නම් ගැලපෙන්නේ නැහැ. පිම්බී ඇති සාරියක් නෙවෙයි ඔබට ගැලපෙන්නේ ඇඟටම ඇලී ඇති කඩා හැලෙන සාරියක්. ක්‍රේප් සිල්ක් සාරි හෝ ළඟින් ළඟින් මෝස්තර වැටී ඇති ලේස් සාරි වුවත් මහත සිරුරක් ඇති අයට ලස්සන පෙනුමක් ගෙන එනවා.

වඩා උස් නැති කුඩා සිරුරක් ඇති අයෙකුට නම් උස පෙන්නුම් කරන ආකාරයෙන් බෝඩර් ඇති සාරි ගැලපේ. පල්ලුවේ බෝඩරය උකුලේ පළල පෙනෙන ආකාරයට තිබුණහොත් සිරුරේ පළල වැඩිවෙලා තමයි දිස්වෙන්නේ. සිහින් සිරුරැති අයට ඔගන්සා, බ්‍රොකේඩ්, මනිපූරි වැනි සාරි සුදුසුය. (4) රූපයේ දැක්වෙන්නේ එවැනි රතු පැහැ සාරියකින් සැරැසුණු දෙවැනි දින මනාලියකි. පල්ලුව පටුවට පෙනෙන පොටට සහ නෙරියට කුඩා බෝඩරයක් තිබෙන සාරි තරමක් මහත අයට ගැලපෙනවා.

ඉතා සිහින් සිරුරක් ඇති කෙනකුට නම් සාරියේ රැලි තරමක් වැඩිපුර යෙදුවාම ලස්සනයි. රැලි තරමක් විශාලව පළලට සැකසීමෙන් සිහින් කෙනකුට තරමක් පිරුණු මහත පෙනුමක් ලබාගන්න පුළුවන්.

පැහැයෙන් අඩු අයට පීච් පාට, අයිවරි කලර්, රන් පැහැය වැනි වර්ණ ගැලපේ. පැහැපත් සිරුරැති මනාලියට ඔෆ් වයිට් සහ පියෝ වයිට් වඩාත් සුදුසුය.

මංගල සාරියක වටිනාකම ඔප් නැංවෙන්නේ එය හැඩවැඩ කර ඇති අන්දම නොහොත් වර්ක් එක අනුවයි. සාමාන්‍යයෙන් සාරි වැඩදැමීමට ගන්නේ ස්ටෝන් ත්‍රෙඩ්, සීකුවින්ස්ය. මෙහි (5) රූපයේ පහතරට මනාලිය ඇඳ සිටින්නේ එවන් වැඩ දැමූ සාරියකි. වර්ක් එක විශාල සාරි සඳහා බරැති ආභරණ සුදුසු නොවන්නේ එය පෙනුමට හානි කරන බැවිණි. එබැවින් එවන් සාරියකට සුදුසු වන්නේ සරල ආභරණ කට්ටලයකි.

සාරියේ පැහැය, පෙනුම ගැන හිතද්දී පලඳින ආභරණ ගැනත් හිතන්න ඕනේ. සිහින් යුවතියකට විශාල බරැති ආබරණ කට්ටලයක් සුදුසු නොවේ. තරමක් පිරිපුන් යුවතියකට එවන් ආභරණ කට්ටලයක් මනාව ගැලපේ. සාරියේ පැහැය ආභරණ කට්ටලය සමඟ ගැලපේදැයි කියාත් ඔබ සිතිය යුතුය. මේ සියල්ල අංග සම්පූර්ණ වූ විට සුන්දර මනාලියක ලෙසින් සැරසී එදින සැමගේ ආකර්ෂණය ලබා ගත හැකියි.

 

උපදෙස්

රූප ලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

 

 

ඡායාරූප - ශාන් රූපස්සර